Sunday, December 4, 2022
spot_img

Latest Posts

යකා ඔබ හිතන තරම් කළු නෑ …

යකා කියන්නෙ කළු ලොම් තියෙන දිග දත් තියෙන රතු දිවක් තියෙන නපුරු විසාල හාදයෙක්ය, අපි කවුරුත් මේ යක් ගොඩට අයිති නැතිය, හොඳ ඈයොය කියලා අපි හිතාගෙන මවාගෙන ඉගෙනගෙන පෙන්වගෙන හිටියට, ‘If cats disappeared from the world’ පොත ලියන ගෙන්කි කවමුරා කියනවා, යකා කියන්නෙත් අපි ම තමයි, අපේ ම තවත් හැඩරුවක් කියලා. සාම්ප්‍රදායිකව යකාව අර්ථදක්වල නාමකරණය කරලා, ‘ආගමීකරණය’ කරල තියෙන්නෙ, හොඳ නැති රළු මරුමුස් ස්වභාවයකින්, අපායත් එක්ක බන්දලා වුණත් මේ කොන්කළ යුතු අමුතු ජීවියෙක් නෙමේ කියල කියන්න කවමුරා ඇතුළු ලේඛකයන් උත්සාහ කළ සැටි අපිට කියවද්දි හමුවෙනවා. හර්මන් හෙසගේ ‘ඩේමියන්’ පොතෙන්, ක්‍රිස්තියානි වටිනාකම් පද්ධති ප්‍රශ්න කරමින් හොඳ-නරක යන මිනුම් ඒකකවලින් අමුතු ගොඩවල්වලට මිනිසුන් වෙන්කරන එක නවතනවා වගේ. අසාධ්‍ය අසනීපයක් නිසා දින කිහිපයකින් මැරෙන්න නියමිතවෙලා හිටි තරුණයෙක් ගාවට, ඇලඩින්ගේ පුදුම පහනේ ජිනී වගේ යකෙක් ප්‍රාදූර්භූත වෙන්නෙ, ඒ තරුණයගෙ ම හැඩරුව දරන්. මේ යකාගේ නම ඇලෝහා. ඇලෝහා ඇඳන් ඉන්නෙ අර කී කළු පාට ඇඳුම් නෙමේ, දීප්තිමත් පාට. ඉර බැහැගෙන යන වෙරළෙ පොල් ගස් වැනෙන, ඇමරිකානු කාර් එහෙට මෙහෙට නවත්තපු හවායි පන්නයේ ෂර්ට්. කොට කලිසම්. ඇන්ටන් චොකොෆ්ගේ, ‘සපත්තු මහන්නා සහ යක්ෂයා’ කියන කෙටිකතාවේ ඉන්න යකාට වගේ එයාට සත්ත්ව කකුලුත් නෑ. සන්ග්ලාස් දාලා අමුතු පිළිවෙළකට ඇඳපු යකා, යෙව්ජිනි ෂ්වාට්ස්ගේ ‘මකරා’ නාට්‍යයේ ඉන්න ඔලු තුනේ මකරා සාමාන්‍ය මනුස්ස වේසෙන් මිනිස්සුන්ට පේන්න හැසිරෙනවා වගේ. මෙයා තරමක් විනෝදබර යකෙක්. නමුත්, මෝඩ නැහැ. මොළේ තියන මේ යකාව, යකෙක් විදියට අච්චු ගැහුවෙ කවුද කියල හිතද්දි අර මායාකාරියන් ගිනි තියල මරපු අතීතෙට යන්න පාරක් කොහෙන්දෝ කැපෙනවා. චෙකොෆ්ගේ කෙටිකතාවේ එන ෆියෙදොර් නම් සපත්තු මහන්නා(මතක හැටියට) මෙහෙම කියන්නෙ නිකම් නෙමේ, ‘උතුමාණෙනි, මහ පොළොවෙ ඉන්න අය නම් කියන්නෙ යක්ෂයා තරම් අපවිත්‍ර, බිහිසුණු කෙනෙකු නැහැ කියලයි. ඒවුණාට මට නම් හිතෙන්නෙ, යක්ෂයා බොහොම උගත් කෙනෙකු කියලයි’

ඇලෝහා මිනිස්සු මරන්න ගෙනියන යකෙක් නෙමේ. මැරෙන්න යන මිනිසුන්ව ටිකක් විතර බය කරලා ජීවත්කරවන යකෙක්. ඇලෝහා තරුණයාට අවස්ථාවක් දෙනවා, තමන් මැරෙන්න කලින් කරන්න ආස දේවල් ලැයිස්තුවක් ලියන්නය, එයා ඒවා හැබෑ කරගන්න උදව් වෙන්නම්ය කියලා. ඒ වගේම වරමක් දෙනවා, මේ ලෝකෙන් දවස ගානෙ යමක් අතුරුදන් කරවන්න. ඒ අතුරුදන් කරන එක් දෙයක් වෙනුවෙන් එයාට ජීවත්වෙන්න තව දවසක් ලබන්න හැකිවෙනවා ඉන් ඇඩ්වාන්ස්. ඇලෝහා කියන වචනෙ නිරුක්ති හොයන් ගියාම හම්බෙන අර්ථය, ජීවිතයේ හුස්ම, සුහද පිළිගැනීමකදි කියන ප්‍රීතිවදනක් නම්, යකාගෙන් ඒ හුස්ම, ගොජ දමන ප්‍රීතියක් නොව ටොකු ඇන ඇන ඉද්දි ඔලුව අතගෑවම දැනෙන ජාතියෙ ප්‍රීතියක් ඔහුට ලැබෙනවා. ඔය කිව්ව විදියට ‘අතුරුදන් කරනවා නම් වෙන මොකුත් නෙමේ ගෙදර තියෙන කුනු දූවිලි ටික අතුරුදන් කරල දීපංකෝ’ යි ඔහු යකාගෙන් ඉල්ලනවා. හරියට ජාතක කතාවල, උපමා කතාවල, ජන කතාවල යක්කුන්ව ගස් බැඳලා වැඩගත්ත වගේ, යක්කුන්ව උපහාසයට හාස්‍යයට ලක්කළා වගේ. එතැනදි යකාට සිද්ධ වෙනවා මොකක් නමුත් නමට හරි තමන් යකෙක් විත්තිය ඔහුට ටිකක් මතක් කරල දෙන්න. කතාවේ උප චරිතයක් වෙනුවෙන් පෙනී ඉන්න මේ යකා ප්‍රධාන චරිතයට වඩා මගේ සිත් ඇදගත්තා.

ඔන්න මෙයාලා එකතුවෙලා ලෝකෙන් ම දුරකතන අතුරුදන් කරනවා. ඔරලෝසු අතුරුදන් කරවනවා. ෆිල්ම් අතුරුදන් කරනවා. ඔහොම දවසක් චොකලට් අතුරුදන් කරන්න යන වෙලාවක අහම්බෙන් යකා අප්පිරියාවෙන් කෑල්ලක් කාලා බලනවා. යකාට රස වැටෙනවා. ප්‍රභාත් ජයසිංහගේ ‘රසපොළවේ’ යකාට වගේ මේ යකාටත් රස දැනෙන්න ගන්නවා. මේ හැම තැනදි ම දෙයක් අතුරුදන් කරන්න කලින් තරුණයා හිතනවා, මේ දේ ජීවත්වෙන්න වුවමනා දෙයක්ද? මේ දේ නැති වුණොත් මිනිස්සුන්ට මොනවා වේවිද? හැබැයි මේ දේ නැතුව නම් ඉන්න ම බෑ නේද? කියලා. ඒ දේ නැතිව මිනිස්සු ගෙවන ජීවිතය කතුවරයා මවලා පෙන්වනවා. ඔය ඔය විදියට, අතුරුදන් කරගෙන යද්දි තරුණයාට තේරෙන්න ගන්නවා, මිනිස්සු හදාගත්ත ෂෙඩූල්වලට, සමාජයෙන් කොන්වෙන්න බැරිකමට, බර බැඳ තියන් ජීවත්වෙනවා මිස, තමන්ට හැබෑවට ම අවශ්‍ය නැති දේවල් කොතෙක් පාවිච්චි කරනවද කියල. ඒ දේවල් නැතිවුණා ම එයාල ලබන නිදහස මොනතරම් ද කියලා. දිගින් දිගට ම මේ අතුරුදන් කිරිල්ල අතරින් තරුණයාගේ ජීවිතය-අතීත කතා-කෘතිම නීරස පවුල් සම්බන්ධතා දිගහැරෙනවා. අපි ළඟ තියෙන ගල් කැටේ නොබලා ඈත තියෙන පර්වත දිහා බලා ඉද්දි ටොකු අනින කවමුරා තමන් අවට මෙතෙක් නොපෙනී තිබුණු දේවල් දිහා බලලා ටිකක් නතරවෙන්න, ඇස් ඇරලා බලන්න, වෙනත් විදියකට බලන්න අර ඇලෝහා දාගෙන හිටපු අව්කන්නාඩි දෙක ටික වෙලාවකට ගලවල දුන්නවත්දෝ කියලා මට හිතෙනවා.

මේ පොතේ එන තරුණයාට කැබේජ් නමින් පූසෙක් ඉන්නවා. ජපන් කතාන්දරවල, පොත් කවරවල, චිත්‍රවල බහුලව බල්ලන්ට වඩා පූසන්ට තැනක් තියෙන බව පොදු කරුණක්. දන්න ජපන් කතා කිහිපයක ම පූසෙක් ඉන්නවමයි. පූසාගෙ එක්තරා ගූඨ මායා බවක් තියෙනවා අපිට තේරුම්ගන්න බැරි. මේ ලක්ෂණය අර යකා එක්කයි තරුණයා එක්කයි පෑහෙනවා. යකා දවසක් පූසාට කතාකරන්න හැකි බලයක් දෙනවා. මිනිස් ලෝකේ ඉඳන් පූසන් දිහා බලල අපි හිතුවට, පූසන්ට මිනිස්සු ගැන කොහොම හිතෙනව ඇද්ද කියල හිතන්න වටින දේවල් ටිකක් කැබේජ්ගෙ කටින් පිටවෙනවා. ‘හැම මලට ම ඇයි මිනිස්සු නම් දාන්නෙ’ කියල අහන කැබේජ්ට ඔහු කියනවා, ‘ඒවා විවිධ නිසා අඳුරගන්න පහසුවෙන්න’ය කියල. ‘මල් සේරොම විවිධ වුණු පමණින් ඒවාට වෙන වෙනම නම් දෙන්නෙ ඇයි? ඇයි ඔයාට බැරි ඒ සේරට ම මල් කියල පොදු නමක් කියන්න?’ කැබේජ් උත්තර දෙනවා. මේ පොඩි දෙබස ඇතුළේ මිනිස්සු විදියට අපි එකිනෙකා ගැන ඔලුවල හදාගන්න දේවල්වලට මරු පහරක් දෙනව කියල මට හිතෙනවා. ඇලෝහාගෙන් පළමු ප්‍රාණය ලබපු තරුණයාට දෙවන ජීවිතය දෙන්නේ කැබේජ් බව මම විශ්වාස කරනවා.

කතාවෙ එක මොහොතක දි, ඔරලෝසු කටු කැරකෙන හඬ හැම අතින් ම ඔහුට ඇහෙන්න ගන්නවා. චැප්ලින් රඟන ‘මොඩර්න් ටයිම්ස්’ ෆිල්ම් එකේ නාමාවලිය යන්නෙත්, ඔරලෝසු මුහුණතක් මැද්දෙන්.මිනිස්සු නොනවත්වා දුවන ජීවිත ගමනේ හතිඅරින සද්දෙ, නොනැවතී දුවපං දුවපං ගගා බලකරන සද්දෙ මේ ඔරලෝසු හඬ අස්සෙන් මතුවෙනවා. රූරාවැටෙන ජලාශයේ සද්දෙයි, ඒ හඬට මුවාවෙලා කෑගහල අඬන තමන්ගේ පෙම්වතියයි, එකම තැනකදි සමබර කිරීම කතාවේ උච්චතම තැන්වලින් එකක් සනිටුහන් කරනවා. ඡායාරූපවල මිනිස්සුන්ගෙ මූණුවලින් කියවෙන කතාව, ඒ මුහුණුවල පින්තූරවල සිනහවට වශී නොවී වෙන ම නිරීක්ෂණය කරන්න කවමුරා කියාදෙනවා. මිනිස්සු ජීවිතකාලෙ ගෙවූ පසුකළ විඳිලි විඳවිලි සියලු දේ ඔවුන්ගේ මුහුණේ සටහන්වෙලා තියෙනවා වගේ, නොමැකෙන සේ.

ඊළඟට කැබේජ්ව අතුරුදන් කරන්න ආසාවෙන් ඉන්න යකාට පූසා වෙනුවට තමාව අතුරුදන් කරවන්නැයි කියලා තරුණයා ඉදිරිපත් වෙනවා. ඒනිසා තරුණයාගේ මියයෑම ගැන සංවාදෙ ස්ථිර වෙනවා. මිනිස් ලෝකේ දිහා කුහුඹු මිනිහෙක්ගේ දැක්මකින් බලන කතුවරයා මතවාද කනපිට ගහන්නෙ ප්‍රාතිහාර්ය දනවන තරම් ලොකු දේවල් ලියලා නෙමේ. භාෂාව හරි පැහැදිලියි. කට ලොක් වෙන ඉංග්‍රීසි වචන දාලා නැහැ. කතුවරයා තරුණයා ලෙස මැදිහත්වෙමින්, පාඨකයා එක්ක කතාකරනවා, හරියට ‘අසන්ධිමිත්තා’, ‘බීඩි’ පොත්වල වගේ. ජපන් මිනිසුන් හිතන පතන විදිය, ඒ එක්ක බැඳුණු අර නිහඬ බවින් මතුකරන කම්පනය පොත පුරා රළ නගනවා. කතා රසය විතරක් හොයන්න ගියොත් ඇතැම්විට මේ පොත ලක්ෂණය නීරස වෙන්න වුණත් බැරි නෑ. ඇලෝහගෙ කතාවයි, තරුණයාගේ අතීත කතාවයි, පුරුද්දන විදිය මිශ්‍ර කිරීමක් කියලවත් නොතේරෙන තරම්. කියවනවට වඩා වෙලාවක්, ඇතැම් වැකි කියවලා අපි නතරවෙනවා. ධනවාදී ලෝකෙන් තාක්ෂණික ලෝකෙන් චුත වෙලා නොපෙනෙන තරම් ඈතකට ගිහින් ලස්සන පරිසරයක කැලෑවක ගමක අතරමං වෙන්න, ජීවිතේ ගෙවන්න ඇත්නම් හොඳයිනෙ කියල හිතන ඔබත් මමත් ඇතුළු නගරබද මිනිසුන්ගෙ කන් දෙකෙන් අල්ලල උඩටයි පහළටයි හොලවන නවකතාවක් කියල මම කිව්වොත්, ඇලෝහා පුරුදු විදියට ඇහැක් ඉඟිමරලා අන්‍තරස්දාන වේවි ඊළගට අතුරුදන් කරන්නෙ මොකක්ද කියල හිත හිත

  • ඩිල්ශානි චතුරිකා දාබරේ

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.