මහ මැතිවරණයද, ජනාධිපතිවරණයද ? ඊළඟ ආණ්ඩුව හදන “සන්ධානය” කුමක්ද?

Date:

ඉදිරි මහා මැතිවරණයක හෝ ජනාධිපතිවරණයක දී රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා බලකඳවුරු හතක් මේ වන විට ගොඩ නැගී ඇත. මහා මැතිවරණය සහ 2024 සැප්තෑම්බර් ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මෙම කඳවුරු තැනීම සිදුවේ.

පළමු කණ්ඩායම, වත්මන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන කණ්ඩායම සහ විපක්ෂය නියෝජනය කරන අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලංසා ප්‍රමුඛ කණ්ඩායම, ඩග්ලස් දේවානන්ද, මුස්ලිම් පක්ෂ මන්ත්‍රීවරුන්, ලංකා කම්කරු කොන්ග්‍රසය, එජාප හා එයට සහාය දක්වන පක්ෂ වෙති. උතුරු පළාතේ හැර අනෙකුත් ස්ථානයන් හි ඔවුන් මේ වන විට මුලික දේශපාලන කටයුතු අරඹා ඇත.

පොහොට්ටුවේ කණ්ඩායමක් ආණ්ඩු පක්ෂය සමඟ අය වැය සඳහා පක්ෂව ඡන්දය දීමට නොපැමිණි අතර, ඔවුන් ගේ අදහස වී ඇත්තේ පොහොට්ටුව පක්ෂය ශක්තිමත් කර, මැතිවරණයට මුහුණදීම සඳහා ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් යුතු බව ය. පක්ෂ සම්මේලනයෙන් පසුව, තව දුරටත් ආණ්ඩු පක්ෂයේම රැදෙන්නේ ද, නැතිනම් විපක්ෂ කණ්ඩායමක් ලෙස ජනතාව අතරට යන්නේ ද යන දෙගිඩියාවෙන් ඔවුහු පසුවෙති.

සමගි ජනබලවේගය මේ වන විටත් පොහොට්ටුවෙන් ඉවත් වූ ඩලස් අලහප්පෙරුම, ජී.එල්.පීරිස්, ඩිලාන් පෙරේරා ඇතුළු කණ්ඩායම සමඟ සන්ධානගතවීමට මුලික එකඟතාවයක් ගොඩ නගා ඇත. එහි මහමොළකරු ලෙස ඩිලාන් පෙරේරා සහ වෛද්‍ය චන්න ජයසුමන සමගි ජනබලවේගය සමග ගිවිසුම් සකස් කරමින් සිටී. චන්දිම වීරක්කොඩි, ජයරත්න හේරත් ඇතුළු පිරිසක් මේ වන විටත් සජබට එක්වී ඇත. සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසූවේ, රෝෂාන් රණසිංහ පමණක් නොව අමාත්‍යවරුන් රැසක් තමන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවය.

ජනතා විමුක්ති පෙරමුණ (ජාතික ජනබලවේගය) අනුර කුමාර දිසානායක සහ හරිනි අමරසූරිය ප්‍රමුඛව දිවයින පුරා රැස්වීම් පවත්වමින් ක්‍රියාකාරී වී ඇත. වෘත්තීය සමිති, තරුණ හා කාන්තා බලවේග ලෙස ජවිපෙ ඉතිහාසයේ කිසිදු අවස්ථාවක නොතිබූ මැතිවරණ ව්‍යූහයක් ගොඩනගා ගැනීමට ඔවුහු සමත්ව සිටී. අද වන විට ශක්තිමත් සමාජ මාධ්‍ය ජාලය ද ඔවුන් සතුය.

සාම්ප්‍රදායික ශ්‍රීලනිප ඡන්ද පදනමට ආමන්ත්‍රණය කළ හැකි කණ්ඩායම් එකතු කර පොදු අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට ද එකඟතාවක් ඇති කර ගැනීමට පැරණි වාමාංශික පක්ෂ උත්සහයක නිරත වේ. පසුගිය ආණ්ඩුවල අමාත්‍යධූර දැරූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු පිරිස් ද, සාම්ප්‍රදායික වාම දේශපාල පක්ෂ (කො.ප., ලසසප) ද මේ සාකච්ඡාවට ඇතුලත් වෙති. චන්ද්‍රිකා කුමාරතුංග, කුමාර වෙල්ගම, චම්පික රණවක ඇතුළු පිරිසක් ජනාධිපතිවරණයක් ජයගත හැකි පොදු අපේක්ෂකයෙකු සොයා ගැනීම සඳහා උත්සහ දරමින් සිටී.

ද්‍රවිඩ ජාතික සන්ධානය මේ වන විට කොටස් දෙකකට බෙදී ඇත. තමිල් අරසු කච්ච් පක්ෂයක්, ටෙලෝ කණ්ඩායමත් වෙන් වෙන්ව ඇත. ප්ලොට් සංවිධානය මෙම කණ්ඩායම් නැවත එකතු කර සන්ධානය රැක ගැනීමට උත්සහ දරයි.

උතුරු පළාතේ බලය ක්‍රමිකව ව්‍යාප්ත කරමින් සිටින විග්නේෂ්වරන්/ පොන්නම්බලම් ඇතුළු කණ්ඩායම තමන් ඉදිරි ජනාධිපතිවරණයට අපේකෂකයෙකු ඉදිරිපත් කරන බව සිය සංවිධායකවරුන්ට දැනටමත් දැනුම් දී ඇත. තරුණ ක්‍රියාකාරීන්ගෙන් හා රාජ්‍ය සේවකයින්ගෙන් සමන්විත අපේක්ෂකයින් සමඟ ඔවුහු ග්‍රාමීය මට්ටමින් මැතිවරණ කටයුතු මේ වන විටත් අරඹා ඇත. දකුණේ ජවිපෙ ක්‍රියාකාරීවන ලෙසම, උතුරේ මැතිවරණ ආසන මට්ටමින් දේශපාලන ක්‍රියාවලියේ නිරත වන කණ්ඩායම පොන්නම්බලම් ගේ තරුණ කණ්ඩායමයි.

ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණය පැවැත්වෙන්නේ නම්, මෙම දේශපාලන කඳවුරු හත අතර පාර්ලිමේන්තු ආසන 220 ක් පමණ බෙදී යනු ඇත. කිසිදු කණ්ඩායමට මන්ත්‍රී ආසන 70 ඉක්මවිය නොහැකි තත්වයක් ඒ අනුව ඇතිවනු නොවැලැක්විය හැකිය.

මහා මැතිවරණයකින් පසුව පාර්ලිමේන්තුවේ බලය, අගමැති ධූරය ලබා ගැනීමට හැකිවන්නේ ‘පශ්චාත් මැතිවරණ සන්ධානයක්‘ තුලින් පමණී. ප්‍රධාන දේශපාලන කඳවුරු 5 , උතුරේ ද්‍රවිඩ කණ්ඩායම් තුන, මුස්ලිම් මන්ත්‍රී කණ්ඩායම් දෙක, අතර හවුල් ආණ්ඩුවක් අනිවාර්යයෙන්ම බිහිවිය යුතුව ඇත. එවැනි හවුලකට නායකත්වය ලබාදීමට වැඩිම විභවය ඇත්තේ ශුරතම දේශපාලන නායකයෙකුට හෝ කණ්ඩායමකට ම පමණී. සන්ධාන සෑදීමේ ශුරත්වය සහිත රනිල්, චන්ද්‍රිකා, චම්පික, මලික්, මෛත්‍රීපාල, ඩිලාන්, එස්.බී. මෙහි දී ඉටු කරන භුමිකාව තීරණාත්මක වන්නේය.

2024 ජූලි මස අවසන් සතියේ දී ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම අනිවාර්ය වේ. ඒ සඳහා තවත් ඇත්තේ දින 235 කි. ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණයක් ප්‍රකාශයට පත් වන්නේ නම්, එය 2024 ජනවාරි හෝ පෙබරවාරි මුල් සතිය තුල සිදුවනු ඇත.

~ රජිත් කීර්ති තෙන්නකෝන්
ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු)

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...