සිනමාපටයක ප්‍රධාන නළුවා/ නිළියට තරම් ම වැදගත්කමක් එහි රඟන සෙසු සහ උප චරිත සඳහාත් අවශ්‍යයි. ඇතැම්විට ප්‍රධාන නළු නිළියගේ රංගනය තීව්‍ර කරන්නත්, මුවහත් කරන්නත් පෝෂණය කරන්නත් දායක වෙන්නේ සතුරාටත් වඩා ඔවුන්. මේ නිසා, සහයක රංගන ශිල්පියා හෝ ශිල්පිනිය සුළු චරිතයක් ලෙස තකන්න බැහැ.
සංජය ලීලා බන්සාලි අධ්‍යක්ෂණය කළ පද්මාවත්(2018) චිත්‍රපටයේ දුෂ්ට පක්ෂය නියෝජනය කරන සුල්තාන් අලාඋද්දීන් කිල්ජි(රන්වීර් සිං)ගේ හිතෛෂී සේවකයා ලෙස රංගනයේ යෙදෙන මලීක් කෆූර්(ජිම් සාබ්) අවධානය යොමු විය යුතු, නමුත් සංවාදයෙන් ගිලිහී ගිය රංගන ශිල්පියෙක්.
චිත්‍රපටයක වීරයා ඉස්මතු වීම සඳහා දුෂ්ටයා බලවන්තයෙකු කිරීම ප්‍රකට කරුණයක්(එය අනිවාර්ය නැහැ). බොහෝවිට ඉතිහාස කතාවලදි මේ ලකුණ වැඩිවශයෙන් දැකගන්න පුලුවන්. දුෂ්ටයා ලෙස නම්කෙරෙන තැනැත්තා බලවන්ත වන තරමට නපුරු වන තරමට ඒ බව පෙන්වන තරමට ඔහුට එදිරිව සටන් කරන කතාවේ වීරයාගේ හොඳ නම සහ ප්‍රතිරූපය මතුවෙනවා. ඉන්දීය චිත්‍රපටවල පමණක් නෙවෙයි මේක ලංකාවේ චිත්‍රපටවලට වගේ ම බුත්සරණ වගේ චිරන්තන ගද්‍ය සාහිත්‍ය කෘතිවල දි පවා මතුවන කරුණක්.
ජිම් සාබ්ගේ රංගනය පද්මාවත් චිත්‍රපටයට වැදගත් වෙන එක හේතුවක් නම්, අලාඋද්දීන් සහ මලීක් අතර වර්ධනවන කෙමෙස්ට්‍රිය යි. ස්වාමියා තෘප්තිමත් කිරීමේ අරමුණ මිස වෙන හිතක් මලීක් කෆූර් තුළ නැහැ. ස්වාමියාගේ සතුට ඔහුගේත් සතුට වෙනවා. එතැනදි කොතරම් දුෂ්ට දෙයක් වුණත් ඔහු කරන්න පසුබට වෙන්නේ නැහැ, ස්වාමියාගේ තෘප්තිය උදෙසා. මේ නිසා කොටින් ම අලාඋද්දීන්ව අපිට වඩාත් දැනෙන්නේ මලීක් කෆූර් නිසා යැයි කීම වැරදි නොවේවි. පද්මාවත් චිත්‍රපටය සඳහා අලාඋද්දීන්ගේ සේවක වහලාගේ චරිතයට ජිම්ව යෝජනා කර ඇත්තේත් රන්වීර් විසින්මයි. ඔහුගෙන් තම චරිතයට ලැබුණු දායකත්වය රන්වීර් අගය කර තිබුණා. කඩවසම් පෙම්වතාගේ චරිතවල සිට ඉන්දීය සිනමාවේ දුරක් පැමිණි රන්වීර්ගේත් හොඳ ම රංගන අවස්ථා අතරින් ඉහළ තැබිය හැකි චරිතයක් අලාඋද්දීන් බවයි අපගේ අදහස. එක ම රාමුවේ චරිතවලට දායක වෙමින් ආ ගමනට හැරවුමක් කරන්නේ, මේ චරිතයෙන්. එය හරියට, හාස්‍යජනක නළුවෙකුගේ භූමිකාවට අවතීර්ණ වී සිටි රිතේෂ් දේශ්මුක්ගේ රඟපෑම් රටාව ඒක් විලන්(2014) චිත්‍රපටයෙන් වෙනසකට ලක්වුණා වගේ.
යළිත් මාතෘකාවට ආවොත්, ජිම් සාබ් සාත්වික අභිනය(ඇස්වල හාවභාව, කම්මුල් චලනයෙන් රඟපෑම ආදිය) දැක්වීමේ සමතෙක්. ඔහු රඟපාන්නේ, දෙබස් කියන්න හෝ ඇඟපත පෙන්වන්න නෙමෙයි. රඟපාන්නේ ඇස්වලින්. ඔහු දෙබස් කියන අවස්ථාවලදි යළිත් විමසිල්ලෙන් බැලුවොත්, මේ බව වැටහේවි. විදේශ ඌරුව නිසාදෝ ඔහුගේ ඇස්වල ඇති පැහැයත් වෙනස් නිසා, එයිනුත් අමතර සහයක් ඊට ලැබෙනවා ඇති. තරමක මුරණ්ඩු හිතුවක්කාර බවක් වගේ ම සැහැල්ලු බවකුත් ඔහුගේ මුහුණින් ප්‍රකාශ වන හාව භාව අතර තිබෙන නිසා, මේ චරිතය වෙනුවෙන් එය ද ඉවහල් වන්නට ඇති.
ඔහු හදාරමින් ඉගෙන ගනිමින් වේදිකා නාට්‍යවල රඟපෑමෙන් සිය රංගන ජීවිතයට පදනමක් පසුබිමක් සකසා ගත් අයෙක්. නමුත්, පොදුවේ බැලුවොත් ඔහුගෙන් තවම හින්දි සිනමාව වැඩ අරගෙන නැහැ. මේ වනවිට චිත්‍රපට කිහිපයකට ම රංගනයෙන් දායක වී තිබෙන ජිම් සාබ්, නීර්ජා(2016) චිත්‍රපටයේ දුෂ්ට පක්ෂය නියෝජනය කරමින් කළ චරිතයක් වෙනුවෙන් සිනමා උලෙළවල්හිදී ඇගයීමට ලක්වුණා. පද්මාවත්හි රංගනය වෙනුවෙන් සම්මානයක් ලැබිය යුතු ම වුවත්, ඔහු නිර්දේශ වුණා පමණයි. නමුත්, කලා විචාරකයන්ගේ අවධානය ඔහු කෙරේ යොමුව තිබුණා. සම්මානවලින් කෙනෙකුගේ හැකියාවට මිනුම් ගැනීම සාධාරණ නැහැ. සම්මානවලින් මතුවන පිරිස වගේ ම සම්මාන දිය යුතු නමුත් නොලැබෙන දක්ෂ රංගන ශිල්පීන් අපමණ සිටිනවා. ඔවුන්ව මතුකරලා ගැනීමයි වැදගත්. ලංකාවේ වගේ ම බොලිවුඩයේත්, සම්මාන යට තියෙන මාෆියාව තේරුම්ගන්න නම් අපිට ටිකක් මධ්‍යස්ථව බලමින් කියවාගන්න හදාරන්න වෙනවා, කිසි ම නළුවෙකුට හෝ නිළියකට හෝ අන්ධව වශී නොවී !
ඩිල්ශානි චතුරිකා දාබරේ