Friday, July 1, 2022
spot_img
spot_img

Latest Posts

වාම දේශපාලනය තුළ ස්ත්‍රී බෝම්බය පුපුරවන ’මේ කතාව’

සිය නිර්මාණවලින් නිරූපණය වන්නේ තමන් මුහුණදුන් අත්දැකීම්දැයි ලේඛකයෙකුට වඩා ලේඛිකාවකගෙන් සමාජය විසින් ප්‍රශ්න ඇසීමත්, එම පිළිතුර අනුව ඇයව හොඳ-නරක අතර ස්ථානගත කිරීමත් වන හෙයින් නොපැකිළව මෙම කලාපයේ සිටගැනීමට ලාංකේය ලේඛිකාවන් පසුබට නියාවත්, සැබෑව සැබෑව ලෙසින් කීමට නිර්භය වීමේ සුරේඛාමය මැදිහත්වීම සම්බන්ධයෙනුත් පසුගිය දිනක, සුරේකා සමරසේනගේ ‘හොට් චොක්ලට්’ කෘතිය එළිදැක්වීමේ දී සිනමාවේදිනී අනෝමා රාජකරුණා පැවසුවාය. මෙම කියමන සටහනට උපුටාගත්තේ, ‘හොට්චොක්ලට්’වලට පෙර ඇගේ ‘මේ කතාව’ නවකතාව කියැවීමට ලැබුණු මොහොතකදීය. ලාංකේය ලේඛිකාවන් පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී රාජකරුණා කළ ප්‍රකාශයෙහි යුක්තියුක්තතාව වටහාගත හැකිය. සතිඅන්ත පුවත්පත්වලදී නිර්මාණකාරිනියන්ගෙන් අසන ගෝත්‍රික ප්‍රශ්නවලින් වුව අපට මේ බව පෙනේ. නදීකා බණ්ඩාර, තක්ෂිලා ස්වර්ණමාලි, ඊවා රණවීර සහ තවත් අතලොස්සක් ලේඛිකාවන් මේ මාර්ගයට පිළිපන්නේ, සමාජය තමා පිළිබඳව සිතන පතන දෙය ගැන සිතමින් ඔවුන්ට වුවමනා කතා කීමට ම නොවන බව පැහැදිලිය. එහිදී තමා ප්‍රසිද්ධ වී, අනෙකුත් පාඨකයන්ගේ බුහුමනට ලක්වන්නේද නැද්ද යන්න හෝ ඔවුන්ට තැකීමක් නොවූයේ, සමාජය තුළ නඩත්තු කරන තමා පිළිබඳ හොඳ ප්‍රතිරූපයට වඩා, ඔවුන්ගෙන් පෙරළා එන ගල්මුල්වලට නොබියව මතවාදීමව ලෙසින් ගැසිය හැකි මට්ටමට පත්වෙමින්, නිර්මාණයට අවංක වීම පළමුව පැමිණි බැවිනැයි සිතමි. යම් කතාපුවතක් නවකතාවක් බවට හැරවීමේ දී, අවධානම ගැනීමටත් අව්‍යාජ වීමටත් නොබිය වීමේ දී සුරේඛා වැදගත් වන්නේ යැයි හඟිමි. එය මේ කතාව කියවීමට පෙර මා කියැවූ ඇගේ කවිවලින් ද නිරූපණය වූවකි.

සාහිත්‍ය නිර්මාණ ආරම්භක අවධියේ සිට පුරුෂමූලිකව ඉදිරිපත් වූ බව නොරහසකි. කාන්තාවන්ව ඔවුන්ට පෙනෙන දැනෙන ආකාරය විනා, ස්ත්‍රීන් සිතන පතන සැටි ස්ත්‍රී දෘෂ්ටියෙන් කීමට එහිදී බරපතල අන්දමින් සීමා විය. පුරුෂයාගේ වැඩකොටස යැයි හඳුනාගත් යම වෙත ස්ත්‍රිය පැමිණීම හේතුවෙන් යටපත් කිරීම් යුග මට්ටමින්, ලොව පුරා පැවතිණි. පුනරුද අවධියේ දී චිත්‍ර ශිල්පිනියන් යටපත් වන්නේ එබැවිනි යැයි නදීකා බණ්ඩාර පවසයි. කෙසේවුවත්, නූතනය වනවිට ස්ත්‍රී දෘෂ්ටියෙන් ලියන ලේඛකයෝ ඉතා සීමිත ගණනකින් හෝ සිටිති. තතු මෙසේවනවිට, පුරුෂයන් සහමුලින් ම වුවමනා නැතැයි වෙර බැඳ ගත් සහ දිගට ම හඬා වැටෙන ස්ත්‍රීවාදිනියන් සේ ම, පුරුෂමූලික සමාජයට එදිරි ව බෝම්බ පුපුරුවා හරින(කේ.කේ.සමන් කුමාරගේ වදනින්) නිර්මාණකාරිනියන් ද, පුරුෂයන් හා සහයෝගය පතන නමුත් ගෝත්‍රික මත බිඳින නිර්මාණකාරිනියන් ද දැකගත හැකිවේ.

සුරේඛාගේ ‘මේ කතාව’, ඉසබෙල් අයියෙන්දේ, අරුන්දතී රෝයි, වර්ජිනියා වුල්ෆ්, කමලා දාස් සිහි කරවයි. මාස කිහිපයකට උඩ දී, කොරෝනා වසංගතය අබිමුවෙහි රාජ්‍ය පාලනය අසමත් වූ ඉන්දීය අගමැති මෝදිට තනතුරෙන් ඉවත්වන්නැයි අරුන්දතී රෝයි ලිපියක් යැවූ විට, ලංකාවේ දනෝ ඇයි ලංකාවේ අරුන්දතීලා බිහිනොවන්නේ යැයි විලාප දෙමින් සිටියහ. මේ පොත කියැවූ පසු, සුරේඛලා නොපෙනෙනුනේ මන්දැයි මට අසන්නට සිතේ. නොඑසේ නම්, විචාරක කෘති බෞතිස්ම සේනා එක්ව කටු සැමිටියෙන් ඉපදෙන අරුන්දතීලාට නෙළා උපන් ගෙයි වැළලූවාද? එසේ වූයේ දණ ගැහෙන්නට තරම් පෞරුෂය දෙදරුණු බැවින්ද? බියෙකින්ද?

‘මේ කතාවෙ’න් කාරණා කිහිපයක් සිදුවේ.

  1. වාම දේශපාලනයේ පිටතට නොආ නිරුවත, රික්තක, විකල්ප සහ ඊනියා බුද්ධිවාදීන් මෙන් ම බුර්ෂුවා ස්ත්‍රීවාදයට පහර දීම.
  2. පුරුෂමූලික සමාජයක කුටුම්භයෙහි ස්ත්‍රී බලය වර්ධනය
  3. වලව් පැලැන්තියේ බිඳ වැටීමෙන් නොනැවතී, ඉන්පසු ආ සමාජ පෙරළිය ද දණ ගැස්වීම
  4. ස්ත්‍රී-පුරුෂ, ජාති නාමකරණ සහ බින්න බැසගත් නියාමන පෙරළා ප්‍රශ්න කිරීම

අරුන්දතී, කානම්මා, සුදු මැණිකේ, සමන්තා මැණිකේ, නන්දිතා විසූ ඇලපාත බුළුගහ වලව්ව මට සිහිකළේ අතීත මාතෘමූලික සමාජයය. එසේම, ගාෂියා ලෝකාගේ ‘බර්නාදාගේ සිරගෙයෙ’හි සහ අරුන්දතී රෝයිගේ ‘මිනිස්ට්‍රි ඔෆ් අට්මෝස්ට් හැපිනස්’හි සේයා එහි පාවෙමින් තිබිණි. මැදි විය හෝ වියපත් පැමිණි කතුන් මනෝවිකාරෙන් හැසිරීමගැන, කෞෂල්‍ය කුමාරසිංහගේ ‘නිම්නාගේ ඉතිහාසය’ සිහිකැඳවිණි. සමන්තා මැණිකේට පිස්සු තිබුණාට මෝඩයෙක් නොව, මොලේ තිබුණු ගැහැනියක්ය යන්න ඇඟවීමෙන් කතුවරිය පෙන්වන්නේ, නුවණැත්තියන් මායාකාරියන් – පිස්සන් ලෙස හංවඩු ගැසූ අතීතය විය හැකිය. සිය නිවසේ කිසිදු පුරුෂයෙකු නොමැතිව දරුවකු ගොඩනැගීම සහ කුස්සියට සීමා නොවෙමින් තමන්ගේ ලෝකයක සැරිසැරීම සමන්තා මැණිකේගේ ලක්ෂණයකි. එසේම, සමාජයේ දී ස්ත්‍රිය දෙවෙනියා, වමිය ලෙස නම්කිරීම හා සමානව, ලංකාවේ දෙමළ ජනයා වෙන ම වර්ගයක් ලෙස වෙන් කොට සැලකීම යන මතවාද දෙක එකකට ගෙන කලා නිර්මාණවිෂයෙහි පොදු වූ තැන්වෙත පහර දෙන සූක්ෂමතාමෙහි හමුවේ. දෙමළ සහ සිංහල පෙම්වතුන් යුවළක් කලා නිර්මාණවලට යොදාගැනීමේදී බහුතරය භාවිත කරඇත්තේ, ස්ත්‍රිය දෙමළ සහ පුරුෂයා සිංහල ලෙසිනි. එවිට අප ඉහත කී දෙවනියා ලෙස ස්ත්‍රිය ගැනීම මෙන් ම එම ජාතිය ද සැලකීමසිදුවනු පෙනේ. එහෙත් ‘මේ කතාවේ’ පෙම්වතුන් යුවළෙහි, පුරුෂයා දෙමළ වන අතර ස්ත්‍රිය සිංහල වෙයි. අරුන්දතී උපන්විට රැකබලාගන්නේ ද, කනට කරාබුව විඳ දමන්නේ ද, ඇය පෙම්කරන්නේ ද දෙමළ මිනිසුන් කාන්තාවන් විසින් වන අතර, එය අතිශය සාමාන්‍ය දෙයක් මිස, ඔවුන් පොදු ජනයා විසින් අනුකම්පා කළ යුතු අමුතු අය ලෙස නාමකරණය නොවිය යුතුය යන්න කතුවරිය අවධාරණය කරනා සෙයකි.

මාතෘමූලික සමාජය පීතෘ මූලික සමාජය දක්වා පරාජය වීම, වලව්වට පොල් කඩන රාළ පැමිණීමෙන් සංකේතවත් කෙරේ. සමන්තාගේ ලිපියෙන්, විප්ලවීය, සමාජ වෙනසක් අපේක්ෂා කළ තරුණ පිබිදීම් සහිත, වාම දේශපාලනය සමතලා කර දමයි. මෙතෙක් ඔජ වැඩූ දෑ සියල්ල කඩා බිඳ වැටේ. පක්ෂයේ නායකයෙකු වූ නිහාල්ගෙන් සමන්තාගේ බඩට ආ දරුවා දමා නිහාල් රට පැන පසුව ලංකාවට ඇවිත්, ඒ බිහි වූ දරුවා සමඟ යහන් වැදීමත්(ඉලෙක්ට්‍රා සංකීර්ණය), තමා හා එක් වූ පියාව දියණිය විසින් ඝාතනය කිරීමත් ග්‍රීක ශෝකාන්ත නාට්‍යයක් මවයි. එතෙක් ප්‍රථම පුරුෂ දෘෂ්ටියෙන් ගලා ආ කතාව මැදදී රාජපක්ෂ පාලනයේ වියරුවෙන් උත්තම පුරුෂ දෘෂ්ටියට හැරෙයි. පාඨකයා අමතන මයික්‍රෆෝනය අරුන්දතී සුරේඛා අතින් ලබාගනී. එතැන් සිට ඇය සාම්ප්‍රදායික පවුල් ජීවිතයට නතු වන සැටි කියන කතුවරිය, අප සිටින්නේ සර්ප වළල්ලකින් වට වූ දූපතක බව කියමින් මේ කතාව අවසන් කරයි. සර්ප වළල්ලලට පැන ගත් තමලිනී, පත්තිනි, කුවේණි ඇතුළු කාන්තා සනුහතිය විමුක්තිය ඉල්ලා පාරේ පෙළපාලි යන සැටි බලන අරුන්දතී තම නිවසේ ජනෙල් දොර වසා දමයි. මෙවැනි ම අවසානයක් තක්ෂිලා ස්වර්ණමාලිගේ ‘බීඩි’ නවකතාවේ ද වෙයි. සිද්ධාර්ථ ප්‍රමුඛ ප්‍රධාන පුරුෂ චරිත සොහොන්වලින් ගොඩඇවිත් ගස රැකීමට එන ආකාරයෙන් ඒ කතාව අවසන් වේ.

මේ සියල්ලත් අතර, කතාවේ දෙවන කොටස ඇරඹෙන්නේ යැයි සිතෙන-අරුන්දතී උත්තම පුරුෂ කතන ක්‍රමයෙන් මැදිහත් වීමේ සිට, කතාව හදිසි වේගයකින් කිව ඇති බවක් පෙනී යයි. මුල් කොටස්වලදී කතාව හා සමඟ සියලු මතවාද මුසු කර තිබුණ ද දැන්, එය අමු අමුවේ පෙනෙන්නට වෙයි. සමන්තා මැණිකෙගේ අරුන්දතී නිදහස් මතදරන කාන්තාවක ලෙසින් දිවිගෙවමින් සිට හිටිගමන් විවාහ වී පෙඳහකුළුවා නිවසට කොටුවීම කන්දක මුදුන සොයා නැග එහි නොසිට යළි පහළට ආවාක් වැන්න. කාන්තා අරගල පෙනෙද්දී නිවසේ ජනෙල් වසාගැනීම දක්වා රැඩිකල් අරුන්දතී විතැන්වීම ද විස්මය දනවයි. අරුන්දතී, තමාගේ යෙහෙළිය කතුවරිය වන සුරේඛා බව කිහිපවරක් පැවසීම ද අවැසි නොවේ යැයි සිතමි. මේ කතාවේ ඇතැම් වැකි කැකෑරෙන ලෝදියෙන් උපන්නාක් වැන්න.

එනයින් සුරේඛා සමරසේනගේ ‘මේ කතාව’ ගොජ දමන බසකින් ද, කතාරසයකින් ද, මතවාදීමය ලෙසින් ද පාඨක විශේෂයෙන් වාමවාදී පුරුෂ ඔළු ගෙඩි පුපුරුවන, හුදෙක් සමාජයේ හොඳ නම ලැබීමේ අරමුණින් නොලියූ කෘතියක්ය යන්න අපගේ අදහසයි •

• ඩිල්ශානි චතුරිකා දාබරේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.