සටහන – නිශ්මං රණසිංහ
කොළඹ (LNW): ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය අපූරු තීරණයක් අරගෙන තියෙනවා.සමහර විට ඒක ප්‍රායෝගික මට්ටමේදි යම් ගැටළුකාරි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් වුණත් ඒ හරහා බොහෝ විට මලල ක්‍රීඩාවේ විවිධත්වය තරගකාරි මට්ටමෙන් ඉහළ යන්න ඉඩ තියෙනවා.තීරණයට අනුව මින් ඉදිරියට එළිමහන් ධාවන පථ සහ ගෘහස්ථ පථා ලෙස මලල ක්‍රීඩා ලෝකයේ වාර්තා වෙන් වන්නේ නැහැ.ඒ වෙනුවට ගෘහස්ත මලල ක්‍රීඩා සූරතාවයන් හී වාර්තා ලෙස සැළකෙන දේවල් කෙටි ධාවන පථයේ වාර්තා ලෙස වාර්තා කරන්නට (sh) තීරණය වී තිබෙනවා.
මේ තීරණය හරහා උදාහරණයකට ගෘහස්ත ක්‍රීඩා පිටියක් නැති ශ්‍රී ලංකාව වැනි රටකටත් යම් පෙළඹවීමක් මීටර් 200 ධාවන පථයේ තරග පැවත්වීමට ඇති කරනවා.ගෘහස්ථ නොවුණ ද ශ්‍රී ලංකාවට ඉදිරියට සුගතදාස පෙර පුහුණු ධාවන පථය පාදක කරගෙන මීටර් 200 ධාවන පථය යොදා ගෙන කරන ක්‍රිඩා තරගාවලියක් පවත්වන්න ඉඩ ලැබෙනවා.ඒක වැදගත් වෙන්නෙ මේ දක්වා මිටර් 400 ධාවන පථයෙ දිව ගිය ධාවකයන් ඒ දස්කම් මත කීරණය කරලා ගෘහස්ථ ධාවන තරගවලට යෙදීමේ සංස්කෘතිය වෙනුවට මීටර් 200 ධාවන පථයේ තරගකාරි අත්දැකීම් සමඟ තරග වඳින සහ පුහුණුවන පිරිසකගේ කුලකයක් නිර්මාණය වීමයි.එසේත් නැතිනම් ධාවන පථ දෙකේම දුවන පිරිසක් නිර්මාණය වෙනවා.
මෙහිදී ගෘහස්ත කියන වචනය වෙනුවට ඉදිරියේදී වාර්තා වලදී එය සළකුණු කිරීමට sh යොදන ආකාරයෙන්ම SHORT TRACK තරගාවලි සඳහා ද යාමට සහ එහි ජාතික සූරයන් තේරීමත් රටක මලල ක්‍රීඩාව ප්රමුඛ සමස්ත ක්‍රීඩාව හසුරුවන බලවේග වලට පැවරෙන රාජකාරියක් වෙනවා.
අප මෙහිදී අවධානය යොමු කළ යුතු වන ඓතිහාසික සහ සමාජමය කාරණා කිහිපයක් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ සැළකිල්ලට යොමු වීම වැදගත් කොට සැළකිය යුතුයි.වර්ථමානය වන විට ක්‍රිඩාව ලෝක දේශපාලනය හරහා සමාජමය තත්ත්වයන් නිර්වාචනය කිරීම දක්වා වර්ධනය වෙමින් තිබෙනවා.ඒ අනුව දේශාපාලනික මුග්ධකම්වලට වෙන්ම වෙනත් සමාජිය වෙනස්කම් හරහාත් ක්‍රීඩාවේ සමබර තත්ත්වය සහ ලෝක පුරවැසියාට හිමි විය යුතු සම අයිතිය ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුවේ සිටම පුළුල් ලෙස හැදෑරීමකට ලක් කරමින් වැඩ කරන ආකාරයක් ලෝක ක්‍රීඩාව අධ්‍යයනය කරන අයෙකුට පැහැදිළි කර ගැනීම අසීරු නැහැ.
මීටර් 200 ගෘහස්ත ධාවන පථ නිර්මාණයේ උවමනාව මතු කරන පාරිසරික තත්ත්වය සැකසෙන්නේ සීතල රටවල්වල තත්ත්වය සමඟයි.මේ සීතල බාධාවක් වන බහුතරයක් වන යුරෝපීය රටවල්වලට ඉහළ මට්ටමේ ආර්ථිිකයක් ඇති බැවින්,ගෘහස්ථ ක්‍රීඩාංගණ ඉදි කිරීමට අපහසුවක් නැත.එහෙත් ගෘහස්ථ තරග සඳහා පාරිසරික අවශ්යයතාවයකුත් නොමැතිව අප්‍රිකානු මහද්වීපයේ මෙන්ම එවැනි ඝර්ම කළාපීය රටවලට ගෘහස්ථ තරග අංශයේ ජයග්‍රහණ වෙනුවෙන් සිය රටවල් තුළ ගෘහස්ථ පිටි සැකසීම ප්‍රායෝගික නැත.එවැනි උෂ්නත්වය සහිත රටකට, එවැනි ධාවන පථය එකතු වෙනවා කියන්නේම ඉනික්බිතිව සිඳුවන්නේ ඒ සංවෘත අඩු වර්ගපලය ඇතුළේ සිඳු විය හැකි අධික උෂ්ණත්වයට මුහුණ දීමට තවත් වියදමක් දරන්නට සිදු වීමයි.මුදල් ඇති සහ භලය ඇති රටවල ස්වරූපය අනුව ලෝකයේ හැසිරීම දරා ගැනීමට බොහෝ රටවලට අපහසුවෙන් සිදුවීමේ ප්‍රජාතාන්ත්‍රික නොවන ලක්ෂණය ඉවත් කිරීමට ඒ අනුව ජාත්‍යන්තර මලල ක්‍රීඩාං සංගමය එකඟ වී ඇත.
ආර්ථික වශයෙන් මෙවැනි තත්ත්වයක සියලුම රටවල්වලට ගෘහස්ථ ක්‍රීඩාංගණයක් ඇති කර ගැනීමට සහ නඩත්තු කර ගැනීමට වත්කමක් නැති අසමානකම වෙනුවට සමාන තත්ත්වයක් නිර්මාණය කර ගැනීමට ගෘහස්ත මලල ක්‍රීඩා තරග ඉසව් වෙනුවට කෙටි ධාවන පථ (SHORT TRACK) පැමිණීම වැදගත් වනු ඇත.ශ්‍රී ලංකාව වැනි රටකට මෙව වාසිදායක තත්ත්වයක් ඇති කරන්නට ද හේතු විය හැකිය.ජාතික මට්ටමට එන තෙක්ම බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ධාවනයේ යෙදෙන්නේ මීටර් 200 ධාවන පථයේ ය.මේ වන විට දිගන ක්‍රීඩාංගණය භාවිතයට ගත්තද වලල ඒ රත්නායකය වැනි පාසලකට ද ලෝකය ජයගත හැකි මලල ක්‍රීඩික ක්‍රීඩිකාවන් නිර්මාණය කළ ද,තවමත් ඇත්තේ මිටර් 200 ධාවන පථයකි.එසේම සිරුරුවලින් කුඩා වීම ද මීටර් 200 ධාවන පථයේ වක්‍ර ධාවනයේදී යම් පහසුවක් ඇති කරන්නට ඉඩ ඇති හෙයින් ශ්‍රී ලංකාවේ අවධානයට ගෘහස්ථ තරග වෙනුවට ඇති වෙන SHORT TRACK ධාවන තරග පැමිණීම වැදගත් වනු ඇත.
මේ තත්ත්වය යටතේ ඉදිරියට පිටියේ තරගවලදී නම් වෙනස් වාර්තා ඇති වන්නම ඉඩක් නැත.මේ දක්වා ගෘහස්ත සහ විවෘත ලෙස හඳුනාගෙන සිටි වාර්තා ජවන සහ ඒකාබද්ධ ඉසව්වලදී කෙටි ධාවන පථ වාර්තා (SHORT TRACK) ලෙස පැවතිය හැකි නමුත් වීසි කිරීම් සහ පැනීම් වැනි තරගවලදී ලෝකයටම මින් පසු තිබිය හැක්කේ එක් වාර්තාවක් පමණි.මේ තත්ත්වය යටතේ ඉදිරියේදී ශ්‍රී ලංකාව වැනි රටවලට නුහුරු ගෘහස්ත ධාවන පථ තරග වෙනුවට SHORT TRACK ධාවන තරග සඳහා මුහුණ දෙන්නට වැඩි පහසුවක් දැනෙනු ඇති බැවින් දැනට සුගතදාස ක්‍රීඩාංගණයේ ඇති පෙර පුහුණු ධාවන පථය වෙනදාට වඩා වැදගත් කොට සිතා රැක ගැනීමේ වාසියක් ඇත.මෙය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ඉල්ලීම හරහා ක්‍රීඩා අමාත්‍යංශයේ සහ සංවර්ධන දෙපාර්තමේන්තුවේ අවධානයට යොමු විය යුතු තත්ත්වයක් යන්න ද අමතක කළ නොහැකිය.එසේම එම ධාවන පථයේ සහය දිවීම ආදී තරග පුහුණුවට සුදුසු ලෙස යෂ්ටි හුවමාරුව වැනි කොටස් සළකුණු කිරීම ද වැදගත් වනු ඇත.
මින් ඉදිරියට ගෘහස්ත ක්‍රීඩාංගණ අහෝසි විමක් සිදු නොවන අතර ඒවා පමණක් මීටර් 200 ධාවන තරග ස්ථාන ලෙස හඳුනා ගැනීම අවසන් වෙනවා ඇත.ගෘහස්ත සහ එළිමහන් ධාවන පථ ලෙස තිබුණ මලල ක්‍රීඩාවේ බෙදා වෙන් කිරීම මත යම් ආකාරයකට ඇති නැති අසමානකම ද දකින්නට තිබුණ අතර ඒ නිසා නොවැම්බර් 20 වන දා සිට යාවත්කාලීන වන ජාත්‍යන්තර මලල ක්‍රීඩාවේ නීතිමය සහ වාර්තාමය තත්ත්වයන් සමඟ ඉදිරියට එන්නේ Indoor Championship වෙනුවට short track championship නම් වූ තරගාවලිය.ඒවා මීටර් 200 ධාවන පථ ඇති ගෘහස්ත පිටියකට සීමා නොවුණ, එළිමහන් පිටියක ද පැවතිය හැකි මට්ටමට අවස්ථාවන් පළල් වීමෙන් සෑම රටකටම සහභාගි විය හැකි මට්ටමේ සමානත්මතාවයකින් යුක්ත වෙනවා ඇත.ඇත්තටම සෙබස්තියන් කෝ ඇතුළු ජාත්‍යන්තර මලල ක්‍රීඩා පරිපාලනය මේ තීරණයට පිවිසීමෙන් සිදු කළේ මලල ක්‍රීඩාව සම්බන්ධයෙන් තිබුණ තරග අංශ දෙක සංශෝධනයක් වෙනුවට සමානත්මතාවය සම්බන්ධයෙන් වන උදාර සංකල්පයක් පදනම් කරගෙන දේශපාලනමය වශයෙන් ගත් කළ වඩාත් ප්රජාතන්ත්රවාදි වූ ලක්ෂණයකට මාරු කිරීමය.මේ සංකල්පය ඇතුළේ වැඩි දෙනෙකුට වැඩි රටවල් ප්‍රමාණයකට ගෘහස්ත ධාවන පථ ගැන සිතන ආකාරයට වඩා පහසුවෙන් හුස්ම ගන්න ඉඩ ලැබෙනවා ඇත.එය තරගකාරී මිනිසුන්ට වඩාත් පළල් වී විවෘත වන ධාවන පථයක් වනු ඇත.
මේ සමඟ ඉදිරියේදී මලල ක්‍රීඩා පිටියේ වාර්තා බෙදී යන ආකාරය ද දැක්වෙන්වා ඇත.