Sunday, June 26, 2022
spot_img
spot_img

Latest Posts

මගේ ලක් මෑණියන්දෑ හරි පව්කාරී ….

නැවත නැගී සිටීමට අවස්ථාවක් ඉතිරි නොකරම, ශ්‍රි ලංකාව සිය ඉතිහාසයේ නින්දීතම ඇද වැටීමට ලක්ව තිබේ. එයට හේතූ ප්‍රත්‍ය ගැලපීම කාලය කා දැමීමකි.ඉකිහාසයේ ඈ ආ ගමන් මඟේ මීට වඩා වැඩි ඉරණමක් ඈට හිමි වීමට නියමිතව නොතිබුණේ ය.

වසර 300 කට ආසන්න කාලයක් සිය ජීවිතය පරම්පරාවෙන් පරම්පරාවට මේ බිමට පොහොණි කළ, වතුකරයේ ලක්ෂ තිහක් දරුවෝ සිය වහල් බවින් අත් මිදෙන්නට අත්පොත් තැබුවා පමණි. වර්ෂ 2005 සිට, ඔවුන් ගෙන් යම් ප්‍රමාණයක් “වත්කම් අත්කර ගැනීමට” පටන්ගෙන තිබිණි. එය සමස්ත ජනගහනයෙන් 5% ඉක්මවූයේ නැති වුව ද,එළවළු වගාව හා සංචාරක ව්‍යාපාරයත්, විවිධ තරාතිරමේ ව්‍යවසායක ප්‍රවේශයකුත් මඟින් වත්කම් ඉපැයීමත් ,වහල් බවින් මිදීමත් සඳහා කෙටි ශක්තිමත් පියවර තබමින් සිටියහ.

දැන් ඒ පියවර තබන දෙපා ද මාර්ගය ද විනාශ කරමින් ඇත.

කර්මාන්තයක් ලෙස ලංකාවේ දියුණු වූ,ආදායම් ඉපැයූ ප්‍රධාන දෙය ඇඟළුම් කර්මාන්තයයි.ලෝක බැංකු නියෝජිතයන් සෝපාහාසයෙන් හිනා වෙද්දී, එය පැළපදියම් කළෝ රණසිංහ පේමදාස ජනාධිපතිවරයාය.

එය කුමණාකාරයක හෝ ආදායම් මාර්ගයක් නොතිබූ අයට තිබූ එක ම ආදායම් මාර්ගය විය.යුවතියකට සිය කණකර සාදා ගැනීමට දශක තුනක් තිස්සේ තිබූ එකම මාර්ගය විය.සොහොයුරා සොයුරිය සරසවි යෑමේ බර දරාගෙන සාමාන්‍ය පෙළින් අධ්‍යාපනය නැවැත් වූ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඇඟළුම් කම්මලේ සේවය හරහා සිය සොයුරාට සොයුරියට “උපාධි ය ගෙන දුන්නෝ ය”.

එය පහසු සරල රැකියාවක් නොවේ. දුර්භෝජනයෙන්, දුක්ඛස්‍යෙයාවෙන් පිරිපතම වළඳන රැකියාවකි. එහෙත් විකල්පයක් නොතිබූ අයට මෙන්ම, ඔවුන්ගේ දහදිය ලේ කඳුළු වල රසය රටට ඩොලර් විය.

ඒ රැකියාවේ හුදෙක් ශ්‍රමික තත්වයෙන් ඉහළට විකාශනය වී වෘත්තීමය රැකියා ලාංකිකයාට ලැබෙන්නට පටන්ගෙන දශකයක්වත් නැත.

ප්‍රජාතන්ත්‍ර විරෝධී නිහිනත්වය නිසා GSP සහනය නොලැබීම මෙන් ම රටේ ප්‍රතිරූපයට සිදු වූ සිදු කළ හානී නිසාවෙන් ලෝක මට්ටමේ වෘත්තීන් බවට පෙරලෙමින් තිබූ ඇඟළුම් ක්ෂෙත්‍රයේ අවස්ථා ලාංකිකයාට අහිමි වෙමින් යන්නේ එය ලැබෙන්නට පටන් ගන්නවාත් සමඟය.

ලාංකික ගෘහ සේවිකාවන් ගෙන්වා ගන්නට වඩාත් වැඩියෙන් උනන්දුවක් දක්වන රට බවට බංග්ලාදේශය පත්ව ඇතැයි කියවේ. ඒ ලාංතික කාන්තාවන්ගෙන් ගිවිසුම් නීතී නොසලකා ඕනෑම මෙහෙයක් ගත හැකි බැවින් සහ ඊට එරෙහිව පෙනී සිටින්නට කෙනෙක් නැති බව ඔවුන් දන්නා නිසාය.
මුල් යුගයේ ගෘහ සේවයට පමණක් දොර ඇරී තිබූ විදේශ රැකියා ,යම් පුහුණු ශ්‍රමිකයන්ගේ සහ වෘත්තිකයන්ගේ අවස්ථා බවට පත් වන්නට පටන්ගෙන දශක දෙකක්වත් නැත.එය මැද පන්තියට හා පහළ මධ්‍යම පන්තියටවිවෘත වූයේ ඉතා මෑත දී ය.ඇඟළුම් ක්ෂෙත්‍රයට වූ විපත ම ඒ ක්ෂෙත්‍රයටත් අත් වී ඇති බව නොරහසකි.

ලංකාවේ උතුරු නැගෙනහිර ගොවියාත් ධීවරයාත් වසර 40 කට පසු ඉසිඹුවක් ලැබුවේ 2009 දීය.දකුණේ ගොවියාටත් ධීවරයාටත් තත්වය වෙනස් වී තිබුණෙ නැත.විශේෂයෙන්ම මහවැලි කලාප වල ගොවීහූ බත් කෑවේ අවුරුද්දට උපරිම මාස හතරකි.ඒ තවමත් ,අස්වැද්දු බිම්වල නියම තත්වයට ඇවිත් නොතිබූ නිසාවෙනි.ඒවා යථා තත්වයට විත් ජීවිතවල යම් ඉදිරිපියවරක් තැබෙන්නට පටන් ගත්තේ වර්ෂ 2000 වැනි කාලයකය.1997-98 කාලවලදීත් ඉඟුරු බත් කන්නට බැරි බව කියා හඬන දරුවන් මට මහවැලි සී කලාපයේ ජනපද වල දී හමු වී ඇත .
උඩරට එළවළු ගොවියාගේ තත්වයත් මීට දෙවැනි නැත.ධීවරයා ගැන විශාල අවබෝධයක් නැතත්,තත්වයේ වෙනසක් නැතැයි ඔවුන්ගෙ ජීවිත දෙස බලන විට පෙනේ.

කොටින් ම මේ අද දැවැන්ත ව්‍යසනයකට ඇද දමා ඇත්තේ, චිරාත් කාලයක් දුක් විඳ දුක්ම වැළදූ ,පරම්පරා ගණනක් ලේ දහදිය හෙලා යන්තම් ඉසිඹුවක් ගන්නට තැත්කළ මිනිසුන්ගේ ජීවිතයි.

මම පව්පින්වත් සාපවත් විශ්වාස නොකරමි.එවැන්නක් යන්තමින් හෝ ඇත්නම් මිලියන 22 ක ජනකායක් හා ඔවුන්ගේ පරම්පරා කිහිපයක් අතීතයටත් පරම්පරා කිහිපයක් අනගතයටත් ,අපායක් කළ වුන් මේ තරම් යහතින් යහපතින් වැජඹීමේ හැකියාවක් නැත.

නැවත මේ රට නගා සිටුවීමට හැකි වේ යැයි විශ්වාසයක් නැත.එහෙත් එවැනි විශ්වාස ඇත්තෝ අනුන් කෙරෙහිවත්,අනුන්ගේ උපක්‍රම කෙරෙහිවත්,අනුන්ගෙ ආයුධ කෙරෙහිවත් විශ්වාසය තබා නොගනිත්වා !

  • ගාමිණී ඒකනායක

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.