*
Thursday, February 29, 2024
spot_img

Latest Posts

බැංකු මුදල් මවන්නේ තැන්පතුවලින් ණය දීමෙන් නොවේ. ගිණුම් සටහන් මගින් ණය දීමෙනි

මීට පෙර ඉදිරිපත් කළ ලිපියෙන් මුදල් සහ බැංකු පිළිබඳ ව කාලයක් තිස්සේ ආර්ථික විද්‍යා පොත්වලින් සහ පංති කාමරයේ දී අප ඉගෙන ගත් මිත්‍යා කරුනු/මූලධර්ම 8 ක් දක්වන ලදි (ලිපිය බලන්න.). ඒවා පිළිබඳ විස්තරක් ඉදිරි ලිපි කිහිපයෙන් ඉදිරිපත් කෙරේ. එහි පළමු වැන්න ලෙස බැංකු විසින් මුදල් මැවීම කෙරෙන ආකාරය පිළිබඳ මිත්‍යා ආර්ථික විද්‍යා කථාන්දරය මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ. ඊළඟ ලිපියෙන් නිවැරදි කථාන්දරය ඉදිරිපත් කෙරේ.

ණය මැවීම පිළිබඳ මිත්‍යා මතය

මේ දක්වා සියවස් ගණනක් අප ඉගෙන ගත් මුදල් මැවීමේ පාඩමේ අඩංගු ප්‍රධාන කරුනු කිහිපයකි.

  • වාණිජ බැංකු යනු මහජනයාගෙන් තැන්පතු භාර ගෙන, එම මුදල් ණයට දීමේ ව්‍යාපාරයේ නිරත අතරමැදි මූල්‍ය ආයතන බව.
  • බැංකුවකට තැන්පතුවක් ලැබුණ විට ඉන් කොටසක් මහ බැංකුව විසින් නියම කරන ලද ව්‍යවස්ථාපිත සංචිත ලෙස මහ බැංකුවේ ද, තවත් කොටසක් බැංකුවේ මුදල් ගනුදෙනු සඳහා අතිරික්ත සංචිත ලෙස ද තබා ගෙන, ඉතිරි මුදල ණයට දෙන බව. මෙම සංචිත ප්‍රමාණයන් බැංකුවේ ඇති මහජන තැන්පතුවලින් ප්‍රතිශතයක් බව සැලකේ.
  • නූතන මුදල් සහ බැංකු ආර්ථිකයන්හි පුද්ගලයන් බැංකු හරහා මුදල් ගනුදෙනු කිරීමට පුරුදු වී ඇති අතර ඔවුන්ට ලැබෙන ආදායම්වලින් එදිනෙදා සිල්ලර ගනුදෙනු සඳහා තමන් අත ව්‍යවහාර මුදල් සංචිත ප්‍රමාණයක්  පවත්වා ගෙන යන බව. එය පුද්ගලයන් සතු බැංකු තැන්පතු මෙන් යම් ප්‍රතිශතයක් බව උපකල්පනය කෙරේ.
  • දැන් පුද්ගලයකු විසින් රුපියල් 100 ක නෝට්ටු මුදල් හෝ ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් ලංකා බැංකුවේ තැන්පත් කළ බව සිතමු. ව්‍යාවහාර මුදල් යනු මහ බැංකුව විසින් නිකුත් කොට ඇති කාසි සහ නෝට්ටු මුදල් ය. මෙම පුද්ගලයාට එම මුදල් ප්‍රමාණය ලැබී ඇත්තේ රජය විසින් කරන ලද වැටුප් වැනි වියදමක් හෝ ගෙවීමක් හරහා ය. රජයට එම මුදල් ලැබී ඇත්තේ මහ බැංකුවෙන් හෝ බැංකුවකින් ණයක් ගැනීම හෝ බදු මුදල්වලින් හෝ විය හැකිය. උදාහරණ ලෙස 2024 වර්ෂයේ යෝජිත රාජ්‍ය වැටුප් වර්ධකය තුළින් මෙසේ නව ව්‍යවහාර මුදල් ආර්ථිකයට ලැබෙනු ඇත.
  • බැංකුවේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% ක් සහ  අතිරික්ත සංචිත අනුපාතය 4% ක් බවත්, බැංකු පද්ධතිය වෙත තවත් නව තැන්පතු නොලැබෙන බවත්, බැංකු ණය සඳහා ඉල්ලුම නොඅඩුව පවතින බවත් සිතමු. එවිට, මෙම තැන්පතුවෙන් රුපියල් 94 ක ණය ප්‍රදානය කිරීමට ලංකා බැංකුවට හැකියාව ඇත.
  • ලංකා බැංකුව විසින් දෙන රුපියල් 94 ණය මුදල ණයකරු විසින් ව්‍යවහාර මුදලින් ලබා ගනී. එවිට බැංකුව වෙත මුලින් ලද රුපියල් 100 යේ තැන්පතුවෙන් රුපියල් 94 ක් බැංකුවෙන් ඉවත්ව යනු ඇත.
  • දැන් එම ණය ලබා ගත් පුද්ගලයන් එම ව්‍යවහාර මුදල් වියදම් කරන අතර එම රුපියල් 94 ක මුදල් ඔවුන්ට භාණ්ඩ හා සේවාවන් අළෙවි කරනු ලැබූ බාහිර පුද්ගලයන් වෙත ලැබෙනු ඇත. සමහර විට එම මුදල් පුද්ගලික ණය බේරීම සඳහා භාවිතා කිරීම හේතු කොට එම මුදල ණය හිමියන් වෙත ලැබෙනු ඇත.
  • දැන් පුද්ගලයන් හෝ මහජනයා විසින් පවත්වා ගෙන යන ව්‍යවහාර මුදල් සංචිත ප්‍රමාණය 5% ක් බව සිතමු. එබැවින්, ඉහත දැක්වූ රුපියල් 94 ලැබූ පුද්ගලයන් ඉන් රුපියල් 4.70 ක් පුද්ගලික සංචිත ලෙස තමන් වෙත රඳවා ගෙන, ඉතිරි රුපියල් 89.30 ක මුදල තම බැංකු ගිණුම්වල තැන්පත් කරනු ඇත. ඒ අනුව, රුපියල් 89.30 ක ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් තැන්පතු හරහා බැංකු පද්ධතිය වෙත නැවත ලැබෙනු ඇත. එය මහ බැංකුව විසින් නිකුත් කරන ලද නව ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් නොව, පළමු ව්‍යවහාර මුදල් රුපියල් 100 හුවමාරු වීම හරහා ලැබෙන මුදලකි. ඒ අනුව, රුපියල් 4.70 ක ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් බැංකුවලින් මහජනයා අතට කාන්දු වී ඇත.
  • එම බැංකු විසින් ද නව තැන්පතු මුදල් රුපියල් 89.30 න් ණය දීම කරනු ඇත. එය මුලින් දැක්වූ ලංකා බැංකුව කළ පරිදි ය. ඒ අනුව, දෙවන වර තැන්පතු ලෙස ලැබූ රුපියල් 89.30 න් රුපියල් 5.36 ක් සංචිත ලෙස වෙන් කොට, ඉතිරි රුපියල් 83.94 ක ණය ප්‍රදානය කරනු ඇත. ඒ අනුව, මුල් රුපියල් 100 යේ තැන්පතුවෙන් මේ දක්වා රුපියල් 177.94 ක (94+83.94) බැංකු ණය මැවී ඇත. එසේම, බැංකු පද්ධතියේ තැන්පතු ප්‍රමාණය රුපියල් 189.30 (100+89.30) දක්වා ඉහළ ගොස් ඇත.
  • ඒ ආකාරයෙන් බැංකු සහ මහජනයා අතර නව තැන්පතු සහ ණය ප්‍රසාරණය හීනවන ප්‍රමාණයන්ගෙන් අඛණ්ඩව සිදු වනු ඇත. එය අවසන් වන්නේ මුලින් ලංකා බැංකුව වෙත ලැබුණ රුපියල් 100 ක ව්‍යවහාර මුදල් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම බැංකු සංචිත සහ මහජන මුදල් සංචිත ලෙස අවශෝෂණය වීමෙන් පසුව ය. එවිට, බැංකු වෙත නව තැන්පතු ලැබීම නතර වී, නව ණය ප්‍රදානය නතර වනු ඇත.
  • ඒ අනුව, මෙම ක්‍රියාවලිය අවසානයේ මැවී ඇති මුදල් ප්‍රමාණය කොපමණ ද? යන්න ගණනය කළ හැකිය. එය හුදෙක් ගණිත කරුණකි. මුදල් ගුණකය ලෙස හැඳින්වෙන්නේ එසේ මුදල් මැවීමේ හැකියාව හෝ වාර ගණන යි. ඉහත උදාහරණයට අනුව මුදල් ගුණකය 9.55 ක් වෙයි. ඒ අනුව, මුල් රුපියල් 100 යේ තැන්පතුව හේතු කොට අවසානයේ දී ආර්ථිකයේ ඇති මුදල් ප්‍රමාණය රුපියල් 955 ක් වෙයි. එය මුල් රුපියල් 100 සහ මවන ලද රුපියල් 855 කින් යුක්ත වෙයි.
  • මුදල් ගුණකය ගණනය කිරීමේ සූත්‍රය පහත දැක්වෙයි. එහි මූලය වනුයේ මුදල් සැපයුම සහ පදනම් මුදල් අතර අනුපාතය යි. මුදල් සැපයුම යනු මහජනයා සතු ව්‍යවහාර මුදල් ප්‍රමාණය සහ ඔවුන් සතුව බැංකු වෙත ඇති තැන්පතු ප්‍රමාණයේ එකතුව යි. පදනම් මුදල් යනු මහ බැංකුව විසින් නිකුත් කොට ඇති මුදල් ප්‍රමාණය යි. එම අනුපාතය තුළින් උපකල්පනයන් මත ගණිතමය ලෙස පහත දැක්වෙන මුදල් ගුණක සූත්‍රය ලබා ගත හැකිය.
  • (1+මහජන මුදල් සංචිත අනුපාතය)/(මහජන මුදල් සංචිත අනුපාතය+ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය+අතිරික්ත සංචිත අනුපාතය). 
  • ඉහත උදාහරණයට අනුව එය (1+0.05)/(0.05+0.02+0.04) වෙයි. එනම්, ආසන්න වශයෙන් 9.55 වෙයි.
  • මුදල් ගුණකයෙන් පෙන්වන්නේ, මහ බැංකුව විසින් ආර්ථිකයට නිකුත් කරන මුදල් ඒකකයක් (එනම්, රුපියලක්) බැංකු ගනුදෙනු හරහා අවසානයේ දී කොතරම් රුපියල් ප්‍රමාණයක් වෙයි ද? යන්නයි. ඉහත උදාහරණයට අනුව එක් ව්‍යවහාර මුදල් රුපියලක් රුපියල් 9.55 ක් බවට පත් වෙයි. ඉන් රුපියලක් මහ බැංකුව විසින් නිකුත් කරන ව්‍යවහාර මුදල් වෙයි. එබැවින්, අනෙක් රුපියල් 8.55 මහජනයාගේ බැංකු තැන්පතු ගිණුම්වල සටහන් මගින් මැවී ඇති ඉලක්කම් මුදල් වෙයි. එනම්, බැංකු පද්ධතිය තුළ මැවී ඇති මුදල් ප්‍රමාණය යි. එම මුදල් ප්‍රමාණය බැංකු මුදල් ලෙස හැඳින්වෙයි. එබැවින්, ආර්ථිකයේ මුදල් සැපයුම රුපියල් 9.55 ක් වෙයි. එනම්, ව්‍යවහාර මුදල් රුපියල සහ බැංකු විසින් මවන ලද තැන්පතු රුපියල් 8.55 ය.
  • එහෙත්, බැංකු පද්ධතිය තුළ පවතින ව්‍යවහාර මුදල් ප්‍රමාණය යනු හුදෙක් බැංකු සංචිත ප්‍රමාණය යි. එනම්, මුළු බැංකු තැන්පතුවලින් 6% කි. එබැවින්, මහජනතාව විසින් යම් අවස්ථාවක තම තැන්පතුවලින් 6% කට වඩා ඉල්ලා සිටිය හොත්, බැංකු උග්‍ර මුදල් හිඟයකට හෙවත් ද්‍රවශීල අර්බුදයකට බැංකු මුහුණ දෙනු ඇත. බැංකු අර්බුදයන් හෝ චකිතයන් ලෙස හැඳින්වෙන්නේ එම තත්ත්වය යි. එබැවින්, සාමාන්‍ය කාලවල බැංකු අර්බුදයන් නොමැතිව ව්‍යාපාර කටයුතු කිරීමට බැංකුවලට හැකියාව පවතින්නේ බැංකු කෙරෙහි මහජනතාව තුළ පවතින විශ්වාසය හේතුවෙනි. එනම්, අවශ්‍ය විටක තම තැන්පතු ව්‍යවහාර මුදලින් ආපසු ලබා ගැනීම සඳහා බැංකු වෙත මුදල් පවතින බව යි. එය හුදෙක් මිත්‍යා විශ්වාසයක් වන්නේ, සත්‍ය වශයෙන් බැංකු වෙත ඇත්තේ සංචිත ප්‍රතිශතය පමණක් බැවිනි. මුළු තැන්පතු මෙන් 100% ක සංචිත ප්‍රතිශතයක් තබා ගැනීමට බැංකුවලට නොහැකිය.
  • මුදල් මැවීමේ ප්‍රමාණය හෝ හැකියාව පිළිබඳ ව ඉහත ආකාරයට උපකල්පනයන් රැසක් මත ගණනය කළ හැකි වුව ද, එසේ මුදල් මැවීම සඳහා කොපමණ කාලයක් ගත වේ ද? යන්න ප්‍රකාශ කිරීමේ ගණිතමය සමීකරණයක් නොමැත. එය තීරණය වන්නේ වටයෙන් වටය ණය ප්‍රදානය, වියදම් කිරීම සහ තැන්පත් කිරීම යන මුදල් ගනුදෙනු සිදුවීමේ වේගය හෝ කාල පමාවන් අනුව ය. 

සෑම ආර්ථික විද්‍යා ග්‍රන්ථයකම මුදල් මැවීම පිළිබඳ ව අඩුවැඩි වශයෙන් දැක්වෙන්නේ ඉහත දැක්වූ කථාන්දරය යි. මා විසින් රචනා කොට ඇති ග්‍රන්ථයන් තුනක ද දැක්වෙන්නේ ඒ ආකාරයෙනි. සමහර ග්‍රන්ථවල බැංකු පද්ධතියම එක් බැංකුවක් ලෙස ගෙන මෙම විග්‍රහය දැක්වෙයි. එමගින්, වටයෙන් වටය තැන්පතු ලැබීම සහ ණය මුදාහැරිම අවබෝධ කර ගැනීම පහසු වෙයි. තවත් සමහර ග්‍රන්ථවල ජංගම තැන්පතු ගිණුම් හරහා මෙම විග්‍රහය දැක්වෙයි. එහි දී, බැංකු ගනුදෙනු කරුවන් චෙක්පත් හරහා ගනුදෙනු කරන බැවින් බැංකු පද්ධතිය තුළින් තැන්පතු සහ ණය ගනුදෙනු කිරීම පහසුවෙන් ඉදිරිපත් කෙරේ. තව ද, තැන්පතු ලැබීම, සංචිත වෙන් කිරීම සහ ණය ප්‍රදානය කිරීම බැංකු ද්විත්ව ගිණුම් සටහන් මාර්ගයෙන් බැංකු ශේෂ පත්‍රයන් හරහා පැහැදිලි කිරීම ද ප්‍රචලිතව සිදු වෙයි. 

මෙම සියළු විග්‍රහයන් බැංකු සහ මුදල් ක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අභ්‍යන්තරික දැනුමක් නොමැති සිසුන්ට මුදල් මැවීම සංකල්පයක් වශයෙන් අවබෝධ කරවීමේ අටියෙන් සැකසී ඇත.

මුදල් මැවීමේ කථාන්දරයේ සාරාංශය 

ඉහත දැක්වූ සියළු විග්‍රහයන්ගේ හරය පහත ලෙස කැටි කොට දැක්විය හැකිය.

  • මුදල් මැවීම සිදු වන්නේ මහ බැංකු මුදල් ප්‍රමාණය මත ය. එම මුදල් පදනම් මුදල් හෝ සංචිත මුදල් හෝ අධිබලැති මුදල් හෝ මුදල් පදනම ලෙස හැඳින්වෙයි. මහ බැංකුවේ මුදල් මුද්‍රණය පිළිබඳ ව ආර්ථික විද්‍යා සහ විරුද්ධ දේශපාලනික විවේචනයන් ඉදිරිපත් වන්නේ එබැවිනි. උද්ධමන කථාන්දරය ද එයට බද්ධ වී ඇත. මෙම කිසිම දෙයක් නොදන්නා පුද්ගලයන් පවා උද්ධමනයට හේතුව මහ බැංකුව විසින් අධික ලෙස මුදල් මුද්‍රණය කිරීම බව එක එල්ලේ ප්‍රකාශ කිරීම දැකිය හැකිය.
  • මුද්‍රණය කෙරෙන සෑම මුදල් ඒකකයකින් මුදල් ගුණකයේ ප්‍රමාණයෙන් ආර්ථිකයෙහි අතිරේක මුදල් ප්‍රමාණයක් මැවෙනු ඇත.
  • තැන්පතු තුළින් මුදල් මැවීම සිදු වෙයි. එනම්, මුදල් මැවීම සඳහා බැංකු ණය මෙවලම භාවිතා වුව ද, බැංකු ණය යනු තැන්පතුවලින් ජනිත වන විචල්‍යයකි.
  • එසේ මැවෙන මුදල් ප්‍රමාණය හෝ මුදල් ගුණකයේ වටිනාකම තීරණය වන්නේ බැංකු සංචිත අනුපාතය (ව්‍යවස්ථාපිත සහ අතිරේක) සහ මහජන ව්‍යවහාර මුදල් සංචිත අනුපාතය මත කාල පමාවක් තුළ ය. එම සංචිත අනුපාතයන් සහ මුදල් ගුණකය අතර ප්‍රතිලෝම සබඳතාවයක් පවතී. මහ බැංකුව විසින් කලින් කලට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය වෙනස් කරනුයේ, සමකාලින මූල්‍ය ප්‍රතිපත්ති දිසාව අනුව මුදල් මැවීමේ පරිමාව වෙනස් කිරීම සඳහා ය.
  • මුදල් මැවීමේ කාල පමාව මාස 12-18 ක් අතර බව මහ බැංකුව විසින් ප්‍රකාශ කොට ඇත. එහෙත්, එය හුදෙක් මතයක් පමණි. ඊට හේතුව, පදනම් මුදල් සහ බැංකු සංචිතවල වෙනස්වීම් වෙන් කොට ගෙන, ඉන් මුදල් මැවීමට ගතවන කාලයන් ගණනය කිරීමේ සමීකරණයක් නොමැති වීම යි.
  • ආර්ථිකයේ මුදල් සැපයුම හෙවත් සංසරණයේ පවතින මුදල් ප්‍රමාණය ලෙස මහජනයා සතු ව්‍යවහාර මුදල් ප්‍රමාණය (මහ බැංකු මුදල්) සහ බැංකු තැන්පතු ප්‍රමාණය (බැංකු මුදල්) සැලකෙන අතර එම මුදල් සැපයුම ඉහත දැක්වූ මුදල් ගුණක ආකෘතිය මත තීරණය වනු ඇත. එනම්, පදනම් මුදල් ප්‍රමාණය සහ මුදල් ගුණකයේ වටිනාකම යි. එබැවින්, මුදල් මුද්‍රණය සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය වෙනස් කිරීම හරහා මුදල් සැපයුම පාලනය කිරීමටත්, එමගින් උද්ධමනය පාලනය කිරීමටත්,  මහ බැංකුවට හැකියාව පවතී. ප්‍රතිපත්ති පොලී අනුපාතයන් වෙනස් කිරීම ද ඊට ගැලපෙන ලෙස මුදල් මුද්‍රණය වෙනස් කිරීම හරහා පදනම් මුදල් ප්‍රමාණය කෙරෙහි බලපෑමේ අරමුණින් සිදු කෙරේ. එබැවින්, මූල්‍ය ප්‍රතිපත්තිය ගොඩ නැගී ඇත්තේ මුදල් ගුණක ආකෘතිය පිළිබඳ විශ්වාසය මත ය. එබැවින්, මුදල් සහ බැංකු ක්‍රමය සහ ආර්ථිකය හැසිරවීමේ දේව බලයක් මහ බැංකුවට ආරෝපනය වී ඇත.

අපොස උසස් පෙළ, විශ්ව විද්‍යාල සහ වෙනත් පාඨමාලාවල මුදල් සහ බැංකු විෂය නිර්දේශයන්, විභාග ප්‍රශ්න සහ ආදර්ශ පිළිතුරැ සැකසී ඇත්තේ ඉහත විග්‍රහය පදනම් කර ගෙන ය. 

මහ බැංකුව පවා මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී අන්ධානුකරණයෙන් වන්දනා කරන්නේ මෙම විග්‍රහය යි. උදාහරණ ලෙස 2022 වර්ෂයේ අප්‍රේල් සිට මහ බැංකුව විසින් අධික ලෙස ප්‍රතිපත්ති පොලී අනුපාතයන් ඉහළ දමා, බැංකු විසින් තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතයන් ද ඉහළ දමන ලෙස බැංකුවලට නියම කරන ලදි. 

ඊට හේතුව ලෙස මහ බැංකුව ප්‍රකාශ කරනු ලැබුවේ, ඉහළ පොලී අනුපාතයන් හේතු කොට මහජනයා අතැති ව්‍යවහාර මුදල් බැංකු වෙත තැන්පත් කිරීම හේතු කොට ආර්ථිකයේ සමස්ත ඉල්ලුම පහළ ගොස් උද්ධමනය පහළ යාමට හේතු වන බව යි. ඉහත දැක්වූ මුදල් මැවීමේ විග්‍රහය අනුව එය පදනම් විරහිත ප්‍රකාශයකි. ඊට මූලික, හේතු තුනකි.

  • පළමුව, මහජනයා විසින් තම ව්‍යවහාර මුදල් කොටසක් බැංකුවල තැන්පත් කිරීම හේතු කොට මුදල් සැපයුම වෙනස් නොවේ. ඉන් සිදුවන එකම සිද්ධිය වන්නේ මුදල් සැපයුමට අයත් ව්‍යවහාර මුදල් ප්‍රමාණය පහළ ගොස් එම ප්‍රමාණයෙන් බැංකු තැන්පතු ප්‍රමාණය ඉහළ යාම යි.
  • දෙවනුව, මහජන ව්‍යවහාර මුදල් සංචිත අනුපාතය පහළ යාම සහ බැංකු තැන්පතු ප්‍රමාණය ඉහළ යාම තුළින් මුදල් මැවීමේ හැකියාව තවත් ඉහළ ගොස් මුදල් සැපයුම ඉදිරියේ දී ප්‍රසාරණය වනු ඇත. එය උද්ධමනය තවත් ඉහළ යාමට හේතු වනු ඇත.
  • තෙවනුව, සත්‍ය වශයෙන් සිදු වූයේ තැන්පතු හිමියන් බැංකුවල රොක් වී 6%-8% පොලී අනුපාතයන් මත පැවති ස්ථිර තැන්පතු අවලංගු කොට 18%-24% වැනි ඉහළ පොලී අනුපාතයන් යටතේ නැවත විවෘත කිරීම යි. සමහර බැංකු විසින් තැන්පතු හිමියන්ට උපදෙස් දෙන ලද්දේ ඉදිරියේ දී තවත් පොලී අනුපාතයන් ඉහළ යන බැවින් නව තැන්පතු විවෘත කිරීම පසුව කරන ලෙස යි. ඉන් සිදු වූ එකම ප්‍රතිඵලය වූයේ බැංකු පොලී පිරිවැය එකවර ඉහළ යාම යි. ඒ බව, බැංකු පොලී පිරිවැය බැංකු වත්කම්වල ප්‍රතිශතයක් ලෙස 2021 දී 4.1% සිට 2022 දී 7% දක්වා සැලකිය යුතු ලෙස ඉහළ යන ලදි. එබැවින්, ණය පොලී අනුපාතයන් ද ඉහළ ගිය බැවින් ණය පැහැර හැරීම ඉහළ යාම හේතු කොට (එනම්, බැංකු අක්‍රීය ණය අනුපාතය 2021 දී 7.5% සිට 2022 දී 11.5% දක්වා ඉහළ යාම) බැංකු වත්කම් මත ලාභ ප්‍රතිශතය 1.4% සිට 1.0 දක්වා පහළ යන ලදි. එබැවින්, 2022 සිට ලෝකය පුරා අනුගමනය කළ මෙම මිත්‍යා මූල්‍ය ප්‍රතිපත්තිය හේතු කොට ශ්‍රී ලංකාවේ පමණක් නොව සංවර්ධිත රටවල පවා බැංකු පද්ධතිය දැඩි ආතතියකට සහ කම්පනයකට පත් වී ඇත. ඊට හොඳම උදාහරණය ලෙස 2023 මාර්තු මස ඇමෙරිකාවේ බැංකු කිහිපයක් චකිතයට පත් වීමත්, ස්විට්සර්ලන්තයේ විශාලතම බැංකුව බංකොලොත් වීමත් ය.

එහෙත්, මෙම මුදල් මැවීමේ කථාන්දරය සාවද්‍ය, මිත්‍යා ප්‍රබන්දයකි.

මුදල් මැවීමේ සත්‍ය කථාන්දරයට පෙරවදන

ප්‍රයෝගිකව සිදුවන මුදල් මැවීමේ කථාන්දරය වනුයේ වාණිජ බැංකු විසින් ගිණුම් සටහන් හරහා ණය දීමත්, එම ණය හරහා ගිණුම් සටහන් තුළින් තැන්පතු මැවීමත් ය. 

එබැවින්, බැංකු විසින් මහජනයාගෙන් තැන්පතු රැස් කර ගෙන, ඊට පසුව ණය දීම කෙරෙන බව දැක්වෙන අතරමැදි මූල්‍යකරණ කථාන්දරය මිත්‍යාවකි. සත්‍ය කථාන්දරයට අනුව බැංකු විසින් තැන්පතු රැස් කෙරෙන්නේ, ගිණුම් සටහන් මගින් ණය දීමේ ක්‍රියාවලිය තුළින් මතුවන බැංකුවේ ද්‍රවශීලතාවය ගැටළුව කළමනාකරණය කර ගැනීමේ එක් මූලයක් වශයෙනි. ඒ සඳහා නූතන බැංකු සහ මුදල් පද්ධතිය තුළ තවත් මූලයන් රැසක් පවතී. නූතන මුදල් සහ බැංකු ක්‍රමය ආරම්භයේ සිට පසුගිය සියවස් කිහිපය පුරා මුදල් මැවීම සිදු වී ඇත්තේ ඒ ආකාරයෙනි.

මුදල් මැවීමේ සත්‍ය කථාන්දරය අනුව මුදල් ගුණක ආකෘතියක් නොමැත. ඊට හේතු දෙකකි. 

  • පළමුව, මුදල් මැවෙන්නේ පදනම් මුදල් හෝ මුදල් මුද්‍රණයෙන් ආර්ථිකයට නිකුත් වන මුදල් මත නොවේ. 
  • දෙවනුව, මුදල් ගුණකය යනු ඉහත දැක්වූ පරිදි හුදෙක් සංඛ්‍යා අනුපාතයකි. එනම්, ආර්ථිකයෙහි යම් දිනක පවතින මුදල් සැපයුම සහ පදනම් මුදල් ප්‍රමාණය අතර අනුපාතය යි. එබැවින්, වර්තමානයේ නිකුත්වන පදනම් මුදල් ඒකකයකින් අනාගතයේ කාල පමාවක් තුළ මැවෙන මුදල් ඒකක ප්‍රමාණය කොපමණ ද? යන්න මෙම මුදල් ගුණකයෙන් දැක්විය නොහැකිය. එබැවින්, මුදල් ගුණකය යනු අර්ථ විරහිත සංඛාවකි.

එබැවින්, සැබෑ ලෝකයේ මුදල් මැවීම සිදුවන ආකාරය පිළිබඳ සත්‍ය කථාන්දරය ඊළඟ ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

එහෙත්, වත්මන් ඉගැන්වීම, පරික්ෂණයන් සහ මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තිය ඊට අනුකුලව සංශෝධනය කිරීමට හැකියාවක් නොමැත. ඊට හේතුව, අපගේ මිත්‍යා ඇදහිලි වෙනස් කිරීමට ශක්තියක් නොමැති බැවිනි. වත්මන් ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් මුහුණ දෙන ණය සහ ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව ද මෙම මිත්‍යා මූල්‍ය ප්‍රතිපත්තිය යි. එය නිවැරදි ප්‍රතිපත්තියක් නම්, මුදල් සැපයුම සහ උද්ධමනය පාලනය කරන මහ බැංකු බලා සිටිය දී මෙවැනි අර්බුදයන් හට ගැනීමට අවකාශයක් නොමැත. එහි වරද මුදල් මැවීම සහ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ ව කිසිම ආර්ථික විද්‍යා දැනුමක් නොමැති දේශපාලන නායකයන් පිට  පැටවීම ද්විතීය කාර්යයකි.

සුළු පිරිසක් විසින් දරන පුද්ගල මතවාදයන් මත රටවල් සහ ජනතාව විනාශ කරන ලෝකයක, මෙවැනි මිත්‍යා මූල්‍ය මතයන්ගෙන් ආර්ථිකයන් සහ මහජනතාව බංකොලොත් කිරීම පුදුමයක් නොවේ.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ග්‍රන්ථය සකසන ලදි.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක, මහ බැංකු සහකාර අධිපති, මහ බැංකු මුදල් මණ්ඩල ලේකම්, ණය තොරතුරු කාර්යාංශයේ සභාපති, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපති, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික, ශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 12 ක කතෘ)

මූලාශ්‍රය : Economy Discovery

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

sakarya escort bayan Eskişehir escort bayan

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan