පාර්ලිමේන්තු මන්ත්‍රීලා කියන්නේ මහජන නියෝජිතයින්. ජනතාව ආණ්ඩුවෙන් ඉටුකර ගන්න අවශ්‍ය විවිධාකාර ඉල්ලීම් තමන්ගෙ මහජන නියෝජිතයින්ට ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට ඒවා ඉෂ්ට කරන්න බලතල නැහැනේ, ඉතින් ඔවුන් කරන්නේ අදාළ බලතල හිමි ඇමතිවරුන්ට ඒ මහජන ඉල්ලීම් යොමුකරන එකයි.
සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේදී ඔය මැති – ඇමතිවරුන් හැමෝම මුණගැහෙනවා නෙ. ඔය ජනතාව තමන්ගෙ ඉල්ලීම් සඳහන් කරලා එවන ලියුම් මන්ත්‍රීලා විසින් ඇමතිවරුන්ට පාර්ලිමේන්තුවේදී බාරදෙනවා “මේවා සලකලා බලලා පුළුවන් දෙයක් කරලා දෙන්න” කියන ඉල්ලීමත් එක්ක. ප්‍රමුඛතාව සම්බන්ධයෙන් බලද්දී මේක නිවැරදිම ක්‍රමයක්ද කියන එක ගැන ප්‍රශ්නයක් තිබුණත් සාමාන්‍යයෙන් මෙතෙක් කාලයක් වැඩ කෙරුණේ ඔහොම තමයි. අමාත්‍යාංශවලට ඉල්ලීම් යොමුකරලා දීර්ඝ කාලයක් බලාගෙන ඉන්නවාට වඩා ඕකත් “වැඩක් කෙරෙන” එක්තරා ක්‍රමයක්.
කොහොමවුණත් අලුත් ආණ්ඩුවේ ඇමතිවරුන් ඔය විදියට මන්ත්‍රීවරුන්ගෙන් ලැබෙන මහජන ඉල්ලීම් සහිත ලියුම් බාරගන්න අකමැති තත්වයක් දකින්න ලැබෙනවා කියලා ආරංචියි. ප්‍රධාන පෙළේ සමහර කැබිනට් ඇමතිවරුන් “අපොයි මට බෑ ඕවා ගන්න” කියලා කෙළින්ම කියලා මාරු වෙනවා ලු. ඒ හින්දා ඉතාම පහසුවෙන් කරන්න පුළුවන් සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල වැඩක් වුණත් කරවාගන්න බැරි තත්වයක් උදාවෙලා ලු.
තමන්ගෙ නමට මොනවත් අක්‍රමිකතා කෑල්ලක් ගෑවේවි කියන බය ලු මේකට හේතුව.
අක්‍රමිකතා නොවෙන තැනට ප්‍රවේශම් වෙන එක නම් හොඳයි තමයි, හැබැයි ඒක නිසා කිසිම වැඩක් නොකෙරෙන තැනට තල්ලු වෙනවා නම් ඒක විශාල ප්‍රශ්නයක් කියලා ආණ්ඩුව ඇතුළෙම සමහරු දැනටමත් කියන්න පටන් අරන් කියලාත් ආරංචියි ….