*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාවේ සමලිංගික භීතිකාව, දේශපාලනය හා මාධ්‍ය භාවිතය (අවසාන කොටස)

සමලිංගිකත්වය සංස්කෘතියට පටහැනි ද? යන මැයෙන් මීට ඉහත ශ්‍රී ලංකාවේ සුළුතර ප්‍රජා කණ්ඩායම් පිළිබඳ පර්යේෂකවරයකු හා මානව හිමිකම් ආරක්ෂකයකු වන දමිත් චන්දිමාල් මහතා සමඟ පැවති සාකච්ඡාව ලිපි පෙළකින් අප ඔබට ඉදිරිපත් කරනු ලැබුවා.

එම ලිපි පෙළෙහි 1 හා 2 කොටසින් ලංකාවේ ඉතිහාසය හා සංස්කෘතිය පිළිබඳවත්, 3 කොටසින් ලංකාවේ LGBT+ මානව හිමිකම් ව්‍යාපාරයේ ඇරඹුම හා එහි වත්මන් තත්ත්වය පිළිබඳවත් අප සාකච්ඡා කරනු ලැබුවා. මෙම ලිපි පෙළට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබී තිබුණා.

අද දිනයේ දිග හැරෙන්නේ එම සාකච්ඡාවේ අවසාන මෙන්ම වැදගත්ම කොටසයි.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සමලිංගිකභීතිකාව, හා රටේ දේශපාලනය සහ මාධ්‍ය භාවිතය LGBT+ ප්‍රජාව දඩමීමා කර ගන්නා ආකාරය පිළිබඳව කරුණු මෙම ලිපිය තුළින් සාකච්ඡා කරනු ලබනවා. මෙම ලිපිය තුළ ද ජ්‍යෙෂ්ඨ මානව හිමිකම් ක්‍රියාකාරීන් මඬුල්ලක් විසින් කතෘ මණ්ඩලය හොබවනු ලබන දේදුනු සංවාද නම් පිටුවේ අධ්‍යයන කරුණු උපුටා දැක්වීමක් සිදු කිරීමට අප බලාපොරොත්තු වන අතර, ඒ වෙනුවෙන් ඩෙන්වර් පීටර්සන් මහතා ප්‍රමුඛ එහි කතෘ මණ්ඩලයට ද අප ස්තූතිවන්ත වනවා.


සමලිංගිකත්වය, සංක්‍රාන්ති සමාජභාවය ඇතුළු විවිධ ලිංගික දිශානතීන්, ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාවයන් දරණ ප්‍රජාවන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය භාවිතය තුළ උදෘත කර පෙන්වන අන්දම පිළිබඳ ඔබේ අදහස කුමක් ද?

ලංකාවේ LGBTIQ ප්‍රජාවට සහයෝගය දක්වමින් සෑහෙන හොඳ ආචාරධාර්මික විදියෙ වාර්තාකරණයක නියැලුනු ජනමාධ්‍යවේදීන් සෑහෙන පිරිසක් සිටිනවා. ඒ අය අගය කළ යුතුයි. නමුත් ඒ අතරම, LGBTIQ ප්‍රජාවට / ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයට, LGBTIQ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් කඩ කිරීමට, අපහාස කිරීමට ලොකුම හේතුවක් වී තිබෙන්නේත් ජනමාධ්‍යයයි.

ලිංගිකත්වය ගැන කතිකාවත අපේ සමාජයේ පවතින්නේ හොඳ තැනක නෙමෙයි. ඉතින් පැහැදිලිවම අපිට ලිංගිකත්වය ගැන හොඳින් කතා කරන ජනමාධ්‍යයක් තියෙන්නට බැහැ. අනික අතට යහපත් නැති ලිංගිකත්වය ගැන කතිකාවත වෙනස් කරන්න, ඒ ගැන දැනුවත් කරන්න ජනමාධ්‍යවලට සමාජ වගකීමක් තියෙනවා. පොදුවේ ලංකාවේ ජනමාධ්‍ය තුළ ආචාරධර්ම ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒක LGBTIQ ප්‍රශ්නයක්ම නෙමෙයි. ජනමාධ්‍ය පොදුවේ ප්‍රවෘත්ති වාර්තා කිරීමේ දී, හෝ ලිපි පළ කිරීමේ දී කෙනෙකුගේ පෞද්ගලිකත්වයට ඇති අයිතියට, අපහාසයට/උපහාසයට ලක් කිරීමේ සීමාවන් තබා ගැනීම, වැරැදි පුවතක් නිසා සාමාන්‍ය කෙනෙකුට මුහුණ පාන්නට විය හැකි දුක්ගැහැට වාගේ දේවල් ගැන, ඒවායේ ආචාර ධර්මීය සීමාවන් ගැන සැලකිලිමත් නැහැ.


ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ කඹුරුගමුව තරංග ගුණරත්න යන අය මාතර දරු උපත පිළිබඳ ලංකාදීප පුවත්පතට වාර්තා කර තිබූ අයුරු

කියවන්න: බුද්ධියෙන් විමසන දැනුම වකුගඩුවෙන් බෙදන පත්තර කලාව (මාතර දරු ප්‍රසූතිය පිළිබඳ පුවතට අදාලවයි)

බොහෝ විට මෙවැනි නොසැලකිල්ලක ගොදුරු බවට පත් වෙන්නේ වෙනස් කොට සැලකීමට ලක්වෙන ජනකණ්ඩායම් සහ ඒවාට අයිති පුද්ගලයන් – මේ අතරට කාන්තාවන්, සුළුජනවර්ගවලට අයිති අය, වෙනස් ලිංගිකත්වයන් ඇති අය, වතු ප්‍රජාව, නාගරික දුප්පතුන්, ලිංගික ශ්‍රමිකයන්, සංක්‍රාන්ති සමාජභාවී අය පහසුවෙන්ම අයිති වෙන්නට පුළුවන්.


මතුගම වසන්ත කුමාර නැමැත්තෙකු විසින් මව්බිම පුවත්පතට ලියන ලද ලිපියක්

ප්‍රවෘත්ති කියන්නේ මොකක්ද කියන එක ගැන තියෙන පරණ, යල් පැනගිය නිර්වචනයක් වෙන්නේ ‘බල්ලෙක් මිනිහෙක්ව හැපුවොත් ඒක ප්‍රවෘත්තියක් නෙමෙයි, හැබැයි මිනිහෙක් බල්ලෙකුව හැපුවොත් ඒක ප්‍රවෘත්තියක්‘ කියලා. අසාමාන්‍ය, නිතර වාර්තා නොවෙන දේවල් වාර්තා කළාම ප්‍රවෘත්තියක වටිනාකම වැඩි වෙනවා කියන අදහස මෙහි ගැබ්ව තියෙනවා. ඒ වාගේම කිසි ආචාරධර්ම ගැන සැලකිල්ලක් නැතිව, මිනිස්සුන්ගේ කුතුහලය අවුස්සන, තොරතුරු වාර්තා කළොත් ඇති පොදුජන ආකර්ෂණය ගැනත් මෙතැනදී කියවෙනවා. කෙනෙකුගේ ලිංගික චර්යාවක් ගැන තොරතුරක් පැහැදිලිව විකුණන්න පුළුවන්. ඕපදූප කියවන්න කැමැති ගොඩක් අය ඉන්නවා. ජනමාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේ කණුවක් වගේම, තරගයක් තියෙන බිස්නස් එකක්. විවිධ ආකාරවලින් පාඨකයා ආකර්ෂණය කර ගත හැකි විදිය ගැන ඕනෑම ජනමාධ්‍ය ආයතනයක් හිතනවා. නමුත් ඒ කාරණයේ දී මාධ්‍ය ආචාරධර්ම කියන දේ මාධ්‍ය වෘත්තිකයන් විසින්ම ඇති කර ගෙන ඇත්තේ, ජනමාධ්‍ය කියන්නේ විවිධ සමාජ වටිනාකම් රැසක් තියාගෙන, සමාජයට එදිරිගාමී යමක් ඉටුකළ හැකි වෘත්තියක් සහ වෙළෙඳ ව්‍යාපාරයක් වෙන නිසයි. ලෝකයේ බොහෝ සමාජ ප්‍රගමනයන්ට නිසැකවම ජනමාධ්‍ය දායක වී තිබෙනවා.


සමරිසි ව්‍යාපාරය තුළ එල්ල කළ දරුණුතම මාධ්‍ය ප්‍රහාරය; 2011

LGBTIQ අයිතිවාසිකම් ව්‍යාපාරය ඉලක්ක කර ගත් මාධ්‍ය ප්‍රහාරයන් කිහිපයක් ගැන මං කලින් ලිපියේත් කතා කළා. විශේෂයෙන්ම 1995දී ලංකාවේ LGBIQ අයිතිවාසිකම් ව්‍යාපාරය ලංකාවේ දී පටන් ගැනීමේදී මාධ්‍යයෙන් ඒ ගැන වාර්තා කළ ආකාරය ගැන ගැටළු, 1999 දී ද අයිලන්ඩ් පුවත්පත විසින් පළකළ සමලිංගික භීතිකාවෙන් යුතු ලිපිය සහ ඒ පිළිබඳ පුවත්පත් පැමිණිලි කවුන්සිලයට කළ පැමිණිල්ල, 2007 දී ඊකුවල් ග්‍රවුන්ඩ් ආයතනයට එරෙහිව මඩකලපුව ප්‍රදේශයේ ප්‍රාදේශීය පුවත්පතකින් ගෙන ගිය සමලිංගික භීතිකාවෙන් යුතු වාර්තා සහ 2011 දී ගමන්මගේ සහකරුවෝ සංවිධානය ඉලක්ක කර ගනිමින් පුවත්පතක් පළ කළ ලිපි සමූහය ඒ අතර ප්‍රධානයි.


තඹුත්තේගම සමන් දිසානායක නැමැත්තෙකු විසින් එච්අයිවී ආසාදනයට අදාළව ලංකාදීප පුවත්පත ට ලියූ ලිපියක්

දැනට අවුරුදු 3-4කට කලින් ජනමාධ්‍යවේදියෙකු විසින් ගාල්ල දිස්ත්‍රික්කයේ LGBTIQ පුද්ගලයන් සමග ව්‍යාපෘතියක් සිදු කළ ආයතනයකට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ද කැටුව ගොස්, එම ආයතනයේ සේවකයන් බිය වද්දා, කිසිදු අවසරයක් නැතිව එහි ලිපි ලේඛන බලෙන් පරීක්ෂා කර පොලිසියෙන් මෙන් ප්‍රශ්න කර තිබුනා. ඊට පසුව එම දිස්ත්‍රික්කයේම එච්අයිවී සඳහා රුධිර පරීක්ෂා කිරීමේ ජංගම සායනයක් පවත්වා ගෙන ගිය සංවිධානයක් විසින් තරුණයන් වඳභාවයට පත් කරන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව කියමින්, සංවිධානයේ ක්‍රියාකාරීන්ගේ පුද්ගලික ගෙවල් දොරවල් පවා මාධ්‍යයෙන් පෙන්නුවා. ඒ චෝදනාවල කිසිදු සත්‍යයක් තිබුනේ නැහැ. නමුත් එයින් සිදු වූ හානිය හරි විශාලයි. ඒ අය සිදු කළ වැඩකටයුතුවලට, සැපයූ සේවාවලට සෑහෙන බාධා පැමිණියා.  

ඒවාට අමතරව, LGBTIQ පුද්ගලයන් ඉලක්ක කර ගත් අතිශයින් හෙළා දැකිය යුතු ජනමාධ්‍ය වාර්තාකරණ සිදුවීම් තියෙනවා. වඩාත්ම නරක උදාහරණයක් වෙන්නේ 2011 වසරේ දී නෙත්එෆ්එම් බැලුම්ගල වැඩසටහනයි. මෙහිදී ජනමාධ්‍යවේදියකු විසින් ළමා අපයෝජනයක් එළිදරව් කරනවා යැයි කියමින් සංක්‍රාන්ති තරුණියක්, අඩු වයස් පුද්ගලයකු යැයි ජනමාධ්‍යවේදියාට හඳුන්වා දුන් තැරැව්කරුවකු හරහා සම්බන්ධ කර ගෙන, ආදර සම්බන්ධයක් පවත්වා, ඉන්පසුව විවාහ මංගල්‍යයක් සංවිධානය කර, එහිදී චාරිත්‍රවාරිත්‍ර ඉටු කරමින් කසාදයක් බැඳ ඉන්පසු ඒ සියල්ල බැලුම්ගල වැඩසටහන හරහා විකාශය කළා. ඒ සංක්‍රාන්ති තරුණියගේ ඡායාරූප වෙබ්අඩවිවලට ලබා දුන්නා. සංක්‍රාන්ති තරුණියගේ ඡායාරූප පෞද්ගලිකත්වය ගැන කිසිදු තැකීමක් නොකර හඳුනා ගත හැකි ලෙස පල කළා. 

ඉන්පසු තමන්ගේ ගෙදර සිටින්නට බැරි තත්වයක් ඇති වූ නිසා එම තරුණිය පන්සලක තාවකාලිකව මහණ වූවා. එවිට ඒ පන්සලටත් ගොස් එම තොරතුරු එළිදරව් කළා. මෙසේ ජනමාධ්‍යවේදියකුගේ භූමිකාවෙන්, ඔවුන්ට කළ හැකි සහ කළ නොහැකි දේවලින් ඔබ්බට යමින් ජනමාධ්‍ය කටයුතු කළ අවස්ථා ගැන මෙවැනි උදාහරණ ගණනාවක් තියෙනවා. තවත් උදාහරණයක දී පෙම් සබඳතාවයක් තිබූ පාසැල් යන වයසේ ගැහැණු ළමුන් දෙදෙනෙකුගේ ඡායාරූප කිසිදු මුහුණු ආවරණය කිරීමකින් තොරව පුවත්පතක පල කළා. LGBTIQ ළමයින්ගේ මූලික ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ගැනවත් ජනමාධ්‍ය ආයතන සංවේදී නැහැ.

මේ සංවේදී නැතිබව ඇති වන්නේ ජනමාධ්‍යවේදීන් දැනුවත් නැති නිසා බව එක් අදහසක්. අනික් අදහස වෙන්නේ බොහෝ විට මෙවැනි දේවල් ජනමාධ්‍ය ආයතන විසින් දැන දැන කරන බවයි. ඒ වගේම මේවා කළාට දඩුවමක් ලැබෙන්නේ නැහැ කියන විශ්වාසය තියෙනවා. LGBTIQ ප්‍රජාවන්ට එරෙහි ජනමාධ්‍ය ප්‍රහාරයන් දෙස බලන විට බොහෝ විට පෙනෙන්නේ මේවා යම් යම් විදියට විවිධ දේශපාලනයන්ට සම්බන්ධ බවයි. ලංකාවේ ජනමාධ්‍ය අයිති ඉතා සුළු පිරිසකටයි. ජනතාව වැඩි ප්‍රමාණයක් භාවිතා කරන මාධ්‍ය අයිති වෙන්නේ කිහිප දෙනෙකුටයි. මේ ආයතන බොහොමයක් පක්ෂ දේශපාලනයන් හා සම්බන්ධයි. ඉතින් නිදහස් ජනමාධ්‍ය කියා දෙයක් නැහැ. බොහෝ ජනමාධ්‍යවල ස්වරූපය විවිධ දේශපාලන පක්ෂවල මතයට පාක්ෂික හෝ විපක්ෂ එකක් වෙනවා.  ඒවායේ පවතින සංකීර්ණ බල අරගලයන් හරහා LGBTIQ පුද්ගලයන් මාධ්‍යයේ නියෝජනය වෙන ආකාරය තීරණය වෙනවා.


අජන්ත කුමාර අගලකඩ නැමැත්තෙකු විසින් ලංකාදීප පුවත්පතට ලියූ ලිපියක්

මාධ්‍යයෙන් අයිතිවාසිකම් කඩවීම් වෙන කොට ඒක පාලනය කරන්නෙ කොහොමද? අමාරුම ප්‍රශ්නය මේකයි.  මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් ලංකාවේ ලොකු අවුලක් තියෙනවා. දැනට ක්‍රියාත්මක ස්වයං නියාමනය එක අතකට වැඩ කරන්නේ නැහැ. ඒ වාගේම, නිදහස් යාන්ත්‍රණයක් නැති මර්දනශීලී රාජ්‍ය නියාමනයක් ගෙන ඒමෙන් එල්ජීබීඅයිකිවු ප්‍රජාවට කබලෙන් ලිපට වැටීමක් වෙන්නට පුළුවන්. ශ්‍රී ලංකා පුවත්පත් කවුන්සිලය තිබිය දී එයින් දුන් තීන්දුවකින් LGBTIQ ප්‍රජාව වඩාත් කොන් කිරීමට භාජනය වූ හැටි මම කලින් කීවා.


අනුරාධපුර මහේෂ් විජේසූරිය නැමැත්තෙකු විසින් මව්බිම පුවත්පතට ලියූ ලිපියක්

දැනට පවතින ස්වයං නියාමන ක්‍රියාවලිය පණ මදි වුනත්, එම ක්‍රියාවලිය LGBTIQ ප්‍රජාව තේරුම් ගනිමින් කටයුතු කළ අවස්ථා ගණනාවක් තියෙනවා. ඒ නිසා දැනට පවතින ජනමාධ්‍ය ස්වයං නියාමන යාන්ත්‍රණය තවදුරටත් ශක්තිමත් කිරීම සහ නීතිමය පිළිගැනීමක් ලබාදීම, ජනමාධ්‍ය ආචාරධර්ම පද්ධති LGBTIQ ප්‍රජාව වැනි ප්‍රජාවන් කෙරේ ජනමාධ්‍ය හරහා සිදුවූ අයිතිවාසිකම් කඩවීම් දෙස බලා ඒවා යාවත්කාලීන කිරීම, ජනමාධ්‍ය විද්‍යාල, විශ්ව විද්‍යාල මෙවැනි කාරණා සම්බන්ධයෙන් අධ්‍යයන සිදු කිරීම, විෂය පාඨමාලා තුළ අන්තර්ගත කිරීම වැනි වෙනස්කම් ගණනාවක් ඇති කිරීම මේ තත්වය වෙනස් කිරීමට වැදගත් කියා මං සිතනවා. මේ ගැන පුළුල් සාකච්ඡාවක් මාධ්‍ය ක්‍රියාකාරීන් හා LGBTIQ ප්‍රජාව එකතු වී කිරීමේ වැදගත්කමක් තියෙනවා.


එච්අයිවී ව්‍යාප්තිය සම්බන්ධව විකෘතිකළ කරුණු අඩංගු වෙබ් අඩවි ලිපියක්


ඔබේ මතය අනුව, රටේ ප්‍රධාන දේශපාලන පෙරලියක්, නැත්නම් කුමක් හෝ දේශපාලන උණුසුම් වාතාවරණයක් ඇතිවන විට සමරිසි ප්‍රජාව, හෝ සමස්ත LGBT+ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ප්‍රහාර දියත් වන්නේ ඇයි?

සමලිංගිකත්වය ගැන අපේ රටේ හදපු මිථ්‍යා මත ගණනාවක් තියෙනවා. ඒ අතරට සමලිංගිකත්වය අපේ රටේ සංස්කෘතියට විරුද්ධයි, සදාචාරයට විරුද්ධයි, ආගමට විරුද්ධයි, බටහිර දෙයක්, අස්වාභාවික දෙයක්, රාජ්‍ය නොවන සංවිධාන හඳුන්වා දෙන දෙයක් වාගේ අදහස් ගොඩක් තියෙනවා. මෙවැනි අදහස් නිසා, සමලිංගිකත්වය කියන්නේ පුද්ගලයකුගේ ලිංගිකත්වයට එහා යන දෙයක් බවට පත් වී තිබෙනවා. එය දේශපාලනඥයෙකුට, පක්ෂයකට, රජයයකට විරුද්ධව දමා ගැසිය හැකි ආවුදයක් බවට පත්ව තිබෙනවා. LGBTIQ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ලබා දෙන රජයයක් හෝ ඒ වෙනුවෙන් කතා කරන රජයයක් රටේ සංස්කෘතියට විරුද්ධ, සදාචාර විරෝධී එකක් ලෙස හුවා දැක්වෙනවා.

මෙවැනි අදහස් ප්‍රධාන වශයෙන් පතුරවන්නේ සහ පවත්වා ගෙන යන්නේ දේශපාලනඥයන් සහ ඔවුන්ගේ සහාය ලබන අනෙකුත් අය පිරිසක් විසිනුයි. ඉතින් මෙවැනි තත්වයක් තියෙන සමාජයක කිසියම් රජයයකට, ආණ්ඩුවකට, දේශපාලනඥයෙකුට සමලිංගික යැයි කියමින් අපහාස කරන්නට, ඔවුන් එසේ නිසා වැරදි යැයි මතයක් ගොඩ නගන්නට හැකිව තිබෙනවා. ‘සමලිංගික ආණ්ඩුව’, ‘පොන්න ආණ්ඩුව’ වැනි වචන පසුගිය රජය සම්බන්ධයෙන් භාවිතා වුනු බව අපි බොහෝ දෙනෙක් දන්නවා. අනික සමලිංගික පුද්ගලයෙක් රටක් පාලනය කරන්නට නොසුදුසුය, ඒ අයට පෞරුෂයක් නැතිය වාගේ අදහස් අපි නිතර අහන්නට ලැබුනා. මේවා යම් යම් දේශපාලන වුවමනාවන් මත පතුරන ලද අදහස්. පසුගිය රජයට මෙවැනි ලේබල් වැඩිපුර ගසනු ලැබූවත්, එය ඒ කාලයේ පටන්ගත් දෙයක් නොවෙයි.

1990 දශකයේ මුල් භාගයේ රිචඩ් ද සොයිසා ඝාතනයේ යුක්තිය ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට එජාප ආණ්ඩුව රිචඩ් ද සොයිසා සමලිංගිකයෙක් යැයි කීම භාවිතා කළා. 1998 දීත් එජාප මන්ත්‍රීවරයෙක් එවකට ශ්‍රීලංනිප සිටි තමන්ගේ විරුද්ධවාදියෙක් එල්ල කර ගෙන ඔහුගේ සමලිංගිකත්වය පදනම් කර ගෙන ප්‍රහාර එල්ල කළා. එයින් පසුව ඒ ගැන ඒ කාලයේ බොහෝ සංවාද ඇති වුනා.


රිචර්ඩ් ද සොයිසා | ඡායාරූපය: දේදුනු සංවාද

ඉතින් බොහෝ දෙනා හිතනවා තමන්ගේ දේශපාලන විරුද්ධවාදියාගේ ‘සමලිංගිකත්වය’ එළිදරව් කිරීම තුළින්, කෙනෙකුට ‘සමලිංගිකයා’, ‘පොන්නයා’, ‘සමනළයා’ වැනි වචන භාවිතා කිරීම තුළින් විරුද්ධවාදියාගේ කට වැසිය හැකි බව, නිශ්ශබ්ද කළ හැකි බව, ලැජ්ජාවට පත් කළ හැකි බව, මහජනයා අතර නොපිලිගැනීමට ලක්කළ හැකි බව.

සමලිංගිකත්වය කියන්නේ නොසුදුසු දෙයක්ය යන අදහස මේවා කියන අයගේ හිතේ ගැබ්වී තියෙනවා. එසේම ලංකාවේ පවතින සම්ප්‍රදායික අදහස් දරන අය අතර, කෙනෙකු ගැන ඉක්මනින්ම අප්‍රසාදය ඇති කිරීමට මෙවැනි අදහස් යොදා ගන්න පුළුවන්. ඉතින් එක විදියකට එසේ කිරීමෙන් ප්‍රායෝගිකව කිසියම් ජනප්‍රියතාවයක් ලබා ගත හැකි තත්වයක් තියෙනවා.

තමන්ට බුද්ධිමය විදියට තමන්ගේ විරුද්ධවාදියා පරාජය කරන්න නොහැකි වූ විට මෙවැනි අදහස් කියමින් කෙනෙකුගේ පෞද්ගලික ජීවිතයට අපහාස කිරීමෙන් ජයග්‍රහණය ලබා ගන්නට උත්සාහ කරනවා. මෙවැනි උපක්‍රම භාවිතා කරන අයගේ නොහැකියාව මිසක් වෙනකක් එයින් හෙළි වෙන්නේ නෑ. මේ උපක්‍රමය අපේ රටේ විතරක් නොවෙයි ලෝකයේ බොහෝ රටවල දකින්නට ලැබෙනවා. දේශපාලන සමලිංගිකභීතිකාව කියා හඳුන්වන්නේ මේකයි. සමහර වෙලාවට ඒ දේශපාලනඥයෝ ඇත්තටම සමලිංගිකත්වය ගැන විරෝධයක් පෞද්ගලිකව නැහැ. ඒත් මේක තමන්ට බලය ලබා ගන්නට උදව් වෙන නිසා දේශපාලන උපක්‍රමයක් විදියට පාවිච්චි කරනවා. 2018 වසරේ දී හිටපු ජනපතිතුමා විසින් සමනළයා කියා හිටපු අගමැතිවරයා අමතමින් අපහාසාත්මක කතාවක් කළ අවස්ථාවේ LGBTIQ ප්‍රජාව ඊට එරෙහිව නැගී සිටියේ ඒ නිසයි.

දේශපාලන සමලිංගිකභීතිකාව කියන දේ හුදෙක් දේශපාලනඥයො අතර ඇති වන විවාදයක් නොවෙයි, එවැනි ප්‍රකාශ කරන්නේ බොහෝ විට ප්‍රේක්ෂකාගාරයක්, සමහර විට මුලු රටක් ඉලක්ක කර ගෙනයි. ඒ ප්‍රකාශ මාධ්‍ය හරහා පෙන්වමින්, ප්‍රසිද්ධියේ හිනාවට ලක් කරමින් ගෙනියන ඊළග භුමිකාව ඉටු කරන්නේ මාධ්‍යයයි. අද වෙන විට මෙයට ජනමාධ්‍ය සහ සමාජමාධ්‍ය යන දෙකම භාවිතා වෙනවා. ලංකාවේ ජනමාධ්‍ය හිමිකාරීත්වය ඉතා තදින් දේශපාලනීකරණය වූවක් වෙනවා. මේ කාරණය මත බොහෝ විට දේශපාලන වාසි ලබා ගත හැකි නම් සමලිංගිකභීතිකාවෙන් යුතු දේශපාලනඥයන් හෝ දේශපාලන පක්ෂ ඉලක්ක කර ගත් ප්‍රකාශ පල වෙනවා.


2016 – 2017 කාලසීමාව තුළ “Sri Lankan Catholic Truth – Voice of the Catholic People” නම් ෆේස්බුක් පිටුව විසින් සමරිසි ප්‍රජාව ඉලක්ක කර ගනිමින් සංවිධානාත්මකව රැගෙන ගිය විරෝධතා ව්‍යාපාරය

ඒ වාගේම තමන්ගේ දේශීයත්වය, සංස්කෘතිය ගැන ඇති ලැදියාව වාගේ දේවල් ප්‍රකාශ කිරීමේ ස්වරූපයක් ලෙසත් දේශපාලන සමලිංගික භීතිකාව භාවිතා වෙනවා. සමලිංගිකභීතිකාව භාවිතා වෙන අනික් ආකාරය වෙන්නේ රටේ තත්වය සම්බන්ධයෙන් වෙනත් වැදගත් ප්‍රශ්නයක් තියෙන විට, අවධානය වෙන අතකට යොමු කිරීමට LGBTIQ ප්‍රජාව/ එහි ක්‍රියාකාරීන් ඉලක්ක කිරීමයි. ඉතින් මේ කාරණා සියල්ලේ අඩුවැඩි වීමක් ලෙස දේශපාලනික වශයෙන් උණුසුම් වාතාවරණයක් තුළ සමලිංගිකභීතිකාව විවිධ ආකාරවලින් දේශපාලන වේදිකාවල සහ එසේ නොවන තැන්වල මතු වෙන්නට පුළුවන්.


වර්තමානය වන විට ඇතැම් වාමාංශික පක්ෂ ඇතුළු දේශපාලන ව්‍යාපාර LGBT+ මානව හිමිකම් පිළිබඳ ප්‍රතිපත්තිමය වශයෙන් යම් ස්ථාවරයක් දරණු ලබනවා. මේ පිළිබඳ ඔබේ අදහස කුමක් ද?

මා හිතන්නේ ඔය අදහස එන්නේ ජාතික බලවේගය තමන්ගේ මැතිවරණ පොරොන්දු විදියට LGBTIQ ප්‍රජාවේ අයිතිවාසිකම් සුරකින බවටත්, යම්යම් නීති වෙනස්කම් කරන බවටත්, LGBTIQ ප්‍රජාව වෙනුවෙන් දුන් ඡන්ද පොරොන්දු සහ එය මැතිවරණ පොරොන්දු ප්‍රකාශනයේ ඇතුළත් කිරීමෙන්. මා දකින විදියට එය සෑහෙන්න අගය කළ යුතු ක්‍රියාවක්. මා දන්නා තරමින් මීට පෙර කිසිම පක්ෂයක් එවැනි පොරොන්දුවක් මැතිවරණ ප්‍රකාශනයක ඇතුළත් කර තිබුනේ නැහැ. එයින් රටේ දේශපාලන සංස්කෘතිය තුළ බරපතල ලෙස පැතිරී ඇති සමලිංගිකභීතිකාවට එරෙහිව LGBTIQ ප්‍රජාව සමග සිට ගනිමින් පැහැදිලි පණිවුඩයක් දෙනු ලැබුවා. ඊට අමතරව වර්තමානයේ වමේ දේශපාලන පක්ෂ කිහිපයක් LGBTIQ ප්‍රජාවේ මානව හිමිකම් පිළිගත යුතු යැයි ස්ථාවරයකට අද පැමිණ සිටිනවා. මා හිතන්නේ එය අගය කළ යුතුයි.

අනික් කාරණය තමයි වම කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නය අපි ඇසිය යුතු වෙනවා. ඒක අපේ රටේ එච්චර පැහැදිලි නැහැ. මට නම් එල්ජීබීඅයිකිවු මානව හිමිකම් ව්‍යාපාරය කියන්නෙම වමේ දේශපාලන ව්‍යාපාරයම තමයි. අපි ලෝක තත්වය දිහා බැලුවම වර්ණභේදවාදයට විරුද්ධ වූ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය, ස්ත්‍රීවාදී ව්‍යාපාරය, LGBTIQ අයිතිවාසිකම් ව්‍යාපාරය, යුදවිරෝධී ව්‍යාපාරය, පරිසර ව්‍යාපාරය, කම්කරු අයිතිවාසිකම් ව්‍යාපාරය වාගේ බොහෝ සිවිල් සමාජ ව්‍යාපාර වමේ කොටස් ලෙසයි සැලකෙන්නේ. ඒ වගේම සමාජවාදය, මාක්ස්වාදය, අරාජිකවාදය, සමාජ-ප්‍රජාතන්ත්‍රවාදය, ස්ත්‍රීවාදය වාගේ විවිධ දේශපාලන මතවාදයන් වමේ මතවාදයන්. වම කියන්නෙ එකක් නෙමෙයි. බොහෝ ‘විකල්ප’ යැයි කියවෙන දේශපාලන ව්‍යාපාර, සිවිල් සමාජ ව්‍යාපාර, අයිතිවාසිකම් ව්‍යාපාර, කලා-සංස්කෘතික ධාරාවන්, දාර්ශනික මතවාදයන් සැලකෙන්නේ වමේ කොටස් විදියටයි. නමුත් ලංකාවේ බොහෝවිට වම-දකුණ කියන රේඛාව වෙන් වෙන්නේ වෙන වෙනස් තැන්වලින්. කල් ගත වෙන නිසා මම වම මීට වඩා විස්තර කරන්න යන්නෙ නෑ. සරලව ගත්තොත් අපිට මාක්ස්වාදී, සමාජවාදී පක්ෂ වාමාංශිකයි. එතැනින් එහාට වමක් ගැන සාකච්ඡාවක්  අපේ රටේ බොහෝ විට නැහැ.


ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ සමරිසි ප්‍රජාව ගේ අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධයෙන් අඩංගු කරුණු

ලංකාවේ LGBTIQ අයිතිවාසිකම් ව්‍යාපාරයට එහි ආරම්භයේ පටන්ම, විවිධ කලාකරුවන්, ස්ත්‍රීවාදීන් සහ කුඩා වාමාංශික පක්ෂ සහයෝගය දක්වා තිබෙනවා. නමුත් වම සහ LGBTIQ අයිතිවාසිකම් ව්‍යාපාරය අතර සම්බන්ධය තවදුරටත් අපි විසින් තේරුම් ගත යුතුව සිටිනවා. ලංකාවේ LGBTIQ ව්‍යාපාරයේ සිටින අය හෝ LGBTIQ පුද්ගලයන් තමන් වමේ ව්‍යාපාරයක කොටස්කරුවන් කියා තේරුම් ගන්නේ හෝ හිතන්නේ නැහැ.

ප්‍රධාන ධාරාවේ පක්ෂවලට වඩා වම විශ්වාස කළ යුත්තේ ඇයි ද යන්න ගැනත් ඒත්තු ගැන්වීම එච්චර සාර්ථක නැහැ. වමේ ව්‍යාපාරයේ වුනත්, බිම් මට්ටමේ දේශපාලනය තුළ LGBTIQ අයිතිවාසිකම් ගැන ඇති සංවේදිතාවය තවදුරටත් වැඩිදියුණු විය යුතුව තියෙනවා.

ඉතින් මෙහෙම බැලුවම මං කල්පනා කරන්නේ ලංකාවේ වමේ ව්‍යාපාරය සහ LGBTIQ ව්‍යාපාරයේ ආදරය බොහෝ ලාමක, මල්මල් වියේ එකක් බවයි. වම සහ LGBTIQ පුද්ගලයන් දෙගොල්ලෝම මේ ගැන ගැඹුරින් සිතා බැලීම දෙගොල්ලන්ටම අතිශයින් ප්‍රයෝජනවත් එකක් වෙනවා.


ජනවාර්ගිකත්වය, ආගම ආදී කරුණු මත ආන්තිකරණය ට ලක්වන ප්‍රජාවන් හට පශ්චාත් නිදහස් සමය තුළ සිදුවූ විවිධ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ ලේඛනගත තොරතුරු අපට වාර්තා වනවා. ශ්‍රී ලංකාවේ LGBTIQ ප්‍රජාවට සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ එවන් සිදුවීම් වාර්තා වනවා ද?

මා කලින් විවිධ තැන්වලදී විවිධ සිද්ධි සඳහන් කළා – බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීම, පොලිස් හිංසනයට පාත්‍ර වීම, නීතිය හමුවේ වෙනස්කම්වලට භාජනය වීම, වෛරී ප්‍රකාශවලට පාත්‍ර වීම, වෛරී මාධ්‍ය වාර්තාකරණයට පාත්‍ර වීම, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, බලෙන් විවාහ කර දීම, බලෙන් මානසික ප්‍රතිකාරවලට ලක් කිරීම, ලිංගිකත්වය මත රැකියාව අහිමි කිරීම, ලිංගික හිරිහැර, වාචික හිරිහැර, අපහාස, උපහාස, මානසික හිරිහැර ආදියට ලක් වීම – මේ විදියට ගත්තම තමන්ගෙ ජීවිතයම මානව හිමිකම් කඩවීමක් බවට පත් වෙච්ච LGBTIQ මිනිස්සු ඉන්නවා. මා හිතන්නේ මෙය ගැන අලුතෙන් කතා කරන්න දෙයක් නැති බවයි. පැහැදිලිවම LGBTIQ පුද්ගලයන්ට විවිධ අවස්ථාවන්වල දී විවිධ වෙනස්කොට සැලකීම්වලට භාජනය වීමට සිදු වී තිබෙනවා.


සත්‍ය සිදුවීමක් ඇසුරිණි | කාටූන: දේදුනු සංවාද

එසේම කෙනෙකුගේ සැකකරන/සත්‍ය සමලිංගිකත්වය කිසියම් අපරාධයක් සාධාරණීකරණය කරන්න යොදා ගැනෙනවා. ප්‍රසිද්ධ උදාහරණයක් වෙන්නේ රිචඩ් ද සොයිසා ඝාතනය වූ අවස්ථාවේ ඔහුගේ ලිංගිකත්වය කියන කාරණය යොදා ගෙන මරණය යට ගැසීමට එවක රජය දැරූ උත්සාහය.

දඹුල්ලෙ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයා ඝාතනය වෙච්ච වෙලාවේ පවා එම පුද්ගලයාගේ අනන්‍යතාවය මතු කළා මිසක් යුක්තිය කෙරේ සාකච්ඡාව යොමු වුනේ නැහැ. LGBTIQ පුද්ගලයන් හෝ එසේ යැයි සැක කෙරෙන පුද්ගලයන්ට යුක්තිය අහිමි වීමේ රටාවක් අපේ රටේ තියෙනවා. ඒ අයගෙ පෞද්ගලික ජීවිතයට හිනාවෙලා අපරාධ යට ගහන්න පුළුවන්.

පොදුවේ ගත්තම LGBTIQ පුද්ගලයන්ට සිදුවන මානව අයිතිවාසිකම් කඩවීම් සහ අනිත් අයගේ මානව අයිතිවාසිකම් කඩවීම් අතර පැහැදිලි වෙනසක් තියෙනවා. ඒ අනික් ප්‍රජාවන්ට විරුද්ධව කරන බොහෝ මානව හිමිකම් කඩවීම් නීතිවිරෝධීයි. LGBTIQ පුද්ගලයන්ට විරුද්ධව කරන බොහෝ මානව හිමිකම් කඩවීම් නීත්‍යානුකූලයි. එල්ජීබීඅයිකිවු පුද්ගලයන්ට විරුද්ධව කරන මානව හිමිකම් කඩකිරීම් සාධාරණීකරණය කිරීම පුවත්පත්වලින් පවා සිදු වෙනවා.


වාණිජ අරමුණු තකා වස්ති නම් ජනප්‍රිය යූටියුබ් චැනලය විසින් සමරිසි ප්‍රජාව යනු ලිංගික අසහනයෙන් පෙළෙන පිරිසක් යැයි හැඟවීමට 2017 දී සැලෝන් නමින් පළ කල වීඩියෝව. 

සමහර වෙලාවට ඒවා සාධාරණීකරණය කරන්නේ දේශපාලනඥයෝ, නැතිනම් ආගමික නායකයෝයි. අපි මේ වෙනස හඳුනා ගැනීම LGBTIQ පුද්ගලයන්ගේ මානව හිමිකම් කඩවීම් ගැන කතා කිරීමේදී ඉතා වැදගත් බව මා සිතනවා. මේ මානව හිමිකම් කඩකිරීම් බොහොමයක් ලේඛන ගත වී නැහැ. කොමිසම්වලට පැමිණිලි කෙරී නැහැ. පොලිසියට ගිහින් නැහැ. ගියත් පැමිණිලි භාර ගෙන නැහැ. බොහෝ මෙවැනි මානව හිමිකම් කඩවීම් තිබෙන බව, සිදු වෙන බව හෙළි වී ඇත්තේ පර්යේෂණ වාර්තාවලින් විතරයි. මානවහිමිකම් කඩවීම් කියන්නෙත් දේශපාලනික වචනයක්. සමහර මිනිස්සුන්ගෙ අයිතිවාසිකම් කඩවීම් කඩවුනාට එහෙම කියලා ගණන් ගැනෙන්නෙ නෑ.


ඔබ කියූ පරිදි ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමක් පවතිනවා. LGBT+ ප්‍රජා අයිතිවාසිකම් පිළිබඳ මානව හිමිකම් කොමිසමේ භූමිකාව කෙබඳුද?

වත්මන් මානව හිමිකම් කොමිසම විසින් LGBTIQ ප්‍රජාව සමග ඉතා හොඳ සම්බන්ධයක් පවත්වා ගෙන යනවා. LGBTIQ ප්‍රජාවේ තත්වයත්, ඒ අය මුහුණපාන මානව හිමිකම් කඩවීම්වල ස්වරූපයත් හඳුනා ගෙන, ක්‍රියාකාරීන් හා සම්බන්ධ වී මානව හිමිකම් ගැටළු ගැන වාර්තා කිරීමට ප්‍රජාව දිරි ගැන්වීමත්, ප්‍රජාවට බලපාන විවිධ ගැටළු විවිධ රාජ්‍ය ආයතන හා සාකච්ඡා කර විසඳුම් ලබා ගැනීමටත් සෑහෙන උදව්වක් කළා. ඒ සම්ප්‍රදාය රැක ගෙන ඉදිරියට පත් වෙන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමත් කටයුතු කරාවි යැයි කිසියම් බලාපොරොත්තුවක් මට තියෙනවා.  මානව හිමිකම් කොමිසම LGBTIQ ප්‍රජාව සමග දැරූ සම්බන්ධය පුද්ගලබද්ධ එකක් නොව, ආයතන සම්ප්‍රදායේ කාර්යභාරයක් විය යුතුව තියෙනවා. රජයයක් මාරු වෙන විට, මානව හිමිකම් කොමිසම කටයුතු කරන ආකාරය මාරු විය යුතු නැහැ. පූර්ව නිගමනවලට එන්නේ නැතුව ඉතින් අපි තව ටිකක් බලමු.


උපුටා ගැනීම‍: ඊක්වල් ග්‍රව්න්ඩ්


උපුටා ගැනීම‍: ඉක්විට් ශ්‍රී ලංකා


අවසාන වශයෙන්, විවිධත්වය, සමානාත්මතාවය හා සහයෝගීතාවය පිළිබඳ මහජනතාව වෙත ලබා දීමට ඔබට ඇති පණිවුඩය කුමක් ද?

මම හිතන්නේ ඉතින් ඔය ප්‍රශ්නෙම උත්තරය තිබෙනවා. විවිධත්වය, සමානාත්මතාවය හා සහයෝගීතාවය ආරක්ෂා කළොත් අපිට එකට දිනන්න පුළුවන්, එකට පරදින එක ඉතින් අපිට සාමාන්‍යයිනෙ. කවදත් වෙන්නේ ඒකනෙ, නැද්ද?

මං මහජනතාවට පණිවුඩ දෙන්නෙ නෑ. දීලා වැඩක් නෑ, එහෙම පණිවුඩ දෙන්න තරම් මං ලොකු කෙනෙකුත් නෙමෙයි. පණිවුඩ නෙමේ ප්‍රශ්නෙ. අපි දැන දැන රැවටෙනවා. දවල් වැටිච්ච වලේ රෑත් වැටෙනවා. කුඹුරෙ ගොයම මුවන් කෑවාම ගෙදර තියෙන මුවහමට තලනවා. ඌරා කැකුණ තලන කොට හබන් කුකුළන්ට රජමගුල්. දැනගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග….. ප්‍රශ්නෙ මොකක්ද කියලා මිනිස්සුම කල්පනා කරලා තේරුම් ගන්න ඕනෙ. එපමණයි.

පෙර ලිපි:
සමලිංගිකත්වය සංස්කෘතියේ කොටසක්? සැබෑ ප්‍රශ්ණය සමලිංගිකයින් ගේ අයිතිවාසිකම් කපා දැමීමෙන් අපි ගොඩනගන්නට යන සංස්කෘතිය කුමක්ද යන්නයි! (1 කොටස)
සමලිංගිකත්වය සංස්කෘතියේ කොටසක්? අපිටම ආවේණික නච්චි යැයි හඳුන්වන ප්‍රජාවක් ජීවත් වනවා! (2 කොටස)
සමලිංගික අයිතීන් ගැන පළමු වෙඩිමුරය 95 දී – විසිපස් වසරක අතීතයට දිව යන ශ්‍රී ලංකාවේ LGBT+ ප්‍රජා අරගලය (3 කොටස)

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan