දුරදිග නොබලා ජනප්‍රිය තීන්දු තීරණ ගැනීම හේතුවෙන් අද රට බලවත් දුෂ්කරතාවකට මුහුණ දී සිටින බවත්, රටේ අනාගතය යහපත් කිරීමට නම් ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගැනීමට සිදුව තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී ඊයේ (08) අයවැය තෙවැනි වර කියැවීමේ විවාදයට එක්වෙමිනි.
ඒහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
“පළමුවෙන්ම මම මහවැලි ඉඩම් පිළිබඳ ප්‍රශ්නය ගැන පැහැදිලි කරන්න ඕන. 1977 වන විට මේ රටේ ඉඩම් තිබුණේ ඉඩම් කොමසාරිස්වරයා යටතේ. අපි විශාල ඉඩම් කොටසක් දුන්නා මහවැලි අධිකාරියට, ඒ වගේම ඉඩම් කොටසක් නාගරික සංවර්ධන අධිකාරියට ලබා දුන්නා. තවත් සංස්ථා කිහිපයක් ඉඩම් ලබා ගත්තා. දැන් කොතනද ඉඩම් තිබෙන්නේ, මොකක්ද වේලා තිබෙන්නේ කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. පළමුව අපි ආණ්ඩුවට අයත් ඉඩම් ටික සොයා ගත යුතුයි.ඉන් පසුව කාටද එම ඉඩම් ලබාදී තිබෙන්නේ කියලා දැනගන්න පුළුවන්. අනවශ්‍ය ලෙස දී තිබෙනවා නම් ඒවා අහෝසි කරන්න පුළුවන්. එම කටයුතු පිළිබඳ තමයි දැන් අපි අවධානය යොමු කර තිබෙන්නේ.
ඒ නිසා ප්‍රාදේශීය ලේකම්වරයා යටතේ මේ වැඩකටයුතු කරගෙන යාමට උපදෙස් දී තිබෙනවා. නමුත් ප්‍රාදේශීය ලේකම්වරයාට කැමති පරිදි ඉඩම් ලබා දිය නොහැකියි. අපි ඒ සඳහා කමිටුවක් පත්කරනවා. එමඟින් පුළුල්ව සොයා බලා නීතිවිරෝධී ආකාරයට ඉඩම් ලබාදී තිබෙනවා නම් ඒ සියලු හිමිකම් අහෝසි කරන්න පියවර ගන්නවා.
මහවැලි ඉඩම් ගැන අද විවිධ ප්‍රකාශ කරනවා. මෙම සියලු ඉඩම් තිබුණේ ඉඩම් කොමසාරිස්වරයා යටතේ. දැන් ගොඩක් ස්ථානවල ජනතාව පදිංචි කර අවසන්. සමහර ස්ථානවල තවමත් පදිංචි කිරීම් සිදු කරනවා. එම ඉඩම්වලට ගැටලුවක් නැහැ. ඒත් විශේෂයෙන් මහවැලි “බී” කලාපය, “සී” කලාපය සහ “එච්” කලාපයේ වගේම අනුරාධපුර, පොළොන්නරුව ප්‍රදේශවල තිබෙන ඉඩම් පිළිබඳවත් සොයා බලා එම ඉඩම් විධිමත් අයුරින් ජනතාවට ලබාදීමට පියවර ගත යුතුයි.
මේ වෙනකොට මහවැලියෙනුයි, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙනුයි දෙකෙන්ම කෘෂිකර්ම කටයුතු කළත් අපට තවම අස්වැන්න වැඩිකර ගැනීමට හැකි වෙලා නැහැ. මේ මොහොතේ අපි බලන්නේ අස්වැන්න ඉහළ නංවා ගැනීම පිළිබඳව පමණයි. වෙනත් හේතු නැහැ. ඒ නිසා කිසිවෙකු මේ පිළිබඳ බිය වීමට අවශ්‍ය නැහැ කියලා සඳහන් කරන්න ඕනෑ.
ඒ වගේම තවත් කාරණාවක් කිව යුතුයි. රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල පිහිටුවීම පිළිබඳව අපි එදා එකඟතාවක් ඇති කර ගත්තා. ඒ අනුව දෙසැම්බර් 12, 13 දිනවල අපේ හිටපු උසස් අධ්‍යාපන ඇමතිවරු සහ අනෙක් මන්‍ත්‍රීවරු සියලුදෙනා එකතුවෙලා මේ ගැන සාකච්ඡා කරලා ලබන ජනවාරි මාසය වන විට තීරණයක් ගනිමු. ඊට පස්සේ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ආරම්භ කරන්න අපිට පුළුවන්.
ඒ වගේම අපි එකඟවුණා සෑම අධීක්ෂණ කමිටුවකටම තරුණයින් පස් දෙනෙක් පත් කරන්න. එම නිර්නායක ටික ලබන සතිය වන විට ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලනවා. නැත්නම් අපේ තරුණයින් ඒකටත් මොකද වුණේ කියා අපෙන් ප්‍රශ්න කරාවි.
මම තව කාරණයක් කියන්න කැමැතියි. අපේ බලශක්ති අමාත්‍යවරයාත් ඒ පිළිබඳ සඳහන් කළා. අපිට විදුලි ගාස්තු වැඩි කරන්න සිදු වෙනවා. පසුගිය අගෝස්තු මාසයේත් විදුලි බිලේ වැඩිවීමක් සිදු වුණා. නමුත් එය ප්‍රමාණවත් නැහැ.
දැන් තවත් බිලියන 151ක අලාභයක් ලැබෙන්න නියමිතව තිබෙනවා. ඒ වගේම 2013 සිට මේ දක්වා අපේ සම්පුර්ණ අලාභය බිලියන 300යි. මේ කාලය තුළ අපි බිලියන 300ක් සෙවිය යුතුයි. ඒ එක්කම ලබන වසරේ නියඟයක් ඇති වුවහොත් අපිට වැඩිපුර රුපියල් බිලියන 420ක් අවශ්‍ය වෙනවා. සාමාන්‍ය පරිදි වර්ෂාව ලැබුණොත් රුපියල් බිලියන 352ක් අවශ්‍ය වෙනවා. වැඩි වර්ෂාවක් ලැබිලා ගංවතුර තත්ත්වයක් ඇති වුණොත් බිලියන 295ක් අවශ්‍ය වෙනවා. අපි කොහොමද මෙම මුදල් සොයා ගන්නේ. එතැනයි ගැටලුව තිබෙන්නේ.
ආණ්ඩුවට ආදායමක් නැහැ. මුදල් මුද්‍රණය කළොත් රුපියලේ අගය අඩු වෙනවා. වැට් බදු වැඩි කළොත් එතනත් ප්‍රශ්න මතු වෙනවා. තෙවනුව තිබෙන්නේ විදුලි ගාස්තුව වැඩි කිරීම. අපිට පුළුවන් විදුලි බල කප්පාදුවක් කරන්න. නමුත් මම ඒකට කැමති වුණේ නැහැ. මොකද අ.පො.ස උසස් පෙළ විභාගය තිබෙන්නේ ජනවාරී, පෙබරවාරී මාසවල නිසා. ඒ නිසා විදුලි කප්පාදුවක් කරන්න බැහැ. ඒ පිළිබඳ දෙමාපියන්ගෙන් දැඩි ඉල්ලීමක් තිබෙනවා. අපි මේ පිළිබඳ කතා කළා.
අපි කැමති නැහැ විදුලි ගාස්තු වැඩිකරන්න. අපිත් දේශලපාලනයේ ඉන්නේ. ජනතාවට තිබෙන පීඩනය අපි දන්නවා.
ඒත් මොකක්ද අපිට තිබෙන විකල්පය. අපි අසීරුවෙන් මේ ආර්ථිකය ඉදිරියට ගෙනල්ලා තිබෙනවා. දැන් චීනය සමඟත් සාකච්ඡා කරලා තිබෙනවා, එතැනින් ඊළග පියවරට යන්න අපිට පුළුවන්. එහෙත් අපිට ආදායම් පෙන්නන්න බැරි නම් අපිට පිටින් ආධාර ලැබෙන්නේ නැහැ.
ඒ නිසා කණගාටුවෙන්, අකමැත්තෙන් වුණත් අපිට මෙම තීරණ ගන්න වෙනවා. අපිට රට ගැන හිතලා වැඩ කරන්න වෙනවා. ජනප්‍රිය නොවන තීන්දු ගන්න වෙනවා. හැබැයි ඒ තීන්දු නිසා අනාගතය යහපත් වෙනවා. අපි හැමදාම ජනප්‍රිය තීන්දු ගත්ත නිසා තමයි අද මෙතන ඉන්නේ. මීට පෙර මෙවන් තත්ත්වයකට මුහුණදීමට සිදු වුණේ නැහැ.
2013න් පස්සේ අපි විදුලි ගාස්තු වැඩි කළේ නැහැ. අද අපි ඉන්න තත්ත්වය පිළිබඳව අපි සියලු දෙනාම වගකිව යුතුයි. අනිත් රටවල් අසීරු තීන්දු තීරණ ගත්තා. නමුත් අපි ඒකෙන් පැනලා ගියා. දැන් අපෙන් අහනවා මොකක්ද කරන්නේ කියලා.
ශ්‍රී ලංකා විදුලිබල පනතේ සඳහන්වන අන්දමට සාමාන්‍ය ප්‍රතිපත්තිය වන්නේ විදුලි මිල ගණන් පිළිබඳ උපදේශයන් නිකුත් කළ හැක්කේ ඇමතිතුමාට බවත්, එම ප්‍රතිපත්තීන් බදු ව්‍යුහ සිද්ධාන්තයකට අනුව හෝ වෙනත් සිද්ධාන්තයකට අනුව සැකසිය හැකියි. පනතේ 30වන වගන්තියේ, 2වන උප වගන්තියට අනුව මහජන උපයෝගීතා කොමිසම එය ක්‍රියාත්මක කිරීමට බැඳි සිටිනවා. කිසිවෙකුට මෙයට පරිභාහිරව ක්‍රියාත්මක විය නොහැකියි. මහජන උපයෝගීතා කොමිසමේ කෙටුම්පත එදා සකස් කළේ මම. එහි තිබෙන බලතල කා සතුවද තිබෙන්නේ කියා මම හොඳින් දන්නවා.
මම දන්නේ නැහැ ඇයි සභාපතිතුමා ජනතාව නොමග යවන්නේ කියලා. සභාපතිතුමා කරපු ප්‍රකාශය පිළිබඳවත් මට පැමිණිලි කිහිපයක් ලැබිලා තිබෙනවා. මෙතුමා සඳහන් කරලා තිබෙනවා විදුලි බිල වැඩි කරන්න දෙන්නේ නැහැ කියලා. එතුමා තමයි ට්‍රිලියම් සමාගමේ සභාපති. ට්‍රිලියම් සමාගම තමයි වැඩියෙන් විදුලිබලය ලබා ගන්නේ.
එතුමා පිළිබඳ එක් එක් සංවිධාන විසින් ලබාදුන් ලිපි මා සතුව තිබෙනවා. ට්‍රිලියම් රෙසිඩන්ස්, ට්‍රිලියම් හැව්ලොක් රෙසිඩන්ස්, ටිලියම් රෙසිඩන්ස් කොළඹ 07, ට්‍රිලියම් රෙසිඩන්ස් මීගමුව වගේ ව්‍යාපාර රැසක් ඔහුට තිබෙනවා. ඒ කියන්නේ විදුලි බිල වැඩි වුණම එතුමාගේ වියදම් වැඩි වෙනවා. එතුමාට කරන්න තිබුණේ ඒ කොමිසමේදි කියන්න, මම ට්‍රිලියම් සමාගමේ සභාපති, මේ විදුලිබිල වැඩි වුණොත් ඒක මට බලපානවා. ඒ නිසා කරුණාකරලා මම මේ රැස්වීමට එන්නේ නැහැ කියලා. මටත් එහෙම සමාගම් තිබෙනව නම් මමත් කැමති නැහැ විදුලි බිල වැඩි කරනවට.
මම දුටුවා ඉංජිනේරු සංගමය කියලා තිබෙනවා විදුලි බිල වැඩිකරන්න වුවමනා නැහැ කියලා. නමුත් අපි දන්නවා එහි තිබෙන අඩුව. නොරොච්චෝලේ මෙගා වොට් 100ක සුළං විදුලි බලාගාරයක් සඳහා ඉදිරිපත් කර ඇති මිල ගණන් ඩොලර් මිලියන 321යි, හම්බන්තොට මෙගා වොට් 500ක සුළං විදුලි බලාගාරයට ඉදිරිපත් කර ඇති මිල ගණන් ඩොලර් බිලියන 1.4යි. මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇති බෆලෝ අයිලන්ඩ් බලාගාරය සඳහා ඩොලර් මිලියන 68ක් ඉදිරිපත් කර තිබෙනවා. පුත්තලමේ ඇති මෙගා වොට් 250ක සුළං විදුලි බලාගාරය සඳහා ඩොලර් මිලියන 204ක මිල ගණන් ඉදිරිපත් කර තිබෙනවා. මම පළමුවෙන්ම ඉල්ලා සිටිනවා මේවා සම්මත කර දෙන්න කියලා.
නොරොච්චෝලේ බලාගාරයට තව මාස 06කට අවශ්‍ය ගල් අඟුරු ගන්න තිබෙනවා. මොකද මාස 06කට නැවකට එම ප්‍රදේශයට ගමන් කළ නොහැකි තත්ත්වයක් ඇති වෙනවා. 2001 මම අගමැති ධූරයට පත් වුණම නොරොච්චෝලේ ව්‍යාපාතිය නතර කළා. ඒ මාස 06 ගැටලුව නිසා. අපේ ආණ්ඩුව පරාජය වුණාට පස්සේ ඔවුන් නැවත ඊළග ආණ්ඩුවට ගිහින් කිව්වා මේක කරමු, මෙතන තමයි හරි තැන කියලා. ඒවා කරපු අය දැන් නැහැ. විශ්‍රාම ගිහින්. ඒත් මම මේවා මතක් කරන්න කැමතියි.
අපිට 2002දී විදුලිබලය ගැන වාර්තාවක් දුන්නා. ඒ අනුව 2003 දී මේ දැන් තිබෙන කෙටුම්පතම තමයි කරු ජයසූරිය මහත්තයාත් විදුලිබල අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළේ. අපි 2004 පරාජය වුණාට පස්සේ එය ක්‍රියාත්මක කළේ නැහැ. ඒක ක්‍රියාත්මක නොකර, මේ අය කිව්වා 2007 පනත ගේන්න කියලා. එම පනත අනුව කිසිම විදුලි බලාගාරයක් ඇති කරලා නැහැ.
2017, 2018 අපි ඉන්දියාව සහ ජපානය සමඟ කතා කරලා එල්.එන්.ජී විදුලිබලාගාර දෙකක් ලබා ගත්තා. අපේ ආණ්ඩුව පරාජ වුණාට පස්සේ මොකක්ද මේ අය කළේ, මේ තිබෙන ගිවිසුම් අහෝසි කරන්නෙත් නැතිව ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් එකට දුන්නා. ඊට පස්සේ ඒකටත් අකමැති වෙලා චීනයටයි, පකිස්ථානයටයි ලබා දුන්නා.
එකම භූමියේ ඉන්දියාව, ජපානය, ඇමරිකාව, චීනය, පකිස්ථානය ඉන්නවා. ලෝක යුද්ධයක් ඇති නොවුණ එක තමයි මෙතන නොවුන ලොකුම දේ. රුසියාව විතරයි නැත්තේ. දැන් මේක විසඳන්න කියලා මට කියනවා. ලෝකේ හැමතැනම ඉන්න බලවතුන්ට එකම ඉඩම දිලා. ඉන්දියාවයි, ජපානයයි සමඟ එල්.එන්.ජී බලාගාර දෙක හැදුව නම් අද ඒකවත් ඉතුරු වෙනවා”
RN