අනෝතප්ත විලේ මඩකරි ඇල්ලීම !

Date:

උපාලි කොළඹගේ

කොළඹ LNW: සියල්ල සිදුවී හමාරය. දැන් කළ යුත්තේ වැටුණු තැනින් නැගිටීමය. එය හරි හැටි සිදුවුවහොත් අනාගතයේ හිටියාට වඩා හොඳ තැනකට ඒමේ විභවයක් විවරව පවතී. නොඑසේව එකිනෙකා කුලල් කාගෙන කෝලම් නැටුවොත් සිටියාටත් වඩා පල්ලම් බසිනු ඒකාන්තය.මෙහිදී මතක තබා ගත යුතු අනෙක් විශේෂිතම කරුණ නම් මෙය ලංකාවට බල පෑ ප්‍රථම හෝ අවසාන ස්වභාවික විපත නොවන බවයි. ගතවූ දශක එකහ මාරක කාලය තුළ ලංකාවට බලපෑ ගංවතුර තත්ත්වයන් ඊට නිදසුන්ය. මෙවන් සුළි සුඟක් නම් අසූව දශකයෙන් පසු හැමූ ප්‍රථම අවස්ථාව මෙය විය හැක. මීට වසර 22 කට පෙර සිදුවූ සුනාමි තත්ත්වය නිසා රටට අහිමි වූ ජීවිත සංඛ්‍යාව 35000 කට අධිකය. එයත් මෙම ප්‍රචණ්ඩ සුළි කුණාටුවත් සන්සන්දනය කිරීම නිරර්ථක ක්‍රියාවකි. මෙවැනි ස්වභාවික ආපදාවකින් එක දු ජීවිතයක් හෝ අහිමි වීම සහකම්පන තත්ත්වයකි. තමන් ගේ කිසිදු වරදක් නොමැතිව ජීවිත හා දේපොළ අහිමි වීම අතිශය ඛේදවාචකයකි.

සුනාමි ඛේදවාචකයෙන් පසු රට පුරා වෙරළ තීරයේ සවි කළ ආපදා සංඥා කුලුණු කීයක් වර්තමානයේ සක්‍රියව පවතීද යන්නද මෙම අවස්ථාවේ දැඩි ලෙස විමර්ශනයට බඳුන් කළ යුතුය. නැවත සුනාමියක් එන තුරුම ඒවා ගැන සොයා බැලීම කල් නොදැමිය යුතුය. එම ප්‍රදේශවල සාමාන්‍ය ජනතාවගේ මතය නම් බොහෝ කුලුණු දැනට ක්‍රියාත්මකව නොපවතින බවය. එය සත්‍යයක් නම් ඊට අදාළ වගකිව යුත්තන් නීතිය හමුවට පමුණුවා දැඩි දඬුවම් පැමිණ වීම අනිවාර්යයෙන් සිදු කළ යුත්තකි. පසුගිය කාලයේ කුණු කන්දක් කඩා වැටී මිනිස් ජීවිත රාශියක් විනාශ වූ අතර ඒ පිළිබඳව පසුවිපරමක් සිදුවූයේද යන්න ප්‍රකාශ වූයේ නැත. අප රටේ ඇති ලොකුම අඩුපාඩු ව එතැනය. කිසියම් අපදාවක් සිදුවී විට එයට ක්ෂණික පිලියම් යොදා පසුව එය අමතක කර දැමීමයි. පසුගිය කාලයේ බස් අනතුරු වැළක් සිදුවූ අතර ඒවාට ගතයුතු විවිධ පිළියම් කතා බහට ලක් කෙරිණ. නමුත් කල් ගතවීමත් සමග ඒ කතාබහ අවසන්වූ අතර අනතුරුදායක තත්ත්වයන් එලෙසම පවතින බවය බොහෝ දෙනකුගේ මතය.

පසුගිය දා ඇතිවූ සුළි සුළඟ හා ගංවතුර තත්ත්වය අතිප්‍රබලය. එය ඇති කළ කම්පනය මුළු රටේම ජන ජීවිතය උඩු යටිකුරු කරන සුළුය. මීට ආණ්ඩුව හෝ විපක්ෂය වගකිව යුතු නැතත් ජන ජීවිතය යථාවත් කිරීමේ වගකීම ආණ්ඩුවට මෙන්ම විපක්ෂයටද සමය. විපක්ෂයේ බොහෝ කණ්ඩායම් මෙම තත්ත්වය තේරුම් ගෙන කටයුුතු කළත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුුතු කරන ආකාරය නම් කිසිසේත් පිළිගත නොහැක. සජිත් මතුපිටින් මෙහිදී ආණ්ඩුවට සහාය දෙන බව පැවසුවද ඔහු කටයුුතු කරන ආකාරයේ කිසියම් කුරිරු ස්වභාවයක් දක්නට ලැබේ. ලණු දී ආණ්ඩුව අසීරුවට පත් කිරීම ඔහුගේ ප්‍රමුඛතම අභිලාෂය බවට පත්ව ඇතැයි යන්න මැනවින් පිළිඹිඹු වේ. ආණ්ඩුව IMF ගිවිසුමෙන් ඉවත් විය යුතු බව වරෙක කියයි. 2028 දී ණය ගෙවීම කල් දැමිය යුතු බව තව වරෙක කියයි. ඇත්ත වශයෙන්ම මේවා කෙතරම් ප්‍රායෝගික ද?

මෙම සුළි සුළඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඇති කරන ලද්දක් නොවේ. මගේ අදහස නම් මෙම අසීරු අවස්ථා වේ අප තව තවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ට සමීප විය යුතු බවය. මෙය නොකළ හැක්කක් බව සජිත් ප්‍රේමදාස නොදන්නවා විය නොහැක. ඔහු මේ කරන්නේ ජනතාවට ව්‍යංගයෙන් මැතිවරණ පොරොන්දුවක් දීමය. එය කෙතරම් කැතද? ඔහු මේ රටේ ජනාධිපති වුවද යාමට සිදුවන්නේ මේ මාවතේම බව අමුතුවෙන් කිවයුතු නැත.

මේ කරන්නෙ බොරදියේ මාළු බෑමක් මිස අන් කවරක්ද? පෑ දියේ මාළු බෑමට අසමත් විපක්ෂ නායකවරයාට බොරදියේ මාළු බෑමට නම් කෙසේවත් නොහැකිය.

මට නම් මෙය සමාන කළ හැක්කේ අනෝතප්ත විලේ මඩ කරි ඇල්ලීමට ගන්නා ප්‍රයත්නයක් ලෙසය. මෙම පැරණි උපමාව මා අහුලා ගත්තේ අතීතයේ සිටි හසළ බුද්ධිමතකු හා පුවත්පත් කතුවරයකු වූ ඩේවිඩ් කරුණාරත්න මහතා ලියූ ගතකිනි. නමුත් ඉන් අදහස් කරන්නේ මේ ආණ්ඩුව අනෝතප්ත විල වැනි සුපිරි සුදු කියා නම් නොවේ.

කෙසේ වුවත් මේ මෙහොතේ ආණ්ඩුවේ කකුලෙන් ඇදීම සමස්ත ශ්‍රී ලාංකිකයන් ගේම කකුල් වලින් ඇදීමකි.

එනමුදු ආණ්ඩුව විපක්ෂයේ සහාය ලබා ගැනීම හිතාමතාම මඟ හරින බවට වූ චෝදනාව ද සම්පූර්ණයෙන් බැහැර කළ නොහැක. ඊට ආණ්ඩුව පැත්තේ පිළිතුර වී ඇත්තේ පවත්නා අවිශ්වාසයයි. මෙයින් කොයි එක හරිද වැරදි දැයි අපට කිව නොහැක. නමුත් ප්‍රතිථලය නම් රටට අවැඩදායකය විශේෂයෙන් ජාත්‍යන්තරය හමුවේ රට හෑල්ලුවට ලක්වීමය සිදුවිය හැක්කේ. සජිත්ගේ ආක්‍රමණශීලී ප්‍රවේශය හමුවේ ඔහුව ලංකර ගැනීමද ගැටලු සහගතය.

මට දැනෙන ආකාරයට නම් මෙම අසීරු අවස්ථාවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රවේශය ප්‍රශස්තය. ඔහු තැනින් තැන ගොස් සෘජුව මැදිහත් වීම ඇතමකුගේ දැඩි විවේචනයට ලක් වුවද එය ප්‍රශංසනීය යන්නය මගේ අදහස.

නමුත් මේ දියුණු ලෝකයේ ජනාධිපතිවරයා හෙලිකොප්ටරය පාවිච්චි නොකර වාහනවලින් රට පුරා යෑම නම් තරමක් විහිළු සහගතය. සිය පැරණි කාඩරයන් සන්තෝස කිරීමට හෙලිකොප්ටරය පාවිච්චි නොකළද මෙවැනි හදිසි අවස්ථාවකදී එසේ නොකිරීම උචිත නොවන බවය මගේ අදහස . එසේකළේ නම් ඔහු දැනටමත් මුළු රටම ආවරණය කර හමාරය.

අනුර කුමාර ජනාධිපතිවරයා තැන තැන ගොස් විපතට පත් ජනතාව හමුවීම ඇතමකුගේ සමච්චලයට භාජනය වී ඇත. ඔවුන්ට අනුව මෙසේ කිරීම ජනාධිපති ධුරය හෑල්ලුවට ලක්කිරීමකි. මට නම් හිතෙන්නෙ එම අදහස ප්‍රභූ පන්තියේ හා ඔවුන් වන්දනා මාන කරන වහල් මානසිකත්වයකින් යුත් අයගේ අදහසක් බවය. ඇතමකුට ඕනෑ ජේ. ආර්. පන්නයේ නලලෙන් හිනා වෙන රාජ්‍ය නායකයෙකි. තමන් මොන පන්තියට අයත් වුණත් රාජ්‍ය නායකයා රජකු වීම ඇතමකුගේ කැමැත්තයි. මෙය ජාන වලින්ම එන මානසික ව්‍යාධියක් ලෙසය හිතෙන්නෙ. පවුල් දේශපාලනය තවමත් හොල්මන් කරනුයේ මෙම මානසික රෝගී තත්ත්වය නිසාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් විනාශ වූ රථ වාහන සම්බන්ධව තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, කොළඹ LNW : ආපදාවෙන් විනාශ වූ...

ආපදාවට ලක්වූ රූපලාවන්‍යාගාර යළි යථා තත්වයට පත්කරගැනීමට Dreamron වෙතින් අත්වැලක් !

පසුගිය දිනවල දිවයින පුරා පැවති ආපදා තත්වය හේතුවෙන් හානියට...

ආපදාවෙන් පූර්ණ හානි වූ නිවාස 5000 ඉක්මවයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස...

රුහුණු කතරගම මහා දේවාලයේ අභිනව බස්නායක නිළමේවරයා පත් වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, කොළඹ LNW : අද (09) පැවති...