ජනතා විමුක්ති පෙරමුණේ ඇදහිය නොහැකි නැගිටීමට රජය වගකිව යුතුද?

Date:

දශක ගණනාවක් තිස්සේ ඡන්ද ලක්ෂ 5ක් පමණක් රැස්කරගෙන මන්ත්‍රීවරුන් 03 දෙනෙකු පමණක් පාර්ලිමේන්තුවට ගෙන යාමට හැකි වූ ජනතා විමුක්ති පෙරමුණේ ජනප්‍රියත්වය හිටි හැටියේම විශාල ලෙස ඉහළ යාම අහම්බයක් නොවේ.

එයට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රමුඛ රජයේ ක්‍රියාකලාපයයි. එමෙන්ම, ආදායම් නියාමකයා වන මුදල් අමාත්‍යංශයයි. අවාසනාවට, අපට ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උමතු කප්පාදු පියවරයන්වලට ප්‍රතිරෝධී වීමට අකමැති ආණ්ඩුවකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉවත් වීමට හෝ විකල්ප මූල්‍යකරණයකට අවශ්‍ය කුසලතා ජාලයක්වත් රටට නොමැත. 2015 – 2021 කාලය තුළ ඩොලර් බිලියන ගණනක ලාභ මුදල් පාවෙමින් තිබියදී මහ බැංකුව මොකද කළේ? ඒ වෙනුවට අධික ණය මිලදී ගැනීමක් සිදු කරන ලදී.

මහා පරිමාණ හරිත ව්‍යාපෘති සඳහා එකඳු ඩොලරයක්වත් රැස් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව, හෝ ඊනියා භාණ්ඩාගාරයට නොහැකි වී ඇත. ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමේ දී බෙලිස් වැනි රටවල ආකෘතීන් සැලකිල්ලට ගත යුතුව තිබිණි.

ස්වප් ආකාරයේ ණය පහසුකම් ගැනීමේ උදාහරණ කිහිපයක්ම ඇත, ණය ගෙවීම සඳහා යෙදවීමට නියමිතව තිබූ මුදල් දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ සහ සූදානම් වීමේ ව්‍යාපෘති සඳහා යෙදවූයේ නම්, වෙනත් රටවලින් හෝ බහුපාර්ශ්වික සංවර්ධන බැංකුවලින් හෝ විශාල බැංකුවලින් ණය ලබාගෙන ණයබරින් නිදහස ලැබූ රටවලට උදාහරණ තිබේ.

මෙකී අවස්ථාවන් හමුවේ අප ක්‍රියාකර ඇත්තේ කෙසේ ද? ආණ්ඩුව ඒ වෙනුවට කරන ලද්දේ, 2022 දී අධික දේශීය ණය නිකුත් කිරීමයි. සේවක අර්ථසාධක අරමුදල මත බර පටවනු විනා, ණය කප්පාදුවක් සඳහා කටයුතු කිරීමට වෙර දැරූ බවක් පෙනෙන්නට නැත.

මෙමඟින් ජනතා විමුක්ති පෙරමුණට අවස්ථාවක් නිර්මාණය කර දී තිබේ. කනගාටුවට කරුණක් වන්නේ, මුදල් අමාත්‍යාංශය සිය සම්ප්‍රදායික නිලධාරී කාචයෙන් සියල්ල දෙස බලා සිටීමයි. ඔවුන් කළේ, මහජනයා මත වැඩිපුර බදු බර වැඩි කරන ලෙහෙසි පහසු සාම්ප්‍රදායික ක්‍රමවේදයයි. කෙසේවෙතත්, රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට නම් අමතක නොකළේය.

අනෙකා ගැන කතාබහක් නැති ද?

දුප්පතුන් මත බර පැටවීම

ලෝක බැංකුවට අනුව 2019 වසරේ සිට දරිද්‍රතාවය සියයට 11.3 සිට 2020 දී සියයට 12.7 දක්වා ඉහළ ගොස් ඇති අතර එම කාලය තුළ 300,000කට අධික සංඛ්‍යාවක් දුප්පතුන් අතරට එකතු විය. 2021 දී එම සංඛ්‍යාව අඛණ්ඩව වැඩි වූ අතර, එය 2021 සහ 2022 අතර කාලය තුළ සියයට 13.1 සිට 25.0 දක්වා දෙගුණ විය.

මෙම වැඩිවීම නිසා 2022 දී තවත් මිලියන 2.5 ක ජනතාවක් දරිද්‍රතාවයට පත් වී ඇත. බඩු මිල 2022 දී සියයට 46 කින් ඉහළ යාම නිසා විවිධ මානයන් ඔස්සේ කුටුම්භ ජීවිතවලට බලපෑම් එල්ල විය. උද්ධමනය සෘණ තත්ත්වයට පත්කළ බව කියමින් මහ බැංකුව පම්පෝරි ගසමින් සිටියි. ඇතැම් විට ඔවුන් එළවළු වෙළඳපොල වෙත ගොස් තත්ත්වය සියැසින් දැක ගත යුතුව ඇත.

විදුලි බිල තෙගුණයකට වඩා ඉහළ ගොස් ඇත. සාමාන්‍ය පවුලක් මසකට ඒකක 40 – 60 අතර ප්‍රමාණයක් පරිභෝජනය කරයි. ඔවුනට දැන් ඒකක 20 ක් වත් පරිභෝජනය කිරීමට හැකියාවක් නැත. ඒ අනුව, ආණ්ඩුව පහළ මධ්‍යම පාන්තිකයා යහමින් ජනතා විමුක්ති පෙරමුණ වෙත තල්ලුකොට තිබේ.

අරගල කරමින් ජීවත්වන පන්තිවලට ජනතා විමුක්ති පෙරමුණ කෙරේ විශ්වාසයක් ගොඩනැඟී ඇත. ජනතා විමුක්ති පෙරමුණ ඉදිමී ගොස් ඇති නිලධාරීවාදය අවම කරනු ඇත. දේශපාලඥයන්ගේ වරදාන සීමා කරනු ඇත; ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික කප්පාදුකරන වැඩසටහන හකුලා දමනු ඇත. ධන කුවේරයන්ට බදු පටවනු ඇත. එහි සියලු ප්‍රතිලාභ මහජනතාවට ලබා දෙනු ඇත. එමෙන්ම, ඵලදායීතාවයක් නොමැති නිලධාරීවාදීන් වෙනුවට වඩාත් ගතික හා කාර්යශූර තරුණ නායකයන් පත්කරනු ඇත.

අවසන් නිගමනය

රජය මධ්‍යම පාන්තික, පහළ මධ්‍යම පාන්තික සහ දුප්පතුන් වෙනුවෙන් සාධනීය යමක් නොකරන්නේ නම් සහ මහ බැංකුවේ සහ භාණ්ඩාගාරයේ නිලධාරීවාදයට එරෙහිව කටයුතු නොකරන්නේ නම්, දූෂණය මැඬලීමට කටයුතු නොකරන්නේ නම්, සේවක අර්ථසාධක අරමුදල ආරක්ෂා කර නොගන්නේ නම්, අවසානයේ 2024 දී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පැමිණියහොත් රට පුදුම විය යුතු නැත.

මන්ද, ජනතාව බොහෝ සෙයින් කලකිරීමට පත්ව සිටියි, ජීවත් වීම ඔවුනට අපහසු වී තිබේ. ඔවුහු ගෝඨාභයට අවස්ථාවක් ලබා දුන්නා සේ දේශපාලන සූදුවකට සූදානම් වෙමින් සිටිති. අවසානයේ එය කෙළවර වූයේ විනාශයකිනි. මහ බැංකුවේ, භාණ්ඩාගාරයේ සහ කැබිනට් මණ්ඩලයේ ආර්ථික ඔස්තාර්වරුන් මෙම ඓතිහාසික පෙරළියට වගකිව යුතු වනු ඇත.

ඇඩොල්ෆ් (Adolf)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...