චනිත්මාගේ ගැටළුවේදී පරංගියාගේ පාරෙන් කෝට්ටේ යන අධ්‍යාපන බලධාරීන්ට හරි පාර

Date:

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW:

මේ මොහොතේ සමාජ මාධ්‍ය ජාලවල සංවේදි මාතෘකා දෙකක් කතාවට ලක් වෙමින් ඇත.එකක් චනිත්මාට වූ අසාධාරණයට එරෙහිව ඇය නැඟී සිටීමය.අද වන විට එය දෙපැත්තකට කරුණු ඉදිරිපත් කරන සත්‍යය වසං කරන ප්‍රවෘත්ති පළවෙමින් ඇත. එසේම ඒ වෙනුවෙන් ලංකාවේ අධ්‍යාපන අමාත්‍යංශයට පාසල්වල වර්ණ ප්‍රදානෝත්සවයන් නියාමනය කිරීමට හැකි ඉඩ නොසළකා හරිමින් ඇත.
අනික් සංවේදී කාරණය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිිය සම්බන්ධයෙන් පළවන වීඩියෝවක ඇය පෙර පාසල් දියණිවරු පිරිසක් සමඟ හැසිරෙන ආකාරයය.එම වීඩියෝව ඇයගේ පැත්තෙන් වයිරල් කිරීම සිඳු කරන්නේම ඇයගේ දේශපාලන ප්‍රතිරූපය ගොඬ නැඟීම සඳහා වුව ද,එය පාලකයා සහ සාමාන්‍ය සමාජය අතර පුරවැසියාට ඇති අත්දැකීම්වලට සාපේක්ෂව සළකා බලන විට අතිශයින් ආදරණිය කාරණයක්ය.ඒ මොහොතේ අගමැති හරිනි සහ කුඩා දියණියක් අතර වන සංවාදය නාට්‍යමය පුහුණුවක් නොවන බව පැහැදිළිව අවබෝධ කර ගැනීමට හැකියාව ඇත.


දැන් මේ ඉහත කරුණු දෙකේම අග්‍රාමාත්‍යවරියට සම්බන්ධයක් ඇත.එකක ඇය පෙනී සිටියි.චනිත්මාගේ වීඩියෝවේ දී ඇය නොදකින නමුත් වගකීම යන්නේ ඇයටය.ඒ තත්ත්වය චනිත්මාට පමණක් නොවන,සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකාවට පමණක් නොවන වර්ණ ප්‍රදානෝත්සවවලදි සෑම පාසලකම චනිත්මාලා වැනි සිසු සිසුවියන් අසාධාරණ ලෙස තලා දමන ක්‍රියාවලියකි.එය විසදීමට පහසුම ක්‍රමය අධ්‍යාපන අමාත්‍යංශය සතු වන අතර ඔවුන් සමස්ත ලංකා ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය සඳහා සළකා බලන නිර්නායක චක්‍රලේඛයක් මඟින් පාසල් වර්ණ ප්‍රදානයන්ට අනුයුක්ත කර එය චනිත්මාගෙන්ම ආරම්භ කරන්නට නියෝගයක් ද දිය හැකිය.එහිදී පළමු වරට සිරිමාවෝ පරිපාලනයට චනිත්මා මෙන්ම දැනට සම්මාන ලබා සිටින දියණියට ද අගෞරවයක් නොවන පරිදි ඇයගේ ඉහළ දක්ෂතා ද අගයා එම සම්මානය දෙදෙනාටම ප්‍රදානය කිරීම කළ හැකිය.


හම සාධාරණය ඉතා පහසුවෙන් කළ හැකි දෙයක් වුව ද,අධ්‍යාපන අමාත්‍යංශයේ බලධාරීන් ද තමන්ගේ අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරිණිය අපහසුවට පත් කිරීම වළක්වා ගැනීම සඳහා මේ සරල තීරණය පමා කරමින්,චනිත්මා වැරදි බව කියන්නට සාවද්‍ය කරුණු සමාජ ගත කිරීමට ඉඩ දී ඇත.බොහෝ ගුරුවරු කියන්නට උත්සාහ කරන දෙයක් අපි මෙහිදී දුටුවෙමු.අසාධාරණයක් වුවත් ගුරුවරයාට එරෙහි නොවීම විනයගරුක බව යන්න එහි සරල අදහසය.


පාසලෙන් එළි දකින හොඳම ළමයා වන්නේ උස් තැන්වල තීරණවලට හැකිළෙන සහ මිටි තැන් දුටු විට පුප්පන අයෙකු කිරීම ඒ ගුරුවරු සිය පරම වගකීම කර සිතන පිරිසක් බව මේ සංවාදවලින් පැහැදිළි වන්නේය.අධ්‍යාපනය සාකච්ඡාමය හෝ සංවාදමය කාරණයක් නොවන අණ සහ පිළිපැදීම යන කාරණා අතර සිඳු විය යුතු දෙයක් බව සිතන ගුරු පරම්පරාවක් ජාතිය ගොඩ නැඟීම සඳහා පාසල් පද්ධතිය මෙහෙයවන බවත්,එසේ නොවන සුළු පිරිස ඔවුන්ගේ බලයෙන් බැට කන බවත් මෙහිදි දැක ගන්නට ලැබීම රටේ අධ්‍යාපන ඇමතිවරිය පමණක් නොව අග්‍රාමාත්‍යවරිය ද වන හරිනි අමරසූරිය තේරුම් ගත යුතුව ඇත්තේ ජාතික ගැටළුවක් ලෙසය.


දැන් මේ සිඳුවීම පදනම් කරගෙන අසත්‍ය ප්‍රචාර භාවිතා කරමින් චනිත්මා අසාධාරණයට විරුද්ධ වීම දුර්ගුණයක් ලෙස පවසන්නට නොහැකි තැන වෙනත් ආකාරයකින් චනිත්මා අසාධාරණ විදිහට පෙරට පැමිණි බව කියන්නට සාවද්‍ය කාරණා සමාජගත කරන්නට පෙරට එන කොන්ත්‍රාත්කරුවන් මතු වෙමින් ඇත.එසේ නොවී විදුහල්පතිණිය සිය වෘත්තිය නිසා ද,හිතවත්කම නිසා ද බේරා ගැනිමේ උවමනාවෙන් පෙනී සිටින අය ද සිටින්නේය.


මෙහිදී විදුහල්පතිණිය සම්බන්ධයෙන් මතු වෙන වෙනත් චෝදනාවලට අමාත්‍යංශ මට්ටමෙන් හෝ රටේ නීතියට අනුව පරික්ෂණ කරන්නට අවශ්‍යය නමුත් මේ කාරණයේදී ඇය ද වරදක් කර බව පෙනෙන්නට නැත.පාසලෙන් ඉදිරිපත් කරන නිර්නායක ප්‍රසිද්ධ කර නැත.මේ සමඟ අදාළ සම්මානය සඳහා පුරවා ඉදිරිපත් කළ යුතු ඉල්ලුම් පත්‍රය දක්වා ඇති අතර එහි සළකා බලන නිර්නායක කවරේද යන්න දක්වා නැත.ගැටළුව ආ විට ඒ ප්‍රසිද්ධ නොකළ නිර්නායක එළියට දමමින් ඒවා චනිත්මා තේරීමට බාධාවක් බව පෙන්වන්නට උත්සාහ දරමින් ඇත.
අධ්‍යාපන අමාත්‍යංශය මැදිහත් විය යුතුව ඇත්තේ මෙතැනදී ය.පාසල් තුළ මේ ආකාරයට ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගුරුවරුන්ගේ,විදුහල් පරිපාලනයේ ලැබඳියාවන් මත අසාධාරණයට ලක් වීම ගැන චෝදනා ඕනෑ තරම් අධ්‍යාපන අමාත්‍යංශයේ ඇති බව අපි දනිමු.ඒ බොහෝ ඒවාට සාධාරණ තීරණ ලැබී නැති බව ද අපි දනිමු.ඒ හැටිය.මෙතැනදි ඒ තත්ත්වය මඟ හැර අධ්‍යාපන අමාත්‍යංශයම මේ වර්ණ ප්‍රදාන විෂයට අදාළව භාවිතා කරන නිර්නායක ඇති නිසා කරදරයකින් තොරව ඒ කාරණා මේ ගැටළුව විසදීමට යෙදිමට හැකිය.ඒවා චක්‍රලේඛයක් ලෙස රටේ සියළුම පාසල්වලට යොමු කර වර්ණ ප්‍රදානය සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රමිතියක් ඇති කිරීමට ද හැකිය.අධ්‍යාපන බලධාරීන් මේ කල් මරන්නේ එතරම් පැහැදිළි සහ කඩිනම් විසඳුමක් තිබෙන ප්‍රශ්නයක්ය.ඒ තමන්ගේ පරිපාලන සේවයට අයත් විදුහල්පතිනිය නිවැරදි බව කියන්නට නිර්මාණය කරන මඩ ව්‍යාපෘති හරහා චනිත්මා වැරදි බවට සමාජ මතයක් ගොඬ නඟන්නටය.


මේ වන විට වනිත්මාට එල්ල කරන චෝදනා සඳහා පෙරට ගෙන එන්නේ ෆතුමි නම් ක්‍රීඩිකාවය.ඒ සඳහා චමුදිත සමඟ ඇය කරන ලද සාකච්ඡාවක දර්ශන ද ගෙන එන්නේය.එය පදනම් කරගෙන ලියව හෑලි අතර ෆතුමි විශාල ගැටළු මැද්දෙ ඉස්ලාම් ධර්මය අදහන කෙනෙකු හැටියට ක්‍රීඩා කරන අභියෝගය භාරගත් එකම ක්‍රීඩිකාව වැනි දෙයක් හගවන්නට උත්සාහ කරන්නේය.එහෙත් මේ වන විට ජාතික සූරයන් සූරියන් බිහි කරන්නට දායක වන පුහුණුකාරියක් වන යස්මින් සරූක් ක්‍රීඩිකාවක ලෙස ද ජාතික මට්ටමේ සූරියකව ඉඳ ඇත.
ඊට පසු ගොතන කාරණය මහේෂ් චන්දන ජාතික පුහුණුකරුව සිටිමින් ෆතුමි ඉවත් කර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට අසාධාරණ විදිහට චනිත්මා ඇතුළත් කළ බවය.එහි පළමු බොරුව තාත්තාගේ ජාතික පුහුණුකරු කතාවය. එවකට ජාතික පුහුණුකරුව සිටියේ පකිස්තානු ජාතික රෙහ්මන් ගුල් ය.ඊට අදාළ දෙවන කතාව ෆතුමිට තේරීම් තරග තුනකට සහභාගි වෙන්න තිබුණ අතර ඇය ඉන් එකක් ජයගෙන එකක් පරාජය වී තෙවැනි එකට සහභාගි වී නැත.හේතුව හැටියට ඇය කියන්නේ ආබාධයක් ඇති වූ බවය.
ආබාධයක් පීඩා දෙන්නේනම් ඇයට එම තරගය ජය ගැනීමට අපහසුය.එසේම මේ ප්‍රවෘත්තිවලින් මවා පෙන්වන ආකාරයට ෆතුමිව ඉවත් කර චනිත්මා තරගාවලියට ඇතුළත් කළ බව කියන කතන්දරය බොරුවක්ය.ෆතුමි තේරීම් තරග නොපවත්වා අංක එකට සිටිය ඇයව නොයැවු බවට කියන තර්කය අනුව ගත් විටද සංචාරයට එක් කරන ක්‍රීඩිකාවන් දෙදෙනාගෙන් කෙනෙක් වන්නේ චනිත්මා ය.ඒ ඇය අනු සූරියව සිටි බැවිනි.දෙවැනි කාරණය වන්නේ තේරිම් තරගවලදි අපරාජිත ක්‍රීඩිකාව වූයේද චනිත්මා ය.


ඒ නිසා කිසිසේත්ම චනිත්මාට අදාළ නොවන වැරදි ඇයගේ අලවා විදුහල්පතිණිය නිවැරදි කරන්නට වෙහෙසන පිරිස් කල්පනා කළ යුතු වන්නේ කිසිඳු විදුහල්පතිතුමියකට හෝ ගුරුවරයෙකුට හෝ කිසිඳු දරුවෙකුට ලැබැඳියාවන් මත පිහිටා අගතියක් කිරීමට නොහැකි අන්දමට චනිත්මා විසින් ඉදි කළ වේදිකාව භාවිතයට ගැනීමය.එයට අප නැවත නැවතත් යෝජනා කර සිටින්නේ අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා වර්ණ ප්‍රදානයට බලපාන නිර්නායක චක්‍රලේඛයක් ලෙස යොදා ගෙන සියළුම පාසල්වලට ඒ අනුව තමන්ගේ වර්ණ ප්‍රදානයන් කිරීමට නියෝග කිරිමය.ගුරුවරුයා,ශිෂ්‍යයා යන භූමිකා දෙකටම අදාළ වන අවසන් තීරණයන් ගැටළුකාරී අවස්ථාවකදි ලබා දීමට අධිකරණයට පෙර සිටින ප්‍රධානියා අමාත්‍යංශයනම් මේ රටේ ගුරුවරයාට ශිෂ්‍යයාට අසාධාරණයක් කළ හැකිව ඇති පැහැදිළි ඉඩ වසා දැමීමටත්,ශිෂ්‍යායට සාධාරණව සිය හිමිකම ලබා ගැනීමටත් ඇති හොඳම ඉඩ,සමස්ත ලංකා පාසල් වර්ණ ප්‍රදානයන්ගේ නිර්නායක යොදා ගැනීමය.එය මේ වන විට හඳුනාගෙන ඇති චනිත්මා වෙනුවෙන්ම යොදා ගෙන වැඩේ ආරම්භ කරන්නට අධ්‍යාපන අමාත්‍යවරියට,අමාත්‍යංශ ලේකම්වරයාට පරංගියා කෝට්ටේ ගියා වගේ කල් මරන්නට අවශ්‍යය නැත.පැහැදිළිව අධ්‍යාපන අමාත්‍යංශය විසින්ම සකස් කර ගන්නා ලද නිර්නායකයක් ඇත.එය ක්‍රියාත්මක කරන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (26) දින නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ...

ජපාන කැබිනට් මණ්ඩලය 2026 වර්ෂය සඳහා වාර්තාගත ආරක්ෂක අයවැයක් අනුමත කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: චීනය සමඟ...

සුව ඇමති හමු වූ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි Trinh Thi Tam!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW: සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය...

සිය පළමු දේශනය සිදු කරමින් ලියෝ පාප් වහන්සේ ඉල්ලූ දේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශාන්ත පීතර චතුරශ්‍රයේ...