“මේ වෙලාවෙ තමුන් රටේ නායකයා නං මොකද මේ පුරස්නෙට කොරන්නෙ?”
මං නිමලෙගෙං දාර්සනික පුරස්නයක් ඇහුව ආයිබොවන්ඩ.සීනි කරිඤ්ඤං ගගහා ඉඳලා මැරිලා යන එකේ පලක් ඇති දෙයක් කතා කොරංඩෙපායැ.නැද්ද මං අහන්නෙ.
“මොන පුරස්නෙට ද.එක පුරස්නයක් යැ තියෙන්නෙ.ගෙදර මායියාගෙ අඬවැඩියාව. පාන්දර නින්දට කෙළලා අරින හාන්දුරුවන්ගෙ පිරිත් අඬවැඩියාව.කෙහෙල් පරඬැල්ඔලට බල්ලො උඩු බුරන එක.රූපවාහිනී පෙට්ටියෙං රට ගැන බෙරිහන් දෙන ඇමතිලගෙ කංකරච්චලේ.පොහොර නැතිව අබිලිංගෙ කඩේ දෙවනත් කරන ගමේ උංගෙ පයිත්තියං කතා.ගෑස් නැතිව දරකඩන්ඩ ගිය ගෑනු සාප කොරන එක.කීයක් නං දේවල් ද?”
“මං අහන්නෙ ඩොලර් පුරස්නෙ ගැන.”
“ඩොලර් පුරස්න අපට තියනවයැ.ඒවා තියෙන්නෙ ඒරොප්පෙ එවුන්ට.අපට ඔය පොල් ගෙඩි දෙකක් විකුණලා රුපියල් සීයක් ගන්න එකනෙ තියෙන්නෙ.”
නිමලෙට කලිං මයික් විජේ උත්තර දුන්නා.
“යකෝ අපට පිටරටවල ඩොලර් නැත්තං බඩු ගෙන්නන්නෙ මොකෙන්ද.ඉදිකට්ටෙ ඉඳන්,පරිප්පු,සීනි,පිටි,බේත්,මැහිතෙල්,පොහොර ඔක්කොම.කන්නෙ කැවුතුද ඊට පස්සෙ.”
නිමලෙ පහදලා දුන්නා.
“ඒවට උත්තර තියෙන්නෙ අපි ළඟ නෙමෙයි එතුමා ළඟ.”අබිලිං කියපි.
ඔයිම්මෙයිං කතාව ඇදුණා.
“හැබැහැට උන්නැහේ පිටරට ගියෙ මොකටද?”
“ඕකට උත්තරයක් හොයාගෙනමයි එන්නෙ’
“උන්ගෙං ඩොලර් ගන්ඩ ගියාම කොන්දේසි දාන හින්දනෙ එතුමා වෙන විදියක් පැලෑන් කොරන්නෙ.”
“මොනවද අප්පා දාන කොන්දේසි”
“දෙන සල්ලි හරිහැටි වියදම් කොරන්ඩ ඕනැ.”
“ඉතිං ඒක නරකයැ.එතුමලා ඒක හරියට කරනවනෙ.”
“ඒ උනාට විපක්සෙ එවුං හරියට කරන්ඩ දෙන්නෑ.පෙලපාලි යනව.ඉස්ටැයික් කොරනව.ඒවා දැකල එතුමා කලකිරිලා ඉන්නෙ.ආයෙ නං ගන්නෙම නෑ කියලා”
“මේ වෙලාවෙ වෙන කවුරු හරි හිටියා නං මොනවා නොකරයිද?”
“ඔව්.කොළඹ තියන වටිනාම දේපල අත යටින් ගාණක් තියාන විකුණලා ණය වාරික ගෙවයි.හොඳ වෙලාවට මෙතුමල ඉන්නවා “
“මුන්නැහේලා මොනවා කොරයිද අන්තිමේට”
“රට බේරාගත්තු විරුවො බෙල්ල ගහලා ගියත් රට පාවා දෙන්නෑ”
“හැබෑව හැබෑව…….තමන් මෙච්චර කල් රට රාජ්ජවල කඹුරලා ඉතුරු කොරගත්තු සල්ලි,තමන්ගෙ දෙමාපියන්ගෙං ලැබුණු පොල් ඉඩමෙ පොල් කඩලා ඉතුරු කොරගත්තු සල්ලි.,වත්තෙ පිටියෙ කූරහං මඤ්ඤොක්කා වවලා කැටවල දාගත්තු සල්ලි,බිරින්දෑවරුන්ගෙ කනකර උගස් තියලා ගන්න සල්ලි,ඔය ඔක්කොම දාලා ණය බරිං අපේ රට නිදහස් කරන බව ඉරහඳ වගේ විශ්වාසයි.”
“ජාති ජාතිත් වාසනාවන් මෙහෙම නායකයො”
“අපිත් කීයක් හරි දාමු ද”
“මට නං ඉන්නෙ ඇට පෑච්ච මී නෑම්බියක් ඉතරයි.ඒකි දීලා බෑ.”
කඩේ ගෑනු කම්මුලට අත තියං කල්පොනාව.
“එතුමන්ලගෙ හිත්ඔල ලේසුපාසු ගින්නක් ඇද්ද හැබැහැට”
“දුක පොරකාස කොරලා පෝස්කාඩ්ඩෙකක්වත් යවමු.වෙන මොනා කොරන්ඩ ද?
ඒකටත් සල්ලි එපායැ.රුපියල් විස්සක් අතමාරුවට ඉල්ලගන්ඩ එකෙක් ඉන්නවද අද. කරුමේ. කරුමේ. පව්කාර හැත්ත.