කර්මාන්තකරුවන්ට බදු සහන දෙන්න මේ වෙලාවේ අමාරුයි – ජනපති

Date:

කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට නවීන තාක්ෂණය භාවිතයෙන් විශිෂ්ටයන් විය හැකි පරිසරයක් නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටට විදේශ විනිමය උපයා ගැනීමේ ප්‍රධාන කොටස්කරුවන් ලෙස කර්මාන්තකරුවන් බල ගැන්වීමට රජය සූදානම් බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ ගලදාරි හෝටලයේ පැවති 2022 ජාතික විශිෂ්ටතා සම්මාන උලෙළ අමතමිනි.

ලංකා කර්මාන්ත මණ්ඩලය විසින් 21 වන වරටත් මෙය සංවිධාන කර තිබූ අතර හොඳම කර්මාන්තකරුවන් ඇගයීම මෙමඟින් සිදු කෙරේ.

බිඳවැටුණු ආර්ථිකය දෙස බලා පසුතැවෙනවා වෙනුවට වඩා සමෘද්ධිමත් අනාගතයක් උදා කර ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා දෙවන ලෝක යුද්ධයෙන් බිඳවැටුණු ජපානය සහ ජර්මනිය යළි ගොඩනැඟුණු අයුරු අපට ආදර්ශයක් සපයන බව ද පැවසීය.

මෙහිදී වැඩිදුරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

අපේ රටේ බිඳවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟීමේදී කර්මාන්තකරුවන්ට විශාල වගකීමක් පැවරෙනවා. කර්මාන්තකරුවන් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන පිරිසක්. රටක් ලෙස අපට මේ තත්ත්වයෙන් ගොඩ ආ හැකියි. මේ අවස්ථාවේ කර්මාන්තකරුවන්ට බදු සහන දීමට හැකියාවක් නැහැ. නමුත් අපේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත තවදුරටත් දියුණු කළ හැකියි. ඒ සඳහා නවීන තාක්ෂණය භාවිතයට ගත හැකියි. ලෝකයේ වෙනත් රටවල කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දියුණු වූ ආකාරය දෙස බලා ඔවුන් භාවිත කර ඇති එම නවීන තාක්ෂණය අපගේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල දියුණුවට යොදා ගැනීමට අප කටයුතු කළ යුතුයි. ඒ සඳහා රජයක් ලෙස දිය හැකි සියලු සහාය දීමට අප සූදානම්.

පැරණි ක්‍රමවේද අනුගමනය කරමින් සිටිනවා ද, එසේ නැත්නම් අලුත් විදියට සිතා නව වැඩපිළිවෙළක් ඔස්සේ රටේ ආර්ථිකය ශක්තිමත් කර ගනිමින්, රට ජාත්‍යන්තරයේ ඉහළට ඔසවා තබනවා ද යන්න ඔබ තීරණය කළ යුතුයි. මේ සඳහා ඔබට හොඳ අවස්ථාවක් තිබෙනවා.

ඒ වගේම බිඳවැටුණු ආර්ථිකය දෙස බලමින් පසු තැවෙනවාද, සමෘද්ධිමත් අනාගතයක් උදා කර ගැනීමට සියලු දෙනා එක්ව කටයුතු කරනවාද යන්න අප සිතිය යුතුයි. දෙවන ලෝක යුද්ධය නිසා බිඳවැටුණු ජපානය සහ ජර්මනිය ආර්ථික වශයෙන් නැවත ශක්තිමත් වෙලා ජාත්‍යන්තරය ජය ගත් හැටි ඔබ සිතා බලන්න. එසේ නම් අපටත් මේ රටේ ආර්ථිකය නැවත ගොඩනැඟිය හැකියි. ඒ සඳහා අප ආකල්පමය වෙනසක් ඇතිකර ගත යුතුයි.

අද අපේ රටට විදේශ විනිමය අවශ්‍යයි. විදේශ විනිමය ඉහළ නංවා ගැනීමත් සමඟ අපගේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. එවිට අපට පුළුවන් අධ්‍යාපන සහ සෞඛ්‍ය අංශවලට වැඩි මුදලක් වෙන් කරන්න.

එමඟින් අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලුවලට විසඳුම් ලබා දීමට අපට හැකියාව ලැබෙනවා.

කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර,ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සරත් ඍතුවෙන් පසුව එළැඹුණු නෙවර්මෝර් ඇකඩමියේ තතු සමඟින් “Wednesday Season 2”

සටහන – පුලී අගෝස්තු 19, කොළඹ (LNW): නෙවර්මෝර් ඇකඩමියට නව...

බොරු ප්‍රචාරවලට අහුවෙන්න එපා. ආණ්ඩුව සල්ලි අච්චු ගහල නෑ!

කොළඹ LNW:පවතින වපසරිය තුළ ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් අකර...

හිටපු ජනාධිපති රනිල්ව CIDයට කැඳවයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...

පොහොර සහනාධාරය QR ක්‍රමයට!

කොළඹ LNW:ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබාදීමේදී ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ...