අපට දැඩි අභියෝගයක් එල්ල වී තිබෙනවා, නමුත් අපි ඇද වැටී නැහැ

Date:

කොළඹ LNW:දැඩි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මෑතකදී ඇති වූ විනාශය නොතකා, ජනතාව විසින් පෙන්නුම් කරන ලද ශක්තිය සහ සහයෝගීතාවය හේතුවෙන් ශ්‍රී ලංකාව වේගයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

“අපට දැඩි අභියෝගයක් එල්ල වී තිබෙනවා, නමුත් අපි ඇද වැටී නැහැ. අපේ ජනතාව ශක්තිමත්, ඒ තුළින් අපි මුහුණ දුන් සෑම අර්බුදයකින්ම ජය ගැනීමට හැකි වී තිබෙනවා.” යනුවෙන් ඇය කියාසිටියාය.

අගමැතිවරිය මේ බව පැවසුවේ ඊයේ (04) කොළඹ ICT රත්නදීප හෝටලයේ පැවති NASSCOM විධායක කමිටු සහ SLASSCOM සංගම් හමුව අමතමිනි.

ඩිජිටල්-ආර්ථික සහයෝගීතාව, ආයෝජන අවස්ථා සහ ශ්‍රී ලංකාවේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයේ ඉදිරි මාවත සාකච්ඡා කිරීම සඳහා සමාගම් 3,000 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන ඉන්දියාවේ තාක්ෂණික කර්මාන්තයේ ඉහළ පෙළ ආයතනයක් වන NASSCOM සහ සාමාජික සමාගම් 350 කට අධික සංඛ්‍යාවක් සමඟ IT සහ BPM අංශය සඳහා වන ශ්‍රී ලංකා ජාතික මණ්ඩලයක් වන SLASSCOM සංගමය මේ අවස්ථාවට එක් විය.

රටේ මෑත කාලීන අභියෝග මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ සිය වාර්ෂික සංචාරයට එක් වූ NASSCOM නියෝජිත පිරිස අග්‍රාමාත්‍යවරිය විසින් පැසසුමට ලක් කරන ලද අතර, ඔවුන්ගේ පැමිණීම ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහ නැවත ගොඩ නැගීම සඳහා පන්නරයක් ලබා දුන් බව පැවසුවා ය. නැවත පදිංචි කිරීම, ආපදාවලට මුහුණ දීම සඳහා පෙර සූදානම ශක්තිමත් කිරීම, ගංවතුර පාලනය සහ ප්‍රධාන යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය ඇතුළත් ප්‍රතිසංස්කරණ කටයුතු මෙහෙයවීම සඳහා රජය, ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක්ව කෙටි කාලීන සහ දිගුකාලීන තක්සේරු ක්‍රියාමාර්ග ගෙන යන බව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැහැදිලි කළාය.

සාකච්ඡාව අතරතුර අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ශ්‍රී ලංකාවේ ආර්ථික සැලැස්ම ස්ථිරව පවතින බව අවධාරණය කළාය. රජය මධ්‍යම සහ දිගු කාලීන ඉලක්කයක් ලෙස 7% ක ආර්ථික වර්ධනයක් ඉලක්ක කර ඇති බවට සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, අපනයන විවිධාංගීකරණය සහ ඩිජිටල් ආර්ථිකය වේගවත් කිරීම යන ප්‍රධාන ක්ෂේත්‍ර සඳහා පැමිණි තාක්ෂණික නියෝජිත පිරිසගේ සහයෝග අපේක්ෂා කරන බව ද අවධාරණය කළා ය.

“ශක්තිමත් ඩිජිටල් ආර්ථිකයක් ගොඩ නැගීමට අපි කැපවී සිටිනවා. මේ ක්ෂේත්‍ර සඳහා අපි ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගීතාවය සහ හවුල්කාරිත්වය බලාපොරොත්තු වෙනවා” අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

රජයේ ආයතන තුළ ඩිජිටල් පරිවර්තනයේ ප්‍රගතිය පිළිබඳ ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරිය, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ජනවාරි මාසයේදී දියත් කිරීමට නියමිත ජාතික අධ්‍යාපන කළමනාකරණ පද්ධතිය සම්බන්ධයෙන් දැනටමත් කටයුතු ආරම්භ කර ඇති බවත් එය ජනවාරි මාසයේදී දියත් කරන බවත් පැවසුවා ය. අනෙකුත් අමාත්‍යාංශ විසින් අදාළ ඩිජිටල්කරණ කටයුතු ආරම්භ කර ඇති බවත් ඉදිරි මාසවලදී ඔවුන්ගේ පද්ධති හඳුන්වා දීමට සූදානම් බවත් අග්‍රාමාත්‍යවරිය තවදුරටත් සඳහන් කළාය.

ආපදා තත්ත්වයන් පිළිබඳ සොයා බැලීම, සිතියම්ගත කිරීම සහ භූගෝලීය දත්ත ලබා ගැනීම සඳහා ඩ්‍රෝන යානා තාක්ෂණය ලබා දීමට ඉන්දියානු තාක්ෂණික සමාගම විසින් සිදු කරන ලද යෝජනාව අග්‍රාමාත්‍යවරිය විසින් පිළිගත් අතර ලේඛනගත කිරීම සහ කාලීන අධීක්ෂණය ඇතුළුව ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා තාක්ෂණික සහාය ලබා දීමට නියෝජිතයින් ඉදිරිපත් විය. පවතින තාක්ෂණයේ ඇති දුර්වලතා හේතුවෙන් මෙම වසරේ වර්ෂාපතනය පිළිබඳ නිසි පුරෝකථනයක් සිදු කිරීම සීමා වී ඇති බවත්, එම නිසා අනාගත ආපදා තත්ත්වයන් හොඳින් කළමනාකරණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ශක්තිමත් කිරීම සහ තාක්ෂණයන්හි ආයෝජන් සිදු කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරිය පිළිගත්තා ය.

රජයේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය පැහැදිලි කළ අග්‍රාමාත්‍යවරිය, IT සහ BPM ආයෝජන සඳහා ශ්‍රී ලංකාව ප්‍රමුඛ පෙළ ගමනාන්තයක් බවට පත් කිරීමට අදාළ නියාමන රාමු, ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල් පරිවර්තන මුලපිරීම් ක්‍රියාත්මක වෙමින් පවතින බව පැහැදිලි කළා ය. මානව සම්පත සංවර්ධනය කිරීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ කුසලතා මුල් කරගත් රැකියා අවස්ථා පුළුල් කිරීමේ ජාතික සැලැස්ම හරහා 2030 වන විට IT සහ BPM අංශයේ අපනයන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 5 ක් බවට පත් ගැනීමට ශ්‍රී ලංකාව අරමුණු කරන බව ද අග්‍රාමාත්‍යවරිය තවදුරටත් අවධාරණය කළා ය. රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීම, ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතියක් ක්‍රියාත්මක කිරීම සහ ජාතික අධ්‍යාපන කළමනාකරණ පද්ධතිය වැනි ඒකාබද්ධ වැඩසටහන් හඳුන්වාදීම සම්බන්ධයෙන් රජය ඉන්දියාව සමඟ සමීපව කටයුතු කිරීමට සූදානම් බවද අග්‍රාමාත්‍යවරිය තවදුරටත් අවධාරණය කළාය.

මෙම නිල සංචාරය, ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික අංශය ශක්තිමත් කිරීම සහ ප්‍රමුඛ පෙළේ ඉන්දියානු සහ ගෝලීය තාක්ෂණ කර්මාන්ත සඳහා උපායමාර්ගික ව්‍යාප්ති වෙළඳපොළක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම අරමුණු කරගත් NASSCOM සහ SLASSCOM අතර දිගුකාලීන සහයෝගීතාවයක ප්‍රයත්නයක් වන අතර 2026 වසරේ දී NASSCOM තාක්ෂණික සහ නායකත්ව සංසදය SLASSCOM හි පැවැත්වීමට සමගාමීව සිදු විය.

මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය, ඉන්දීය මහ කොමසාරිස් අතිගරු සන්තෝෂ් ජා සහ SLASSCOM සහ NASSCOM හි නියෝජිතයින් සහභාගී වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ ඉන්න පිස්සෝ ටිකක් බිල්ලෝ මවන්න හදනවා.ඒවාට අහුවෙන්න එපා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වය හමුවේ විපක්ෂයේ සිටින පිස්සන් කණ්ඩායමක්...

‘Rebuilding Sri Lanka’ අරමුදලට හුණුපිටිය ගංගාරමයෙන් රු. මි. 30ක මූල්‍ය පරිත්‍යාගයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ආපදාවෙන් විපතට පත්...

නාවික හමුදාවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම අඛණ්ඩව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඊයේ දිනයේ (04)...

‘Rebuilding Sri Lanka’අරමුදලට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රු. මි. 635කට ආසන්න මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : මේ වනවිට ...