ට්‍රම්ප් ඇමතූ ඩලස් !

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31,, කොළඹ LNW :

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත , හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඉල්ලීමක් කරමින් ලිපියක් යවා ඇත.

ඒ, ශ්‍රී ලංකාවේ ආනයන සඳහා දැනට පවතින තීරුබදු මට්ටම 2026 වසරට පමණක් අදාළ වනසේ 12% දක්වා තාවකාලිකව අඩු කරන ලෙසයි.

ඒ අනුව එහි විස්තර ඇතුලත් සම්පූර්ණ ලිපිය පහතින් දක්වා ඇත.

අතිගරු ජනාධිපතිතුමනි,

පීඩාකාරී “දිට්වා” සුළි කුණාටුවට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව වෙත, එක්සත් ජනපද රජය විසින් සැපයූ ත්‍යාගශීලී මානුෂීය සහාය සඳහා මාගේ හදපිරි ස්තූතිය පළමුව ප්‍රකාශකර සිටිමි. ඇමරිකානු ඩොලර් මිලියන 2 ක හදිසි ආධාරය සහ අත්‍යවශ්‍ය සහන සැපයුම් ප්‍රවාහනය සඳහා හමුදා ගුවන් ප්‍රවාහන හැකියාවන් යොදවා ගැනීම, මෙවැනි බරපතල ස්වභාවික ව්‍යවසනයක් අභිමුව අපගේ අඛණ්ඩ සහන කටයුතු සඳහා අතිශය වැදගත් වූ බව කෘතවේදිත්වය පෙරදැරිව සඳහන් කරමි.

මෙම විනාශකාරී සුළි කුණාටුවෙන්, ශ්‍රී ලංකාවේ බොහෝ දිස්ත්‍රික්කවල පුළුල් ලෙස පැතිර ගිය ගංවතුර සහ නායයෑම් හේතුවෙන් දිගුකාලීන සමාජ ඛාදනයන් රාශියක් සිදුව ඇති අතර අප රටේ ජනගහනයෙන් ආසන්න වශයෙන් 10%ක්, එනම්, මිලියන දෙකකට අධික පිරිසක් (2,100,000) දැඩිව පීඩාවට පත්ව ඇත.

ගරු ජනාධිපතිතුමනි, සෑම විපතකදීම මෙන්ම අවාසනාවන්ත ලෙස මෙම ව්‍යාසනයෙන් ද වැඩිම පීඩාවක් එල්ල වී ඇත්තේ  අප දරුවන්ටයි. UNISEF තක්සේරුවට අනුව, ලක්ෂ පහකට අධික (500,000) දරුවන් පිරිසක් බරපතල ලෙස පීඩාවට පත්ව සිටින අතර දෙමාපියන් අහිමිවීම, වාසස්ථාන අහිමිවීම, දෙමව්පියන්ගේ ආදායම් මාර්ග අහිමිවීම සහ අධ්‍යාපනයට බාධා වීම වැනි දිගුකාලීන අවදානමකට මුහුණ දී ඇති පිරිස බහුතරය වේ.

ඔබතුමා තුළ දරුවන් කෙරෙහි ඇති දැඩි කරුණාව සහ ආදරය මම සැමදා අගය කළෙමි. එයට ආසන්නතම උදාහරණය ඔබතුමා මෑතකදී ආරම්භ කළ ට්‍රම්ප් බැංකු ගිණුම් (Trump Account ) වැඩසටහන වේ. උපතේ සිටම තරුණ ඇමරිකානුවන්ගේ මූල්‍ය අනාගතය ආරක්ෂා කිරීමට අරමුදල් සැපයීමේ දූරදර්ශී වැඩසටහන මගින් ඔබ දරුවන්ට දක්වන සෙනෙහස, ඉතා පැහැදිලිව  ලෝකයා හමුවේ විද්‍යාමාන කර ඇත.

එබැවින්, ශ්‍රී ලාංකේය දරුවන්ගේ අනාගතය පිළිබඳ පොදු ප්‍රමුඛතාවය සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාව උදෙසා ගනු ලබන සුවිශේෂී සහනදායී පියවරක් සේ සලකා අප රටෙන් ඇමෙරිකා එක්සත් ජනපදය වෙත ආනයනය කරනුලබන භාණ්ඩ සඳහා දැනට පවතින තීරුබදු මට්ටම වූ 20% ක ප්‍රතිශතය, 2026 වසරට පමණක් අදාල වනසේ 12% දක්වා එනම්,

2024 පැවැති මට්ටම දක්වා තාවකාලිකව අඩු කිරීම සම්බන්ධයෙන් කාරුණික අවධානය යොමු කරන්නැයි පක්ෂ නායකයකු, 2022 ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයෙකු මෙන්ම හිටපු අධ්‍යාපන ඇමතිවරයකු වශයෙන් ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

එලෙස ඉටුවන්නේ නම්, එහි වාර්ෂික මුල්‍ය වටිනාකම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) විසින් අප වෙත ලබාදෙනු ලබන ණය මුදලේ, එක් වාරික අගයකටත් වඩා  ඉහළ අගයක් ගනු ඇත. ඒ අනුව, මෙම ඉලක්කගත සහනය  අපගේ ආර්ථික ප්‍රතිසාධනයට විශාල බලයක් ලබා දී ප්‍රධාන අපනයන අංශවලට සහාය වීම, යටිතල පහසුකම් නැවත ගොඩනැගීම, ජීවනෝපායන් ප්‍රතිස්ථාපනය කිරීම සහ අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම සවිබල කරනු ඇත.   රටක් ලෙස අප මුහුණදුන් බරපතළ

ස්වභාවික ආපදාවේ ප්‍රමුඛ වින්දිතයන් වූ මිලියන අඩකට ආසන්න ශ්‍රී ලාංකේය දරුවන්ට එම සහනයේ සෘජු ප්‍රතිලාභ ලැබෙන සේ ශ්‍රී ලංකා රජය කටකටයුතු කරනු ඇතැයි ද විශ්වාස කරමි.

එසේම,මෙම සංකේතාත්මක  පියවර, මේ අසීරු කාලයේදී ශ්‍රී ලංකාවේ දරුවන්ට දීප්තිමත් අනාගතයකට ප්‍රවේශ මාර්ගයක්  පිරිනමන බැවින් එය, ඔබතුමා සහ ඇමරිකානු ජනතාව වෙතින් ඔවුනට ලැබිය හැකි සර්වෝත්තම නත්තල් තෑග්ගක් මෙන්ම එළඹෙන නව වසර සඳහා පිදෙන අනුස්මරණීය ත්‍යාගයක් ද වනු නොඅනුමානය.

ඔබට ද ඔබ ආදරණීයයන්ට ද ඇමරිකානු ජනතාවට ද උණුසුම් නත්තල් සුභාශිංසන සහ සුබ නව වසරක් ප්‍රාර්ථනා කිරීමට ද මම මෙය අවස්ථාවක් කර ගනිමි.

ගෞරවයෙනි,

ඩලස් අලහප්පෙරුම.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ සෙල්ලමින් විදේශ ආධාර අර්බුදයක – නාමල්ගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ආණ්ඩුව තවදුරටත් විගණකාධිපති තනතුරට පත් කිරීමක් සිදුනොකර කරන...

සමාජීය අභියෝග අභිබවා ඉන්දියාව ජපානයත් පහුකරගෙන ලොව බලවත් සිව් වන ආර්ථිකය බවට පත්වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව් වන විශාලතම...

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර...

ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාත්‍යන්තර දිනය සැමරීමට වෙන් කළ මුදල් ගැන නව තීරණයක්!

කොළඹ LNW:ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාත්‍යන්තර දිනය සැමරීමට...