ජීවිතේ බෝඩිමක් ! හිටියට අයිති නැති තැනක් !!

Date:

මගේ වීරයන් කීප දෙනකු හා යම් පමණකට කිට්ටුවෙන් ඇසුරු කිරීමේ භාග්‍යය, පත්තරකාරයකු වීමෙන් ලද්දෙමි. සාමාන්‍යයෙන් මාසයකට හමාරකට වරක් ඒ ගරු කටයුතු මිනිසුනට දුරකථනයෙන් කතා කර, දුක සැප විමසීමට පුරුදුව සිටිමි. ඒ අනුව, වරෙක, නිහාල් අයියාට ඇමතුමක් ගත්තෙමි.  ඒ,  සුනිල් (පෙරේරා) අයියා සමුගත් දිනවලය.

අපගේ කතාබහ කරකැවුනේ සුනිල් අයියා වටාය. ඒ හදිසි මරණය ගැනය. සුනිල් අයියාගේ සමුගැනීම ගැන කම්පනයක් තිබුණද, මරණය අප සොයා පැමිණීම සම්බන්ධව නිහාල් අයියා තුල තිබුණේ උපේක්ෂාසහගත මුනිවර අදහසකි. ඔහු ඒ ඇමතුම අවසානයේදී මට කීවේ, “මේ ජීවිතේ කියන්නෙ බෝඩිමක් කැටිපෙ. දිගටම ඉන්න පුළුවන් තැනක් නෙමෙයි ජීවිතේ කියන්නෙ. මේකෙ හිටියට මේක අපට අයිති නෑ.  ෆීස් ගෙවල ඉවරවුණාම අපි කාටත් යන්න වෙනව” කියාය.

ඇමතුම අවසන් වූ පසුවත්, ඒ අන්තිමට කී දෙය මසිත දෝංකාර දුන්නේය. එයින් යමක් ලියන්නට පුළුවන් නේදැයි සිතී, හිතට ආ දෙය කප කපා කොට කොටා කුරුටු ගෑවෙමි. ලියා අවසන මට සිතුනේ මෙය නිහාල් අයියා ලවා ගායනා කළ හැකිනම් අගෙයි කියාය. එසේ සිතා මම එය ඔහුට යැව්වෙමි. මෙවැනි ආධුනික පදරචනා දහස් ගණනක් ඔහු සතුව ඇති. එසේ වුව, “මේකෙ පොඩි ගතියක් තියෙනව.  ඉස්සරහ වැඩකදී පාවිච්චි කරමු”යි නිහතමානීව ඔහු කීවේය.

මේ මෑතකදී ද මම ඔහුට එය යළි යැවීමි. ඒ නුදුරු දිනෙක මුණගැසී ඒ ගැන කතාකරන අපේක්ෂාවෙනි. කෙසේ වෙතත්, ඒ සියල්ලම පසෙක තබා ඔහු බෝඩිමෙන් පිටව ගොසිනි. අප තවම බෝඩිමේ සිටිමු. ඒ අපේ ෆීස් ගෙවා අවසන් වන තුරුය.

මේ ඔහු කී දේ අකුරු වූ විලාසයයි. තවමත් බෝඩිමේ ඉතිරිව ඉන්නා අය සමග එය බෙදාගන්නේ, නිහාල් නෙල්සන් පුරාවෘත්තයට ශීර්ෂ ප්‍රණාමය පළ කරමිනි ❗

*******************************

?සයිස් එකෙන් වැඩ දාගෙන ගෙව්වට ලොකු ප්‍රයිස්
අයිස් වගේ දියවෙනවා දවසක ලොකු සයිස්
ටයිම් එකට කොයි කවුරුත් දාල යනව ලයිෆ්
මල්ලි – මනුස්සකම ඉතුරු කළොත් අන්න ඒක නයිස්

(ජීවිතේ බෝඩිමක්
හිටියට අයිති නැති තැනක්
ෆීස් – ගෙවල ඉවර වෙන දාකට ක්ලෝස් වෙන තැනක් //

රිදවන්නට හිතන්නෙපා තව කෙනෙක්ගෙ හිත
විඳවන්නේ මොකටද මේ ඉරිසියාව මත
වදවෙන්නට එපා හොයල ජාතිය කුල ගොත
දවසක – පිටවෙන්නට වෙනව අපට මෙතනින් හිතවත

(ජීවිතේ බෝඩිමක්
හිටියට අයිති නැති තැනක්
ෆීස් – ගෙවල ඉවර වෙන දාකට ක්ලෝස් වෙන තැනක් //

බලේ ධනේ රැස් කරගන්නට කෙරුවත් ෆයිට්
මොළේ වෙහෙසලා බැලුවම ඒ ඔක්කොම බයිට්
කොලේ වහල ගහන්න බෑ ලයිෆ් එකට රයිට්
මල්ලි – නිලේ තලේ අදාළ නෑ කාටත් ගුඩ් නයිට්  

(ජීවිතේ බෝඩිමක්
හිටියට අයිති නැති තැනක්
ෆීස් – ගෙවල ඉවර වෙන දාකට ක්ලෝස් වෙන තැනක් //
පූස් – පැටව් වගේ මාරුවෙලා යන්න වෙන තැනක්
ටෝක් – ඉෂූ කළොත් කවදාහරි ජෝක් වෙන තැනක්
ෂාප් – එකේ ඉඳල ෂේප් එකේ ගියොත් හොඳ තැනක්
බ්‍රේක් – වෙන බව දැන පීක් එකට යන්න මරු තැනක්

– විමල් කැටිපෙආරච්චි 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා බලධාරීන් IMF වෙතින් ඩොලර් මිලියන 200ක හදිසි ණයක් ඉල්ලයි

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන...

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය...

රෙහාන් ජයවික්‍රම සමගි ජන බලවේගයෙන් ඉවත් වෙයි

වැලිගම හිටපු නගරාධිපති, සමගි ජන බලවේගයේ වැලිගම ආසන සංවිධායක...

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...