*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

පරපුටු ආචාර්යවරුන්ගේ සහ ස්ටාලින්වාදී ශිෂ්‍ය දේශපාලනයේ ගොදුරක් වූ ලාංකීය සරසවි පද්ධතිය

අද පවත්නා රාජ්‍ය සරසවි පද්දතිය අපට සැලසුම් කර නිමවා දුන්නෙ සුදු අධිරාජ්‍යවාදී පාලකයන් විසිනි.
එසේම එය නිර්මාණය කිරීමේදී පවත්නා දේශපාලන අධිකාරියේ අනවශ්‍ය අතපෙවීම් සිදුනොවන ආකාරයට ශිෂ්‍යයන්ගේද ආචාර්ය මන්ඩලයේද ස්වාධීනත්වය ආරක්ෂාවෙන අයුරු එය වෙනම ස්වාධීන පාලන ඒකකයක් ලෙස නිර්මාණය කර ඇත.

නමුත් ලංකාවේ එවන් ස්වාධීන පාලන ඒකක බවට පත්කල බොහෝ ආයතන පසුකාලයකදී එක්කො කිසිවෙකුට හෝ වගනොකියන හොරගුහාවල් බවට පත්විය. නැත්නම් වල්බූරු ඓතිවාසිකම් රජයන ගෝත්‍ර දේශපාලන කල්ලිවල මර්මස්තාන බවට පත්විනි.

ලාංකීය විශ්ව විද්‍යාල පද්දතිය ගත් කල මේ දෙකටම ගොදුරු විය. බාහිර බලයන්ට ප්‍රශ්න  කිරීමට නොහැකි සරසවි පරිපාලනය සතු නිශේධ  අයිතිය දූෂණය සඳහා ලැබුන බලපත්‍රයක් බවට පරිපාලනය විසින්ම පත්කර ගත්තේය. මෙහිදි විවිධ වර්ගයේ අයතා මුල්‍ය ගනුදෙනු මෙන්ම විභාග සමත්කරවීමේදී ශිෂ්‍යාවන්ගෙන් ලිංගික අත්ලස් ගන්නා මට්ටමට අද ඇතැම් ආචාර්ය මහාචාර්යවරු පිරිහී ඇත. (මේ සඳහා අවශ්‍ය ලිඛිත හා වාචික දත්ත දීප්ති කුමාර ගුණරත්න ගේ අදහස් දැක්වීම්වලින් වැඩිදුරට දැන ගත හැක)

මේවනවිට බංකොලොත් බාවයට ඇදවැටෙමින් පවතින  රාජ්‍ය‍යයේ ආර්ථිකය සම්බන්දව කිසිදු විශ්ලේෂණයක් මගපෙන්වීමක් ගැන මෙලෝ අදහසක් නැති මේ ආචාර්ය මඩුල්ල රිසර්ච් සඳහා දීමනාද ලක්ෂගනනින් වැටුප් වරදාන වරප්‍රසාද ලබමින්ද වැජඹෙයි. ලක්ෂ ගනනින් වැටුප් ලබන ආචාර්ය මහාචාර්ය වරුන්ගේ සේවාකාලය දීර්ඝකරගැනීමේ බලය ඇත්තේද ඔවුන් සතුවමය. මෙහිදී ඇතැම් මහාචාර්යවරුන් වයෝවෘද්ධව සිහිය විකල්වන තත්වයට පත්ව සිටියද සේවය දීර්ඝ කරගනිමින් ලක්ෂ හතර පහේ වැටුප් ලබා ගනී.

බටහිර ජාතීන් විසින් සංස්ථාපනය කල සරසවි පද්දතිය තුල මේ පසුගාමී කොදෙව්වට ගැලපෙන සේ උඩුයටිකුරුවී නිර්මාණය වූ අනිත් ජීවී කොඨ්ටාසය ශිෂ්‍ය ප්‍රජාවය. මෙහිදී මේ සරසවිවල ශිෂ්‍ය අවකාශය ස්ටාලින්වාදී ව්‍යාපාරවලට පූර්ණ කාලීන කාඩර්ලා නිර්මාණය කරන පැක්ටේරි බවටම ඇද වැටිනි.

බොහෝවිට මේ සරසවි පද්දතිය තුලින් බිහිකරේ රටට හෝ ලෝකයට පළදායි වූ විශේෂඥ ශ්‍රමිකයන් නොව ස්ටාලින්වාදී ව්‍යාපාරවලට අවශ්‍ය දේශපාලන ක්‍රියාකාරීන්ය. මෙහිදී රන්ජිතම්, නිෂ්මි, එච්.බී.හේරත්, ශාන්ත බාන්ඩාරගේ සිට වර්තමාන හඳුන්, ලහිරු, පුබුදු, වසන්ත දක්වාද අනන්ත අප්‍රමාණ උදාහරණ ඇත.

ඇතැම් යුගවල වෙනත් දේශපාලන මත පොඩිපට්ටම් කර දමන ස්ටාලින්වාදී ත්‍රස්තවාදයේ තනි තිප්පොලවල් බවටම මේ සරසවි බිම් පත්විය. අසූ අට අසූනමය කාලවකවානුව තුල මංමුලාවී මෙකී ස්ටාලින්වාදී දේශපාලනය උදෙසා වැඩිකාලයක් සරසවි බිම් තුල කරක් ගැසූ මාහට ඒ පිළිඹඳව විශාල අත්දැකීම් ප්‍රමාණයක් ඇත.

ධනපති පාලන තන්ත්‍රයෙන් ආරක්ෂාකරගත යුතු නිර්මල නිකැලැල් නිකෙලෙස් වාම ව්‍යාපාරයක් පිළිබඳ යුටෝපියානු විකාර අදහස ස්ටාලින්වාදී පක්ෂ විසින් සරසවි තුල සරුවට රෝපණය කර ඇත.

ස්ටාලින්වාදී බලහත්කාරීත්වය නඩත්තු කරගෙන යන තුච්ච දේශපාලන සංකෘතියක්ද ඔවුන්ගේ කාඩර්වරු විසින් සරසවි තුල නඩත්තුකරගෙන යයි. නවකවදය යනු ද නවක ශිෂ්‍යයින් දෙවන වසරට ගොස් ස්තානය පිළිඹඳව ස්තාවරත්වයකට පැමිණීමට පෙර පළමු වසරේදීම වහ වහා ස්ටාලින්වාදී දේශපාලනයට බිලිබාගන්නා ගෝත්‍රික ව්‍යාපෘතියකි. මෙහිදී නවකවදය නිසා මේවනවිටත් වටිනා ශිෂ්‍ය ජීවිත ගනනාවක්ම ම්ලේච්ඡ  ඝාතනයවීම්වලට සහ සියදිවි නසාගැනීම්වලට ගොදුරුවී ඇතත් පෙරකී ආචාර්ය මහාචාර්ය වගකිවයුත්තන් මේවා නවත්වා දැමීමට කිසිදු පලදායී ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත ..

හේතුව මේ ශිෂ්‍ය ව්‍යාපාර සහ මහාචාර්ය මඩුල්ල යම් අප්‍රකාශිත තක්කඩි එකඟතාවයක සිටීමයි.

එක් පැත්තකින් ඇඳුරන් විබාග පාස් කිරීමට ශිෂ්‍යාවන්ගෙන් ලිංගික අත්ලස් ගන්නාවිට තවත් පැත්තකින් මේ අල්ලසම ස්ටාලින්වාදී ජේෂ්ඨ උත්තමයන්ද ඇහැට කනට පේන නවක ශිෂ්‍යාවන්ගෙන් ලබාගනී. අනෙක් පැත්තෙන් ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් දිවිහිමියෙන් සටන්කරනවායැයි කියන මේ ශිෂ්‍ය ව්‍යාපාර කිසිවිටෙකත් විබාග පාස් කිරීම සඳහා ගන්නා ලිංගික අල්ලස් ගැන ඇඳුරන්ගෙන් ප්‍රශ්න කර නැත. එසේම විශ්ව විද්‍යාල අභ්‍යන්තරය සිදුවන මුල්‍ය දූෂණ ගැන කිසිදා ප්‍රශ්න කර නැත.

එක අවස්තාවක ශිෂ්‍ය ව්‍යාපාරය සහ ඇඳුරු මඩුළ්ල එක්වී අයවැයෙන් සීයට හයක් අධ්‍යාපනය සඳහා වෙන්කරන ලෙස ඉල්ලා අරගලයක් කලේය. අවසානයේ සටන කෙලවර වූයේ ඒවන විටත් ලක්ෂ ගනන් පඩිගත් ආචාර්ය මන්ඩලයේ වැටුප් තවත් වැඩිවීමෙන්ය. ඉන් එහාට ජාතික අධ්‍යාපන පද්දතියට කිසිවක් සිදු නොවුනි. ශිෂ්‍ය අරගල කරුවන්ද මේ අසාධාරණ වැටුප් වර්ධකය ගැන අප්‍රකාශිත එකඟතාවයක සිටියේය.

ලංකාව තුල කොට කලිසම් ඇඳගෙන යා නොහැකි ස්තාන දෙවර්ගයක් පවතී. එකක් දළදා මාලිගාව වැනි පූජනීය යැයි කියවෙන ස්තානයන්ය. ඒ එහි පවතින පූජනීයත්වයට නිගරුවීමක් සිදුවෙතැයි යන ඇදහිල්ල නිසාය. එසේම සරසවි පරිශ්‍රය තුලටද කොට කලිසම් ඇඳගෙන යාමට නොහැකිය. ඒ තුලින් ප්‍රකට වන්නේද ඒ තුල නිර්මාණය කරගෙන ඇති සංකෘතික පසුගාමීත්වයකි.

අවම වශයෙන් ආගමික මධ්‍යස්ථානයකට කොට කලිසම් හැඳගෙන ඇතුල් වුවහොත් හරවා ආපසු යැවේ. නමුත් සරසවි තුලට කොට කලිසම් ඇඳගෙන ඇතුල් වුවහොත් පහර කෑම්වලට පවා ගොදුරුවිය හැකිය. ඇත්තෙන්ම කුමක්ද මේ ගෝත්‍රිකත්වය ….?

එක පැත්තකින් පරපුටු ඇඳුරන් විසින් දුප්පත් රටකට නොදැරිය හැකි වරදාන වරප්‍රසාද වවාගෙන කන තැනක් බවට සරසවි බිම් පත්කර ගන්නා විට ඊට අනුලෝමව අනික් පැත්තෙන් ස්ටාලින්වාදී වම විසින් නොමේරූ ගම්බද ශිෂ්‍යශිෂ්‍යාවන් ඔවුන්ගේ ව්‍යාපෘත් සඳහා බිලිබාගන්නා තැනක් බවට සරසවි බිම් පත්කරගන්නා සන්ධර්බය තුල සරසවි තුලින් අපේක්ෂිත කාරයබාර්‍ය ඉටුනොවීය. එය රටේ හෝ ලෝකයේ හෝ ශ්‍රම වෙළඳපොලට යුගයට අවශ්‍ය ශ්‍රමිකයන් නිර්මාණය කරගැනීමට අසමත් සහ බොහෝවිට හුදු කඩදාසි සහතික ලාබීන් පමණක් නිපදවන රටේ ධනය නිකරුනේ කාබාසිනියා කරන සුදු අලියෙක් බවට පත්වෙමින් තිබේ.

සුදු අධිරාජ්‍යවාදීන් විසින් දේශපාලන බල අධිකාරයෙන් ස්වාධීන ඒකකයක් ලෙස සරසවි පද්දතිය නිර්මාණය කලේ එය ස්වායක්ත ඇකමික් ඒකකයක් ලෙස පැවතීමේ ඇති වැදගත්කම නිසාය. නමුත් ලංකාව තුල පවතින සුවිශේෂී පසුගාමීත්වය හේතුකොටගෙන මේ දූපත තුල නිර්මාණය වූයේ පරපුටු ඇඳුරු මඩුල්ලක් හා ස්ටාලින්වාදී ශිෂ්‍ය සංගතයක් නැමති දෙයාකාර පරපෝෂිත ස්වායක්තතාවයක් පමණි ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan