සමාජ යහපත වෙනුවෙන් වැයවීම මඟින් සැමට විමුක්තිය උදාකරලීම නත්තලේ ආධ්‍යාත්මික හරයයි – ජනපති

0
172

සමාජ යහපත වෙනුවෙන් වැයවීම මඟින් සැමට විමුක්තිය උදාකරලීම නත්තලේ ආධ්‍යාත්මික හරය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නත්තල් සුබපැතුම් පණිවිඩය පහතින් දැක්වේ.


ජේසුස් ක්‍රිස්තුන් සමිඳාණන්ගේ උපත සිදු වූ අසිරිමත් නත්තල ශ්‍රී ලාංකික සහ ලෝක කිතුනු ජනතාවට පමණක් නොව සමස්ත මනුෂ්‍ය වර්ගයාට ම ප්‍රේමය හා සාමය ගෙන දෙමින් සැම දෙන ප්‍රීතියට පමුණුවන උතුම් ආගමික මංගල්‍යයකි.

සමාජයේ යහපත වෙනුවෙන් වැය වීම මඟින් සැමට විමුක්තිය උදාකරලීම නත්තලේ ආධ්‍යාත්මික හරය වන්නේය. සාමය, කරුණාව, ප්‍රේමය වැනි උත්කෘෂ්ට ඉගැන්වීම් තුළින් අනවබෝධය තුරන් කොට පාප අන්ධකාරයෙන් මිදුණු යහපත් ජීවන රටාවකට මඟ කිතු දහම පෙන්වා දෙයි. මනුෂ්‍ය වර්ගයා එකිනෙකා කෙරෙහි දයානුකම්පාවෙන් හා ප්‍රේමයෙන් ජීවත්වීම සහ සමාජය තුළ පීඩිතව දිවි ගෙවන සහෝදර සහෝදරියන්ට පිහිටවීම මඟින් දෙවියන් වහන්සේගේ ප්‍රේමය සැබෑ ලෙස ම එකිනෙකාගේ ජීවිත තුළ අත්දකින්නට සැලැස්වීම ජේසු සමිඳාණෝ බෙහෙවින් පසසති.

සමාජයීය වශයෙන් ද නත්තල හා බැඳුණු සංස්කෘතිය ඉතා ප්‍රබෝධජනක වූත්, අපූර්ව වූත් මිත්‍රශීලී වූත් එකකි. එබැවින්, නත්තලේ සංස්කෘතිය ජාති, ආගම් හෝ වයස් භේදයකින් තොරව සියලු දෙනාගේ මනස තුළ ඉතා අසිරිමත් ලෙස සනිටුහන් වී ඇත.

පවතින ගෝලීය වසංගත තත්ත්වය හමුවේ මේ වසරේ නත්තල් සමය සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූල ව සැමරීමට සිදු වී තිබේ. දෙවසරකට ආසන්න කාලයක් පුරා පවතින කොවිඩ්-19 වසංගත කාලය තුළ, පුද්ගල වශයෙන් ද සාමූහික ව ද රටක් වශයෙන් ද අපගේ ආගම් විසින් පුහුණු කළ ආධ්‍යාත්මික පරිකල්පනය සහ විනය, වසංගතය පාලනය කර ගැනීමට මනා පිටිවහලක් විය.

මෙවර නත්තල් මංගල්‍යය වෙනුවෙන්, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමයේ ශුභාරංචිය ශ්‍රී ලංකාවාසී කිතුනු සහෝදර ඔබ ඇතුළු ලෝ වැසි සෑම හදවතකට ම සමීප වන ප්‍රීතිමත් සුබ නත්තලක් වේවා!යි ප්‍රාර්ථනා කරමි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here