සමරිසි කියද්දිත් නලියන රුසියාවට යුක්රේනයෙන් තවත් කනේ පහරක්! සමරිසි ප්‍රජාව ඉලක්කකළ වෛරී ප්‍රචාර තහනම්!!

Date:

ව්‍යාධිවේදයෙන්ම සමලිංගිකභීතික රුසියාවට “බටහිර ගැති” යුක්රේනය සැපයූ ආදර්ශය..

ලොව තිබෙන සමරිසිභීතිකම (homophobic), හෝ පොදුවේ විවිධ ලිංගික අනන්‍යතා දරන ප්‍රජාව කෙරේ වෛරයෙන් පසුවන යුරෝපා කලාපයේ රටවල් අතර ප්‍රමුඛතම රාජ්‍යයක් වන්නේ රුසියාවයි. ලිපියක් ඔස්සේ සාක්ෂි සැපයීමට අනවශ්‍ය තරමටම එය වරක් දෙවරක් නොව අවස්ථා ගණනාවකදීම රුසියාව විසින් ව්‍යාධිවේදයෙන්ම ඔප්පු කර තිබේ. ආසන්නතම සිදුවීමක් ගැන කිවතොත්, මෙම මස ආරම්භයේදී, “විවිධ ලිංගික ප්‍රචාරණය” (LGBTQ+ propaganda) යැයි තමා විසින් හඳුන්වාගත් දෙයක් තහනම් කිරීමට නීතියකට අත්සන් කිරීමට රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින් විසින් කටයුතු කර තිබිණි. එම නීතිය හරහා පුද්ගලයකුට විවිධ ලිංගික අනන්‍යතාවයක් තිබෙන බවට පොදු ස්ථානයක ප්‍රකාශයට පත්කිරීම තහනම්කළ අතර, පොදු ස්ථානයක, මාර්ගගතව, චිත්‍රපට හරහා, ග්‍රන්ථ තුළින් හෝ වෙළඳ දැන්වීම් තුළින් “සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරන” ඕනෑම ක්‍රියාවක් සිදුකිරීම ද තහනම් කළේය.

එසේ තිබියදී මේ සම්බන්ධයෙන් රුසියාවට නැවත වරක් කනේ පහරක් එල්ල කිරීමට මේ වන විට රුසියාවේ ආක්‍රමණයට නතුවෙමින් තිබෙන යුක්රේනය කටයුතු කර ඇති බවට වාර්තා වේ. මාධ්‍ය ඔස්සේ විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාව ඉලක්කකරන වෛරී සහගත ප්‍රකාශ සහ ප්‍රවර්ධනයන් තහනම් කිරීමට යුක්රේනයේ නීතී සම්පාදකයන් කටයුතු කර තිබේ.

ඒ අනුව, ලිංගික දිශානතිය (sexual orientation) සහ සමාජභාවී අනන්‍යතාව (gender identity) පදනම් කරගත් වෛරය මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධනය කිරීම තහනම් කරමින් නීතියක් සම්මත කිරීමට ඉකුත් දෙසැම්බර් 15 වන දින යුක්රේනය කටයුතු කර ඇති අතර, මෙම නීතියට අදාළව ඉදිරිපත් වූ පනත් කෙටුම්පත ඒකමතිකව සම්මත වී ඇති බව ද වාර්තා වේ.

මීට ඉහත අගෝස්තු මාසයේදී යුක්රේන ජනපති වොලොදොමිර් සෙලෙන්ස්කි විසින් සමරිසි යුවළයන්ට සිවිල් හවුල්කාරීත්වය (civil partnerships) ලැබීමට ඇති අයිතිය ලබා දීම සම්බන්ධයෙන් තමා සුබවාදීව පසුවන බවට පවසා සිටි අතර, එය සමරිසි විවාහ නීත්‍යානුකූල කිරීමක් දක්වා වර්ධනය වනු දැකීමට සෙලෙන්ස්කිගේ විරෝධයක් නොමැති බවට ක්‍රියාකාරීහු තර්ක කළහ.

මේ පිළිබඳ කතිකාවත යුක්රේන ජනපතිවරයා දක්වා පැමිණියේ, සමරිසි විවාහ නීත්‍යානුකූල කරන මෙන් ඉල්ලා ක්‍රියාකාරීන්ගේ අත්සනින් යුතු පෙත්සමක් සෙලෙන්ස්කි ගේ කාර්යාලය වෙත ලැබුණු මොහොතේ පටන් ය. සෙලෙන්ස්කි එහිදී පවසා සිටියේ “සෑම පුද්ගලයකුම තම ආත්මගරුත්වය සහ අයිතිවාසිකම් අතින් නිදහස් සහ සමාන විය යුතු” බවයි.

එමෙන්ම, යුක්රේනයේ දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 51 වන වගන්තිය හරහා, “විවාහය පදනම් වන්නේ කාන්තාවක හා පුරුෂයකුගේ නිදහස් කැමැත්ත මත” පමණක් බවත්, රුසියාව සමඟ යුද්ධයක් හටගෙන තිබෙන මෙම මොහොතේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට නොහැකි බැවින් මෙම කරුණ පිළිබඳව අග්‍රාමාත්‍ය ඩෙනිස් ෂ්මිහාල් ගේ අවධානය යොමුකරවන බවත් සෙලෙන්ස්කි එවකට පවසා සිටියේය.

මීට ඉහත 2015 වර්ෂයේදී, රැකියා ස්ථානවල ලිංගික දිශානතිය සහ සමාජභාවී අනන්‍යතාව මත පදනම් වූ වෙනස්කොට සැලකීම් තහනම් කිරීමට යුක්රේනය කටයුතු කරනු ලැබීය. එමෙන්ම ඉකුත් වර්ෂයේදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ වොලොදිමිර් සෙලෙන්ස්කි අතර ධවල මන්දිරයේ පැවති හමුවේදී ද යුක්රේනයේ විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාවට එරෙහිව කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව තමා දිගටම සටන් කරන බව යුක්රේන ජනපතිවරයා ප්‍රතිඥා දුන්නේය.

ඡායාරූප: Shutterstock

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිවයින පුරා විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන සවිකර දෙන්නැයි ඇමති විජිත චීනයෙන් ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල චීනය ඇතුළු ලෝක රථවාහන වෙළඳපලෙන් ශ්‍රී...

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...