Sunday, June 26, 2022
spot_img
spot_img

Latest Posts

බුද්ධංගල ආනන්ද හිමි හා පුනරුත්ථාපන කොමසාරිස් ආනන්ද වීරසේකර

බ්‍රිගේඩියර් ආනන්ද වීරසේකර යටතේ තිබුණු තිසාවැව කෑම්ප් එකේ තිබුණු සුලබ වධහිංසනයක් වුණේ අත්අඩංගුවට ගත් තරුණයන්ගෙ ඉස්සරහ දත් හතරක් පොලුවලින් ගහලා කඩන එක. එහෙම කැඩීමට භාජනය වූ අය ගණනාවක් මට හමුවුණා, පැලවත්ත රැඳවුම් කඳවුරේදී. පස්සෙ කාලෙක අනුරාධපුරේදීත් ඒ අය නැවත හමුවුණා. ඒ අය තවමත් ජීවතුන් අතර ඉන්නවා, කෘත්‍රිම දත්දාගෙන. ආනන්ද වීරසේකර සිවුරක් දාගත්තා. පෝලිමේ තියලා ඊ කියපන් කියලා පොලුවලින් ගහලා දත් කඩනකොට මිනිහෙකුට ඇතිවෙන ශාරීරික, මානසික වධහිංසනය ගැන හිතන්න.

කෘත්‍රිම දත්වලින් කරන්නට පුළුවන් සැබෑ දත්වල ව්‍යාජයක් නිර්මාණය කරන එක විතරයි. ආනන්ද වීරසේකරගෙ සිවුර ගැන මං දන්නෙ නැහැ.

1992දී, පොල්ගොල්ල පුනරුත්ථාපන කඳවුරේ තිබුණු ඉංග්‍රීසි පන්ති කාමරයක් විවෘත කිරීමේ උත්සවයකදී එහි රැඳවියන් වූ අපි ආනන්ද වීරසේකරට සංවිධානාත්මකව අභියෝග කළා. අපට ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරන්නට තියෙනවාය කිව්වාම ඔහු අවස්ථාව දුන්නා. ඊට කලින් මාධ්‍ය ඉවත් කළා. මම තමයි එහිදී ඔහුව කුපිත කරපු ප්‍රශ්නය ඇහුවෙ. මම කිව්වේ අපව දිගින් දිගටම නඩු නැතුව රඳවා තබා ගැනීමත්, ජයලත් කොමිෂම කියලා නීති විරෝධී උසාවියකින් අපට විවිධ පුනරුත්ථාපන කාලයන් නියම කරන එකත් නවත්වා, අප වැරදි කර තිබේ නම් නඩු පවරන හෝ නැතිනම් නිදහස් කරන ලෙසයි.

ඒ ප්‍රශ්නයට ඔහු දුන්න උත්තරයේ තිබුණේ ඒ විදියට කටයුතු කරන්නට ගියොත් මේ විදියට රැඳවුම්කරුවන් නිදහස් කරන එකත් කරන්නට බැරිවෙයි කියලායි. කොහොම වුණත්, ඒ පුනරුත්ථාපන වැඩසටහන නරක එකක් නෙමෙයි. මාත් ඒ යටතේ සැලසුම් ඇඳීමේ පාඨමාලාවක් හදරලා සහතිකයක් ලබාගත්තා. සුපුරුදු විදියටම ඒවා හරියට කෙරුනේ නැහැ. අවශ්‍ය පහසුකම් තිබුණේ නැහැ. කෙසේ වෙතත්, අපට උගන්වපු ගුරුවරයා ඒ දිනවල ඇවිත් යම් වැදගත් සටහන් ටිකක් දීලා ගියා.

පුනරුත්ථාපන කඳවුරුවල සිටි තරුණ සේවා නිලධාරීන් කියන්නෙත් ඉතා අඩු පඩියකට වැඩ කළ පීඩිත තරුණ පිරිසක්. එතන හිටපු තරුණ සේවා නිලධාරිවරයෙකු පස්සෙ කාලෙක මට රජරට සේවයේදී හමුවුණා, ජ්‍යේෂ්ඨ සහන නිවේදකයකු ලෙස. මං හිටියෙ පුහුණුව ලබමින්. මං ඇඳුනුම්කම් කියන්න ගියේ නැහැ.

තව පාසල් ගුරුවරුන්වත් පුනරුත්ථාපනයට අනුයුක්ත කර තිබුණා. දැන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සුමිත් අලහකෝනුත් රජයේ ගුරු සේවයේ සිට අනුයුක්තව පොල්ගොල්ලේ පුනරුත්ථාපන කඳවුරේ ‘ගුරු පියවරයෙකු’ ලෙස සේවය කළා. ශිෂ්‍ය භට බලකායේ නිලධාරීන් වුණ, යුනිෆෝම් අඳින ගුරුවරුන් පිරිසක් තමයි කඳවුරු පාලනය කළේ.

මහනුවර පැත්තේ ගුරුවරයෙකු එතන රැඳවියන් සමග නාට්‍යයක් කළා. එහෙම කිව්වට ප්‍රධාන චරිත ටික ඔක්කොම රඟපෑවෙ නිලධාරි. රැඳවියන්ට දීල තිබුණෙ පොඩි පොඩි චරිත ටිකක්. මම මහරගම ගුරු විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරු පුහුණුව ලබන කාලෙ ලුම්බිණි විද්‍යාලයේ ටීචිං ප්‍රැක්ටිස් කරද්දී මේ ගුරුවරයාත් නාට්‍ය හා රංග කලාව පශ්චාත් උපාධියක්ද කොහෙද කරලා ටීචිං ප්‍රැක්ටිස් කළා. අපි කතාබහ කළා. මං ඇඳුනුම්කම් කියන්න ගියේ නැහැ.

මහා සුතසෝම ජාතකයෙ අතුරු කතාවක් ඇසුරෙන් කරපු මේ නාට්‍යයේ පණිවුඩය තමන්ගේ වර්ගයා නසන්නෝ නැසෙන්නෝය යන්නයි. ඒක දෙපැත්ත කැපෙන කඩුවක් වගේ පණිවුඩයක්. ජවිපෙයි රජයයි දෙගොල්ලම එක විදියට වධහිංසනය හා ඝාතනය කරපු යුගයක් ඒක. ඒ සම්බන්ධයෙන් කැරැලිකරුවකු විදියට මා නම් වගවෙලා තිබෙනවා. අපි ඒ වෙනුවෙන් ගෙවිය යුතු මිල ගෙවලා වෙනස් මිනිසුන් විදියට අලුත් ජීවිත පටන්ගත්තා.

එතනදී හමුවුණ ගුරුවරයකු වූ ලීල් අධිකාරි පදවියේ හමුදා කඳවුරක සක්‍රිය සේවයේ යෙදී සිටියදී පසු කලෙක මට හමුවුණා. ඔහු දිනක් මගේ මිත්‍ර ගුරුවරයකු වුණ සේරසිංහ හමුවෙන්නට පාසලට ආවා. මට යුනිෆෝම් එකේ හිටපු ඒ නිලධාරිවරයා හඳුනාගන්න බැරිවුණා. මගෙන් විස්තර ඇහුවා. ගම එහෙමත් ඇහුවා. පොල්ගොල්ලෙ ඉන්න කාලෙ අපව ගමට එව්වා නිවාඩුවට. නිලධාරිවරයකු සමග තමයි එව්වෙ. පන්සලේ හාමුදුරුවන්ගෙන්, ග්‍රාමසේවකගෙන් එහෙම සහතික ගන්න මාව එක්කගෙන ගියෙත් ඒ නිලධාරිවරයා. ඒත්, ඔහු ඒ ගැන සේරසිංහටවත් කිව්වෙ නැහැ. ඔහු තමයි කාලයක් අපි හිටිය ගමට වන්නි කැලෙන් ඇතුළුවන මාඔයේ පාලම ළඟ රෑට කොටින් අල්ලන්න දාපු ඇම්බුෂ් එක භාරව හිටි හමුදා නිලධාරීවරයා. ඒ දවස්වල රෑට අපේ ක්වාටර්ස් එකට ඇවිත් කතා කර කර ඉඳලා තේ එහෙම බීලාත් යනවා. කවදාවත් අපි ඒ අතීතය කතා කළේ නැහැ. ඔහුට තේරෙන්න ඇති මං ඒ අතීතය සඟවන්නට උත්සාහ කරන බව.

එතන හිටපු තවත් ගුරු පියවරයෙකු වුණ උපාලි උඩුගමසූරිය නිසා මට අවුරුදු 12කට පස්සෙ දුෂ්කර සේවයෙන් නිදහස් වෙලා අගලවත්තෙ මිහිඳු මධ්‍ය මහා විද්‍යාලයට ස්ථාන මාරුවක් ලැබුණා. උපාලි තමයි මතුගම කලාප අධ්‍යක්ෂට කියලා මට මාරුව හදාදුන්නෙ. ඒ වෙනකොට මං අනුරාධපුරේ දුෂ්කර සේවාව හමාර කරලා බස්නාහිර පළාතට ඇවිත් බදුරලියෙ ඉලුක්පොත ඉස්කෝලෙ වැඩ.

පොල්ගොල්ලේ පුනරුත්ථාපන කඳවුරේ අලුත් අවුරුදු උත්සවයකදී ජවිපෙ කට්ටියක් දැලි පිහි ගේමක් දුන්නා. ඒක වෙනම කතාවක්. කරපු කට්ටිය අහුවුණේ නැහැ. එතකොට මං ජවිපෙ නැහැ. මං අවුරුදු උත්සවය වර්ජනය කරලා කඳවුරෙන් හොරෙන් පිටවෙලා නුවර රස්තියාදුවක ගියා. අපි එනකොට ඔක්කොම ඉවරයි. කට්ටිය තරහ නිලධාරීන්ගෙ පුකවල් දැලි පිහියෙන් කපලා හෙණ සතුටින් හිටියෙ. වැඩේ අහු නොවෙන්න රැඳවියකුගෙත් තට්ටම මැහුම් දෙකක් විතර දාන්න කපලා තිබුණා. ඒ ගේමට සම්බන්ධ යයි සැක කළ අයව මහරගමට ගෙන්නගෙන ආනන්ද වීරසේකරම ඔවුන්ට ගැහුවා. ගහන අතරෙ ඇහුවලු අර ප්‍රශ්නෙ අහපු මාත් ඉන්නවද කියලා, මටත් නෙළන්න. කොහොමහරි මෑන්ට මාව අල්ලගන්න බැරිවුණා.

පොල්ගොල්ලෙනුත් අපව නිදහස් කළේ නැහැ. එතන හිටිය යම් උගත්කමක් තිබුණාය කියන පිරිසක් එතනින් සේදවත්ත පන්සලේ පුනරුත්ථාපන කඳවුරකට මාරු කළා. එතන තමයි ආනන්ද වීරසේකර වෙනුවෙන් ත්‍රිපිටක පර්යේෂණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගියේ. පිරිවෙන් ගුරුවරු හා හාමුදුරුවරු කීපදෙනෙක් ත්‍රිපිටකය කියවලා ආනන්ද වීරසේකරට කතා පවත්වද්දී කියන්න කෑලි උපුටා දුන්නා, මට තේරුණු විදියට.

ටික කලකට පස්සෙ අපව එතනින් මහරගම ගොඩිගමුවෙ පන්සලට මාරු කළා. ඒක හරිම නිදහස් තැනක්. හාමුදුරුවන් අපි ගැන හෙව්වෙම නැති තරම්. එතනින් තමයි මං නිදහස් වෙලා ගෙදර ගියේ. එතන ඉන්න කාලෙ තමයි මං ඉංග්‍රීසි ගුරුවරුන් බඳවාගැනීමේ විභාගයට ලිව්වෙ. තව ලිපිකාර සේවා විභාගයකුත් ලිව්වා. ඒ විභාගයෙන් මං කලුතර දිස්ත්‍රික්කයේ පළමුවැනියා වෙලා සමත් වුණා. ඒත් මං ඒ රස්සාවකට නොගිහින් තව ටික කලක් බලා ඉඳලා ගුරු වෘත්තියට පදවි ගියා. රැඳවුම් කඳවුරුවල ඉංග්‍රීසි උගන්නපු නිසා මට ගුරු විභාගෙ වැඩි ලකුණු සහිතව සමත්වෙන්නට පුළුවන් වුණා. ඒ නිසා, ඩෙලික් පාඨමාලාව නොකර පූර්ව සේවා පුහුණුවකින් පසුව දුෂ්කර පාසල්වල ඉංග්‍රීසි උගන්වන ගුරුවරයකු ලෙස මට ස්ථිර පත්වීමක් ලැබුණා.

ඔය අතරවාරෙ තවත් නාට්‍යමය සිදුවීම් රැසක් සිදුවුණා. ඒවා ලියනවා නම් දිගට ලියන්නට ඕනැ. මං පුනරුත්ථාපනය වුණ හැටි කතාවට ඒ ඔක්කොම අදාළයි.

පදවියේ ගුරු වෘත්තියේ හිටපු මුල් කාලෙත් මට මාසිකව කලුතර උතුරෙ අසෝකාරාමයේ පුනරුත්ථාපන කාර්යාලයේ අත්සන් කරන්නට නියමිත වුණා. මේ නියෝගය අයින් කරගන්න මං මහරගම පුනරුත්ථාපන කොමසාරිස් කාර්යාලයට ගියා. එතකොට ආනන්ද වීරසේකර යළි හමුදා සේවයට ගිහින්. පොලිස් අධිකාරිවරයකු තමයි පුනරුත්ථාපන කොමසාරිස් විදියට සේවය කළේ. මාව ඒ නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කළ වෙලාවේ මට ඔහු කතා කළා පුනරුත්ථාපන කොමසාරිස් දෙපාර්තමේන්තුවට බැඳිලා ගුරු පියවරයකු ලෙස සේවය කරන්නට. මං ඒක ආචාරශීලීව ප්‍රතික්ෂේප කළා. ඒ විකාරයට වඩා දුෂ්කර ඉස්කෝලෙක ළමයින්ට අකුරු ඉගැන්වීමෙන් මං ඇත්තටම පුනරුත්ථාපනය වුණා.

ආනන්ද වීරසේකර නායකත්වය දුන්න 1989 කැරැල්ලේ තරුණයන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන උවමනාවට වඩා සංදර්ශනාත්මක එකක්. එහිදී ආනන්ද වීරසේකර තමන් බැබලෙන එකට ප්‍රමුඛතාව දුන්නා. ඒ නිසා එහි හැමදාමත් විවිධ උත්සව නම් පැවැත්වුණා. මාත් එවැනි එක් සීල ව්‍යාපාරයකට සහභාගි වෙලා තිබෙනවා. විශාල සෙනග රැස්කර සීල ව්‍යාපාර වගේ ඒවා පවත්වන එක තමයි ඔහු කළේ. පුනරුත්ථාපන කඳවුරු තුළ ක්‍රියාත්මක වුණේ ඔහුගේ ආගමික ෆැන්ටසිය. පුනරුත්ථාපනයට ලක්වන්නන් ඒක කොයි තරම් දුරට පිළිගන්නට සූදානම්ද කියන එක ඔහුට අදාළ වුණේ නැහැ. පුනරුත්ථාපනය කියලා ක්‍රියාත්මක වුණේ හමුදා හා තරුණ සේවා සභා සංස්කෘතීන්ගේ කවලමක් ඔස්සේ නිර්මාණය වුණ අපැහැදිලි වැඩසටහනක්. ඒක ක්‍රියාත්මක කළේ බාගෙට හමුදා නිලධාරීන් වුණ කැඩෙට් කෝ ගුරුවරුයි, බාගෙට තරුණ සේවා නිලධාරීන් වුණ ඉතා සුළු වැටුපකට සේවය කළ අසහනයෙන් පෙලුණු, එහෙත්, කැරැලිකරුවන් නොවුණ තරුණ පිරිසකුයි විසින්. නිදහස් වෙලා යන්නට මාර්ගයක් නිසා තරුණයන් ඒක ඉවසුවා. එහෙම නැතුව, එහි තිබුණු කිසිම වැඩසටහනක් සාර්ථක නැහැ. ඒ වුණාට ඒ ඔස්සේ කැරැලිකරුවන්ව නිදහස් කළා. ඇතැමෙකු ඇතැම් පොඩි පොඩි අසාර්ථක ස්වයං රැකියා එහෙමත් කළා. ඒ කාලෙ කුමාර් දේවපුරගෙ ඇඟලුම් කම්හල්වල ඇතැමුන්ට රැකියා ලැබුණා. දෙල්කඳ හන්දිය ආසන්නයේ තිබුණු පුනරුත්ථාපනය වුණ අයගෙ අලෙවි මධ්‍යස්ථානයක් ද මොකක්ද ව්‍යාපෘතියක හිටපු අය පස්සෙ කාලෙක රොබරියකුත් දුන්නා. ඒකට කලින් ඒ කණ්ඩායමේ කෙනෙකු මට ලියුමක් එවලා වෙලාවක හමුවන්නට යෝජනා කළා. අපි කවදාවත් හමුවුණේ නැහැ.

හැබැයි, මේ අතරෙ ත්‍රිපිටකය කියවලා එහෙම මං හිතන විදියට ආනන්ද වීරසේකර පුනරුත්ථාපනය වුණා. පසුකලෙක ඔහු මහණ වෙන්නට යොමුවුණේ ඒ නිසා වෙන්න ඇති.

මගේ නියම පුනරුත්ථාපනය සිදුවුණේ පදවියෙදි. ආනන්ද වීරසේකර වැලිඔය හමුදා සම්බන්ධීකරණ නිලධාරි කාලෙ වැලිඔය පදවිය පැත්තෙ ජනතාවත් එයාගෙ ෆැන්ටසිය අනුව පුනරුත්ථාපනය කරන්න ගියා. ඉස්කෝලවල ගුරුවරුන්, ළමයි එකිනෙකා දුටුවාම බුදුසරණයි කියන්න ඕනැ කියලා පාසල්වලට ලියුම් එව්වා. හැමෝම හොඳයි කිව්වා. හැබැයි ඒවා ක්‍රියාත්මක වුණේ නම් නැහැ. මං සාමාන්‍ය ජන ජීවිතයට හැඩගැහුණෙ පදවියෙදි හමුවුණ, මේ කතා දන්න එච්.ඩී. පෙරේරා, එස්.කේ. සේරසිංහ, නැසීගිය සුදත් ගුණරත්න, ගාමිනී චන්ද්‍රදාස, උපුල් ගුණසේකර වගේම, මේ කතා නොදැන වුණත්, සමීපව ආශ්‍රය කළ නෙල්සන් වර්ණකුලසූරිය, නැසීගිය අබේපාල, හේමපාල, එවකට ධීරානන්ද හිමි, කිඹුල්වානාවේ සීලානන්ද හිමි, උපාලි, සන්ධ්‍යා, ලාලනී, ජානකී, නන්දනී, රත්නා, ගීතරාණි ආදී මෙකී නොකී ගුරුවරු ගුරුවරියන් රැසක්, විදුහල්පති හා නියෝජ්‍ය විදුහල්පති දෙපල හා පදවියේදි ඇසුරු කළ නිහාල් (නැසීගිය), එඩ්මන්ඩ්, අපේ මුරකරු හේරත් අයියා, සුනිල්, මිටිපොල ගුණසේකර ආදී තවත් බොහෝ මිනිසුනුත්, අපිත් එක්ක ජීවත් වුණ සිසු සිසුවියනුත් නිසායි. මගේ ජීවිතය සමග 1989න් පස්සෙ විවිධ වකවානුවල සම්බන්ධ වුණ පෙම්වතියන් ගැන කියන එක හොඳ නැති නිසා මොකුත් කියන්නෙ නැහැ. ඔවුනුත් මගේ පුනරුත්ථාපනයට බොහෝ උපකාර වුණා. ඒත්, මං ඔවුන් සම්බන්ධයෙන් සාධාරණ නොවුණු එක ගැන මට කණගාටුවක් තිබෙනවා.

ප්‍රජා.lk

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.