කොළඹ LNW:රිලවුන් සහ වදුරන්ගෙන් වගාවන්ට සිදුවන හානිය පිළිබඳව මෙන්ම එම සතුන් මර්දනය කිරීම සම්බන්ධයෙන් වන සාකච්ජාව මේ වන විට ආරම්භ වී තිබේ. මෙම සත්ත්ව උවදුර හේතුවෙන් වගා භූමි මුහුණ දී සිටින බරපතල ප්‍රශ්නය දැන් ජාතික ප්‍රශ්නයක් මට්ටමට වර්ධනය වී තිබෙන අතර එම උවදුර පාලනය කර ගැනීම සඳහා වන බලාපොරෝත්තුමය සහගත ප්‍රවේශයකින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා ඊට ප්‍රතිචාර දැක්වීම පසුගියදා මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී පෙනෙන්නට තිබුණි. පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ තමන්ගේ ගොවිපොළ තුළදී වගාවට සිදුවන හානි සම්බන්ධයෙන් තමන්ගේ ඉඩම,ගොවිපොළ තුළදී ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට කිසිම නීතිමය බාධාවක් නොමැති බවයි. ඒ අනුව ගත හැකි ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ගොවි ජනතාවට පවසන බවයි එහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ. කෙසේවෙතත් එම ප්‍රකාශයට පරිසරවේදීන් හා සත්ව ක්‍රියාකාරිකයින් විරෝධය පළකළ අතර එය සත්ව අයිතීන් උල්ලංඝනය කිරීමක් ලෙසයි හුවා දැක්වූයේ.
කෙසේවෙතත් රිලවුන් සහ වදුරන් ඇතුළු වගාවට හානිදායක සතුන් පාලනය කෙරෙහි මේ මොහොතේ අනිවාර්ය අවධානය යොමුකළ යුතු තත්ත්වයට මේ ප්‍රශ්නය දිගුවක් වී හමාරය. දිනපතා වගාවන්ට සිදුවන මෙම සත්ත්ව හානි වාර්තා වෙමින් තිබෙන අතර එය සෘජුවම ජන ජීවිත අඩාල කිරීමට සමත්ව තිබේ. පවතින කණගාටුදායක තත්ත්වය තුළ විශේෂයෙන් මේ මොහොතේ මෙම රිලා සහ වඳුරු ප්‍රශ්නයට දිගුකාලීන විසඳුම් සඳහා යොමුවිය යුතු වන අතර මේ මොහොතේ තත්ත්වය සමනය කරගැනීම සඳහා වන කෙටිකාලීන විසඳුම්වලට යාම පිළිබඳව අමාත්‍යවරයා නිලධාරීන්ගේ අවධානය යොමුකරන ලදී. ඒ අනුව ජීවිත හානියකින් තොරව වගා භූමියෙන් මෙම සතුන් පලවා හරිම සඳහා වන වැඩපිළිවෙලක් වෙත යොමුවීමට නිලබලධාරි තන්ත්‍රය මැදිහත්විය යුතුවෙයි.
රිලවුන්,වදුරන් මර්දනය කරන්න කෙටිකාලීන වැඩපිළිවෙලක්!
එම ප්‍රවේශය තවදුරටත් එලෙසම තිබියදී මෙම සත්ත්ව උවදුර වළක්වා ගැනීම සඳහා වන උපක්‍රමික සැලස්මක් සහ මීට පෙරද එය ක්‍රියාත්මක කර සාර්ථක ප්‍රතිඵල අත්කර ගෙන තිබෙන බවට කතරගම පූජා භුමිය දෙසින් අසන්නට ලැබුණි. 2022 වසරේදී එම ව්‍යාපෘතිය සිදුකර සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන තිබෙන බව ඊට සම්බන්ධ වනජීවී නිලධාරින්ද පවසති.
ව්‍යාපෘතිය දියත්කර ඇත්තේ කතරගම පූජා භූමිය ආශ්‍රිතව වන අතර ඊට අවශ්‍ය පහසුකම් සැපයීම කතරගම බස්නායක නිලමේ ඩිල්ෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතා විසින් සිදුකර තිබුණි.ඒ අනුව පූජා භූමියේ විශාල ප්‍රශ්නයක්ව පැවති රිලා ප්‍රශ්නයට ඔවුන් විසඳුම් සොයා තිබුණේ රිලවුන් අල්ලා යාල රක්ෂිතයේ නිශ්චිත ස්ථානයකට ගෙන ගොස් දැමීමය. ඒ අවස්ථාවේදී 1600කට අධික රිලවුන් ප්‍රමාණයක් අල්ලා ගෙන ගොස් යාල රක්ෂිතයට දමා ඇති අතර ඔවුන් නැවත පැමිණීමක් සිදුව නැති බව සඳහන්. එම ව්‍යාපෘතිය මීට වසර දෙකකට පමණ පෙර ඌව වනජීවී කාර්යාලයේ සහය ඇතිව සිදුකර තිබෙන අතර රිලවුන් ඇල්ලීම වනජීවි නිලධාරීන් සිදුකර තිබේ.
මේ වන විට එම ව්‍යාපෘතිය යළිත් වරක් කතරගම ගොවි බිම් ඉලක්කකරගෙන ආරම්භ කර ඇති නමුත් මේ මොහොතේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් අවශ්‍ය සහය නොලැබෙන බවටයි වාර්තා වුණේ. ගොවි බිම්වලට හිසරදයක්ව පවතින රිලවුන් අල්ලා රක්ෂිතය වෙත ගෙන ගොස් දැමීමේ එම මෙහෙයුමටද කතරගම මහ දේවාලය අවශ්‍ය පහසුකම් සැපයීම සිදුකරමින් තිබෙන නමුත් අල්ලා ගන්නා ලද රිලවුන් වදුරන් යාල රක්ෂිතයට ගෙනගොස් දැමීමට වනජීවී දෙපාර්තමේන්තුවේ අවසරය මෙතෙක් ලැබී නොමැති නිසා අල්ලා ගත් වදුරන් යළි සිටි තැන්වලටම නිදහස් කිරීමේ අවදානම මතුව තිබේ. දින දෙක තුනකට වඩා රඳවා තබා ගැනීම එම සතුන්ගේ පාර්ශවයෙන්ද යුක්ති සහගත නොවන හෙයින් දැන් සිදුව ඇත්තේ ඔවුන් සිටි තැන්වලටම යළි නිදහස් කිරීමය.
ඒ අනුව අප මේ සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටළුකාරී තත්ත්වය කුමක්ද යන්න වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළ අතර එහිදී නිලධාරිනියක පැවසුවේ ඉවක් බවක් නොමැතිව රිලවුන් හෝ වඳුරන් අල්ලා ජාතික උද්‍යාන වෙත ගෙනගොස් දැමීම යෝග්‍ය ක්‍රියාවක් නොවන බවයි. විශේෂයෙන් බෝවිය හැකි රෝග තිබිය හැකි හෙයින් එවැනි තත්ත්වයක් තුළ රක්ෂිතයේ සිටින වෙනත් සතුන්ටද එය බෝවී තවත් ප්‍රශ්නයක් නිර්මාණය වීමට ඉඩ ඇති බවයි දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් පවසන්නේ. එලෙස රක්ෂිත වෙත ගෙනගොස් දැම්මද යළි පැමිණෙන බවද ඔවුන් පවසයි. අප වෙත තවදුරටත් අදහස් දක්වමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනිය පැවසුවේ මිනිසුන්ගෙන් රිලවුන්ට බෝවන රෝග මෙන්ම රිලවුන්ගෙන් මිනිසුන්ට බෝවන රෝගද පවතින හෙයින් එවැනි පසුබිමක් තුළ නිසි තහවුරුවකින් තොරව රක්ෂිතයක් වෙත සතුන් ගොස් දැමීම සිදුකළ නොහැකි බවයි. ඒ අනුව දෙපාර්තමේන්තුව ලෙස අවධානය යොමුකර ඇත්තේ වන්ධ්‍යාකරණ වැඩපිළිවෙල ඇතුළු විද්‍යාත්මක ප්‍රවේශයන්ට බව ඇය පවසන ලදී.
කෙසේවෙතත් මෙහිදී සඳහන් කළ යුතු වන්නේ මීට වසර දෙකකට පෙර කතරගම පූජා භූමිය පරිශ්‍රය තුළ සිදුකරන ලද රිලවුන් පලවා හැරීමේ ව්‍යාපෘතිය ගැන කොළඹ පිහිටි දෙපාර්තමේන්තුවට නිසි ඇගයීමක් නොමැති බවයි. ඒ ගැන පසුවිපරමක් හෝ එහි සාර්ථක අසාර්ථකභාවය ගැන හෝ යම් තක්සේරුවක් කොළඹ කාර්යාලය නොමැති බව අපට පෙනෙන්නට තිබුණි. මන්ද යත් එවැනි මෙහෙයුමක් සිදුකර ඇත්නම් ඒ ගැන දන්නේ ඌව කලාප කාර්යාලයෙන් බවට කොළඹ දෙපාර්තමේන්තු කාර්යාලය කළ ප්‍රකාශයයි. කෙසේවෙතත් අපට දැනගන්නට ලැබුණු ආකාරයට නම් එම රිලවුන් පලවා හැරීමේ වැඩසටහන ඌව වනජීවී කලාප කාර්යාලය සාර්ථකව සිදුකර තිබේ.
2022 මෙහෙයුම සාර්ථකයි – වනජීවී නිලධාරීන් සාක්ෂි දරයි
පවතින මෙම උභතෝකෝටික ප්‍රශ්නය හමුවේ මීට වසර දෙකකට පෙර සිදුකරන ලද එම මෙහෙයුම ගැන අප සොයා බලන ලදී. ඒ අනුව එහි සාර්ථක බව ගැන තොරතුරු වාර්තා වූ අතර ඊට ඌව වනජීවී කාර්යාලයේ සහය ගැනද පැසසුම් සහගත ලෙස කියැවුණි. මෙම රිලවුන් අල්ලා ගැනීමේ තාක්ෂණය අපහසු කාරණයක් නොවන අතර ඔවුන් අල්ලාගෙන ගොස් ඉවක් බවක් නොමැතිව රක්ෂිත වෙත මුදාහැරීමක් නොවන බවත් ජලය ආශ්‍රිතව ආහාර සපයා ගත හැකි ස්ථාන ආශ්‍රිතව ඔවුන් මුදාහැරීම විධිමත්ව සිදුවන වන බව සඳහන් විය. එම මෙහෙයුමට සම්බන්ධ වූ සියලුම පාර්ශවවල අදහස වන්නේ එය සාර්ථක වූ බවයි. එහෙත් මේ වන විට එවැනි වැඩපිළිවෙලක් ගැන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දරන ස්ථාවරයට අනුව පෙර කළ මෙහෙයුමේ දුර්වලතාවක් ගැන ඔවුන්ට නිසි ඇගයීමක් පැවතිය යුතු බවද අවධාරණය විය. එදා යාල රක්ෂිතයට මුදාහැරි රිලවුන්ගෙන් වෙනත් සතුන්ට රෝග බෝවීමක් හෝ රක්ෂිතයේ සතුන්ගේ හෝ පරිසර පද්ධතියේ ජිවන චක්‍රයට හානියක් සිදුව ඇත්නම් ඒ ගැන පැහැදිලි තක්සේරුවක් දෙපාර්තමේන්තුවට පැවතිය යුතු බවටයි ඔවුන් පවසන්නේ. මේ වන විට සිය භවභෝග විනාශ වී යාමේ ඛේදනීය තත්ත්වය හමුවේ එම ප්‍රයෝගික අපහසුතාව ගැන නිලධාරී යාන්ත්‍රණයේ පවතින සංවේදීභාවය ගැන ප්‍රශ්න කිරීමට සිදුව තිබෙන බවයි මෙයට මුහුණ දී සිටින පිරිස් පැවසුවේ. වනජීවී දෙපාර්තමේන්තුව සතුව පමණක් නොව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුවද රක්ෂිත භූමී පවතින හෙයින් සාර්ථක වී තිබෙන මෙම වැඩසටන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම ලබාදීම සිදුකළ හැකි බවටද ඔවුන් පවසන ලදී. රක්ෂිතවලට රිලවුන් වදුරන් නිදහස් කිරීම ප්‍රශ්නයක් නම් මාදුරුඔය,ලාහුගල වැනි රක්ෂිත භූමිවල හරක් බදින්නේ කුමන තක්සේරුවක් තුළ සිට යන්න පිළිබඳවද මෙහිදී තර්කයක් මතුව තිබේ. හරක්ට පවතින කුර රෝග ඕනෑම මොහොතක මුවන් ගෝනන් වැනි සෙසු කුර සහිත සතුන්ට බෝවිය හැකි බවත් එසේ නම් එවැනි කාරණා ගැන බලධාරීන් අවධානය යොමුකර ඇත්ද යන ප්‍රශ්නය මෙහිදී දැන් නගමින් තිබේ.
ඒ අනුව මේ රිලා සහ වඳුරු ප්‍රශ්නය දැන් පැමිණ සිටින්නේ ඉතාම සංකීර්ණ තැනකට වන හෙයින් එම සතුන් මර්දනය කිරීම තවදුරටත් කල්මරමින් සිටීම නම් යෝග්‍ය නොවන බව පැහැදිලව පෙනෙන්නට තිබේ. එම නිසා මෙම සත්ව උවදුර මර්දනය කරගැනීම වෙනුවෙන් කඩිනම් ප්‍රවේශයකට යා යුතු වීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව තිබේ.
මීට වසර දෙකෙකට පෙර කතරගම පූජා භූමිය පරිශ්‍රයේ රිලවුන් අල්ලා යාල රක්ෂිතයට ගෙනගොස් දැමීමේ මෙහෙයුම සම්බන්ධයෙන් ඌව වනජීවී කලාප කාර්යාලයෙන් අප කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් එහි සහකාර අධ්‍යක්ෂක උපුල් ඉන්ද්‍රජිත් මහතා පැවසුවේ එම මෙහෙයුම සාර්ථක වූ බවයි.
2022දී පූජා භුමිය පරිශ්‍රයේ කරන ලද මෙහෙයුම් මේ වන විට ප්‍රදේශයේ ගොවි බිම වෙත ගෙන ගොස් ඇති නමුත් එය සාර්ථක කරගැනීම සඳහා වන රාජ්‍ය යාන්ත්‍රණයේ මැදිහත්වීම ප්‍රමාද වෙමින් තිබීම ප්‍රශ්න සහගතය. එදා සාර්ථක වූවා නම් එම ව්‍යාපෘතිය අද දවසේ යළි ආදේශ කිරීමේ ඇති නොහැකියාව හෝ ඊට ඇති අකර්මණ්‍යතාව ඇත්ත වශයෙන්ම පැහැදිලි කරගත යුතු වෙයි. අද එය නොකෙරන වෙදකමක් බවට පත්වීමට ඇති ඉඩකඩ වැඩි නම් එහි ඇති තාක්ෂණික හෝ ප්‍රතිපත්තිමය හෝ පුද්ගල දෝෂය හඳුනා ගැනීමට සිදුවෙයි.
මේ මොහොතේ විශේෂ අවධානයක් යොමුව ඇති ජාතික ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන මෙම රිලා සහ වඳුරු උවදුර මර්දනය කර වග බිම් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන කඩිනම් වැඩපිළිවෙල ක්‍රියාත්මක විය යුතු පසුබිමක ඊට අදාළව දිගුකාලින සැලැස්ම ද රජය ප්‍රකාශ කර තිබේ. ඒ අනුව රිලවුන් වන්ධ්‍යාකරණ නියමු ව්‍යාපෘතියක් සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් ලක්ෂ 45ක මුදලක් වෙන් කර තිබේ. ඒ දිගුකාලීන ව්‍යාපෘතියයි. මේ වන විට පෙනී යන අන්දමට වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ද සහය දීමට බලාපොරොත්තු වන්නේ මෙකී දිගුකාලීන වැඩසටහනටය. එයත් එසේ වන විට වනජීවී, වන සංරක්ෂණ ඇතුළු පරිසර අංශයත් කෘෂිකර්ම අංශයත් යන සියලු පාර්ශව කඩිනම් වැඩපිළිවෙල වෙත අවධානය කිරීම අත්‍යවශ්‍යව පවතී. එසේ නොවන්නේ නම් රිලවුන්ට සමස්ත භූමියම භාරදී මිනිසුන්ට වෙන අතක් බලාගැනීමට සිදුවන තැනට මේ ප්‍රශ්නය වර්ධනය වීම වැළැක්වීමට නොහැකිවනු ඇති.
එහෙයින් දැන් පරිසර සහ කෘෂිකර්ම යන ඇමතිවරුන් දෙපළ පවතින තත්ත්වයන් කඩිනමින් විමසා බලා නිශ්චිත තීරණයකට එළඹිය යුතු වෙයි. වත්මන් පාලකයින් බිමෙහි අත්දැකීම් ඇති පාලකයින් වීම නිසාම මෙම සත්ත්ව උවදුර මර්දනය කර වගාබිම් සුරක්ෂිත කර එම කම්පනයෙන් සමාජය මුදවාගැනීම දැන් කළ යුතු අනිවාර්ය ක්‍රියාවක් බවට පත්ව ඇති බවද මෙහිදී සටහන් කළ යුතුව ඇත.
ආශිකා බ්‍රාහ්මණ