සටහන – රෂිකා හෙන්නායක
අප්‍රේල් 09, කොළඹ (LNW): මිනිස් සිරුර තුළ සිදුවන්නේ එක්තරා ක්‍රියාවලියක් බවත්, මොළය හා ස්නායු පද්ධති ආශ්‍රිතවත් තව තවත් රසායනික 10,000ක් පමණ ඇති බවත්, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති, නීතිඥ ශාක්‍ය නානායක්කාර මහතා පවසයි. අපට දුක, සතුට පාලනය, මතකයන් ආදී හැඟීම් ඇතිවන විට ඒවායේ ක්රියාකාරීත්වයේ අඩු වැඩිවීම් වන බවත්, රසායනික සමතුලිතතා වෙනස් වන බවද ඒ මහතා පවසයි.
නමුත් මත්ද්‍රවය තුළින් වන්නේ විකෘති තත්ත්වයක් බවත්, විකෘති, උන්මත්තක ගති ඒ අනුව ඇතිවිය හැකි බවද පවසයි.. සැබැවින්ම, එය සිරුරට ඉතා හානිකර බවත්, ස්නායු ක්‍රියාකාරීත්වය ඉන් අඩපණ කරන බවද පෙන්වා දෙයි. සෑම විටම මත්ද්‍රව්‍ය භාවිතය අසනීප, අඩපණවීම් මිසෙක මත්ලෝලීන් බලාපොරොත්තු වන කිසි දෙයක් ඒ තුළ නැහැ.නොමැති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති, නීතිඥ ශාක්‍ය නානායක්කාර මහතා වැඩිදුරටත් කියා සිටී.
ඒ පිළිබඳ සම්මුඛ සාකඡාවකදී දැක්වූ අදහස් කිහිපයක් පහතින් දක්වා ඇත.
ඔබ ආයතනයේ 40 වැනි සංවත්සරයත් එළැඹිලා. දැවෙන ජාතික ගැටලුවක් නිරාකරණයයි ඊට පැවරී තියෙන්නේ?
ඔව්. 1984 වර්ෂයේදීයි මේ රාජ්‍ය ආයතනය පිහිටෙවුවේ. මෙරට මත් උවදුර තුරන් කිරීමේ කර්තව්‍ය අතින් අතිශය විශාල වැඩ කොටසක් අන්තරායකර ඖෂධ ජාතික මණ්ඩලයට පැවරෙනවා. නිවාරණය, දැනුම්වත් කිරීම, ඊට අදාළ ජාතික ප්‍රතිපත්ති සම්පාදනයේදී සහාය වීමත් අන්තර්ජාතික වශයෙන් මත් උවදුර මැඬලීමේ නිරත ආයතන සමඟ දත්ත හුවමාරු කර ගැනීම ආදී දේශීය, අන්තර්ජාතික වශයෙන් පැති ගණනාවකට ඒ මෙහෙවර පැතිරෙනවා. එක් එක් සෑම රටකම අන්තරායකර ඖෂධ ජාතික මණ්ඩලය ස්ථාපිතයි. ඒ සියල්ල ඊට අදාළ අන්තර්ජාතික ප්‍රධාන ආයතනයත් සමඟත් සම්බන්ධයි. ඒ අනුව ලෝකයේ මතු වන අලුත් මත් ප්රවණතා පිළිබඳ ඒ මඟින් රට රටවල අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩල දැනුම්වත් කරනවා. ඒ සහ සම්බන්ධතා ඉතා වැදගත්. අනෙක සෑම රටකම පාහේ මේ ගැටලුව තියෙනවා. ඒත්, එක් එක් රටට එය බලපාන විදිය වෙනස්.
ඒත් අධිකරණ කටයුතුවලදී මෑතක් වනතුරුම හඳුනා නොගත් ඒවා විදියටනේ සමහර විෂ මත්ද්‍රව්‍ය හඳුන්වා දුන්නේ?
මුල් කාලයේදී සමහර මත්ද්‍රව්‍ය සඳහා නීති තිබුණෙත් නැහැ. හැබැයි 2022 වසරේ පටන් නීති සංශෝධන, විෂ වර්ග අබිං හා අන්තරායකර ඖෂධ පිළිබඳ පනතට ඇතුළත් කෙරුණා. ඒ අනුව අලුතෙන් විෂ මත්ද්‍රව්‍ය 500ක් පමණ ඇතුළු කිරීමත් සමඟ ඒ තත්ත්වය බොහෝ දුරට දැන් මගහැරී තියෙනවා.
තවදුරටත් විස්තර කරනවා නම්, ඈත අතීතයේ අබිං සමාජයට ආ විදිය උදාහරණයකට ගමුකෝ. ඉන් පසුව හෙරොයින්, මෝෆීන් ආදී විෂ මත්ද්‍රව්‍ය සමාජයට එන්න ගත්තානේ. උත්තේජන ආදී විවිධාකාරයෙන් ජාවාරම්කරුවන් අලුතෙන් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයටත්, බෙදාහැරීමටත් පෙලඹෙනවා. ටොෆි, පැණි බීම ආදී වශයෙන් වුණත් මේවා සමාජගත කරන්නට ජාවාරම්කරුවන් උත්සාහ දැරිය හැකියි. ඒ වගේම ජාතික හා අන්තර්ජාතික වශයෙන් ඒ එකිනෙක මර්දනය, නිවාරණයට කටයුතු කෙරෙනවා. එසේම නීති සම්පාදනය කෙරෙනවා. රාජ්‍ය ආයතනයක් වශයෙන් ඒ රාජ්‍ය ප්‍රතිපත්ති අනුව අඛණ්ඩව විධිමත්ව අප ඒ ජාතික මෙහෙවරෙහි නිරතව සිටිනවා.
හරි, එහෙම නම් කොහොමද ඔය වැඩේ කරන්නේ?
ප්‍රධාන ක්‍රම දෙකකින්. ඒ ඉල්ලුම, සැපයුම පාලනයෙන්. ඒ අරමුණු සාර්ථක කර ගැනීමට අදාළව නීති සම්පාදනයේදී අපි දත්ත, උපදෙස් දෙනවා. බෙදාහැරීමේ ජාල අඩපණ කිරීම එහිදී ඉතා වැදගත්. ඉල්ලුමක් ඇතිවීමත් සමඟයි සමාජයට මත්ද්‍රව්‍ය එන්න පුළුවන්කම තියෙන්නේ. ඒ අනුව ඉල්ලුම අඩුවන තැනට කටයුතු කිරීම අපේ ඉලක්කයක්. එතැනදී අප මුලින් මත් ජාවාරම්කරුවන්ගේ අරමුණු හඳුනාගෙන සිටිය යුතුයි. දුම්වැටියේ සිට සෑම මත්ද්‍රව්‍යයක්ම අලෙවියේ නිරත සියල්ලන්ම අලුතෙන් ජනතාව ඒවා පානයට ඇබ්බැහි කරවා ගැනීමට උත්සාහ දරනවා. ඊට විවිධ උපාය යොදනවා. ඉතින් මේ විෂ ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමට කලින් ජනතාව ඒ පිළිබඳ දැනුම්වත් කර ඉන් මුදවා ගැනීම නිවාරණය වශයෙන් ප්‍රධාන වශයෙන් හඳුන්වනවා. ඒත් ඒ කාර්යය අපට, පොලිසියට, සෞඛ්‍ය අමාත්‍යාංශයට එහෙමත් නැතිනම් රාජ්‍ය අංශයට තනිව කළ නොහැකියි. ප්‍රජා සහයෝගිත්වය එහිදී අත්‍යවශ්‍යයි. අපි ඒ සඳහා දීපව්‍යාප්ත දැනුම්වත් කිරීම් කරනවා. ප්‍රජා සංවිධාන එතැනදී ඉතා වැදගත්. අපි පුනරුත්ථාපන කාර්යයේ නිරතයි. දිවයින පුරා මධ්‍යස්ථාන ගණනාවකදී ඒ කටයුතු වෙනුවෙන් වාර්ෂිකව විශාල මුදලක් රජය වැය කෙරෙනවා. මතට ඇබ්බැහිවූවන්ට ප්‍රතිකාර කිරීමේදීත් එය එසේමයි.
හැබැයි ඔය විෂ ජාතිවලට ඇබ්බැහි වූ අය නම් නොයෙක් කතා කියනවා?
ඒත් එතැන කිසිම සාධාරණ හේතුවක් නැහැ. අනෙක අපේක්ෂා කරන කිසිම දෙයක් මත්ද්‍රව්‍යවලින් ලැබෙන්නේත් නෑ. සමහරු ප්‍රශ්න අමතක කරන්න ඔය විෂ බොනවයි කියනවා. හැබැයි ඒ නිසා ගැටලු තවත් වැඩි වෙන එකයි වෙන්නේ. ඇඟට මත්ද්‍රව්‍යයක් ඇතුළු කර ගන්නා මුල්ම මොහොතේ ඉඳන්ම සිරුර ඒ අනවශ්‍ය විෂ රසායනිකය ඉවත් කරන්න ගන්නවා. දිගින් දිගටම සිරුර ඊට වැඩි වෙර වීර්යයක් දරනවා. සතුරකු විදියටයි විෂ මත්ද්‍රව්‍ය අපේ සිරුරෙන් හඳුනා ගන්නේ. හිස කරකැවිල්ල, ඔක්කාර ගතිය ආදී ඉන් ඇඟට දැනෙන බලපෑම අවම කර ගන්න ඇඟ එතුළින්ම පුදුමාකාර වෙහෙසක් ගන්නේ. ඒත් සමහරු ළාමක කල්පනා, පෞරුෂ ගැටලු ආදිය නිසා කලක් තිස්සේ මේ විපත අත්කර ගනිමින්, විනාශයේ ඇලී ගැලී සිටිනවා.
මෙහෙමයි, අපේ සිරුර තුළත් එක්තරා ක්රියාවලියක්නේ කෙරෙන්නේ. ඒ තුළ කොටසින් කොටස තුළ වුණත් ඒක එහෙමමනේ. ඉතින් මොළය හා ස්නායු පද්ධති ආශ්‍රිතවත් තව තවත් රසායනික 10,000ක් පමණ වෙනවා. අපට දුක, සතුට පාලනය, මතකයන් ආදී හැඟීම් ඇතිවන විට ඒවායේ ක්රියාකාරීත්වයේ අඩු වැඩිවීම් වෙනවා. රසායනික සමතුලිතතා වෙනස් වෙනවා. ඒ විකෘති තත්ත්වයක්. විකෘති, උන්මත්තක ගති ඒ අනුව ඇතිවිය හැකියි. සැබැවින්ම, එය සිරුරට ඉතා හානිකරයි. ස්නායු ක්‍රියාකාරීත්වය අඩපණ කරනවා. ඇත්තෙන්ම වෙන්නේ ඒ වගේ අසනීප, අඩපණවීම්. ඒ මිසෙක මත්ලෝලීන් බලාපොරොත්තු වන කිසි දෙයක් ඒ තුළ නැහැ.
ඒක එහෙම වුණත් සැලකිය යුතු පිරිසක් ඒ උගුලේ හිරවෙලා නේද?
ඔව්. ඒ අය පුනරුත්ථාපනය කිරීම රටක් වශයෙන් පැවරෙන ජාතික වගකීමක්. ඒ උදෙසාත් අපි උර දෙනවා. ඒක දෙයාකාරයි. කායික ප්‍රතිකාර වගේම මානසික වශයෙනුත් ඒ අය නඟාසිටුවීමේ කාර්යය විය යුතුයි. හැබැයි වෛද්‍ය ප්රතිකාරමය වශයෙන් 20%ක් තරම් සහායක් තමයි ලැබෙන්නේ. ඒ අනුව 80%ක්ම තියෙන්නේ, මතට ඇබ්බැහි වූ අය හිතින් හදාගත්ත මනස්ගාත. ඒ අය ඒක අදහන එක නිසා තමයි ඒ පාරාවළල්ලෙන් ඒ අයට මිදෙන්න බැරි වෙලා තියෙන්නේ. ඒ තුළ සතුට ඇතැයි මත්ලෝලීන් විශ්වාස කරනවා. ඒත් ඒක වැරදියි. ඒ වග ඒ අයට ඒත්තු ගැන්වුණාම ඔවුන්ම මේ මානසික ඇබ්බැහියෙන් මිදෙනවා. එහෙම වුණාම අමුතුවෙන් ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේත් නැහැ. තවදුරටත් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය ඒ මෙහෙවරේ නිරතව සිටිනවා.
මොකක්ද මේ කියලා කුකුසක් ජනතාව තුළ තියෙනවා?
විවිධ විෂ, උත්තේජන, රසායනික ආදී විවිධ ද්‍රව්‍ය 25ක් පමණ ඒ අතින් හඳුනාගෙන තියෙනවා. ඒ සමහරක් විවිධ නිෂ්පාදන සඳහා අඩු වැඩි වශයෙන් යොදා ගැනෙනවා. ඒ අනුව ඒ ද්‍රව්‍ය ආනයනයට, සීමා හා නියාමනයන්ට යටත්ව ඇතැම් ආයතනවලට අවසර තියෙනවා. හැබැයි, ඒ ද්‍රව්‍ය කිසි විටෙකත් අන්සතු හෝ පිට කිරීමට අවසර නැහැ. ඒ පිළිබඳ විපරම් කිරීමේ අප ඇතුළු රාජ්‍ය ආයතන කටයුතු කරනවා. එසේම, අප ආයතනය සතු මාදක රසායනාගාරයෙන් වන ජාතික සේවාව ගැනත් කතා කළ යුතුමයි. ඇත්තෙන්ම, දියුණු තාක්ෂණය යටතේ මත්ද්‍රව්‍ය භාවිතය, ඇබ්බැහිය රුධිරය, කෙස් ආදිය පරීක්ෂා කිරීමෙන් වුවත් පුළුවන්.
විශේෂයෙන්ම, මත්කුඩු සාම්පල ආදිය පරීක්ෂා කර බැලීමේදී ඒවා ජාවාරම්කරුවන් අධික ලාභ ඉපයීමේ බලාපොරොත්තුවෙන් විවිධ අපද්‍රව්‍ය කළවම් කරමින් විකුණන බව පැහැදිලියි. මත්කුඩු සාම්පලවලින් 90%ක් පමණ එසේයි. ඒ ද්‍රව්‍ය බීලා තමයි මත් වෙනවා කියලා හුඟ දෙනකු මනස මුළාකරගෙන ඉන්නේ. මත්කුඩු ෂික් එක හැඳුණු අය දකින්න අඩුත් ඒ නිසානේ.
ඔබ ආයතනයට මානව සම්පත ප්‍රමාණවත්ද?
අපි සිටින පිරිසෙන් උපරිම කාර්යක්ෂමතාවක් ලබනවා. පොදුවේ පොලීසිය, සෞඛ්‍ය අංශ ආදී රාජ්‍ය ආයතන ආදිය සමඟත් අප සම්බන්ධයි. එසේම, දිවයින පුරා සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම අප ආයතනය මඟින් පුහුණුව ලැබූ, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සඳහා වන ප්‍රතිකාර හා පුනරුත්ථාපන නිලධාරින් සේවයේ නිරතව සිටිනවා. නිවාරණ කාර්යභාරයේදීත් ඒ අය විශාල වැඩ කොටසක් කරනවා. මවුපියන්ට යම්හෙයකින් දරුවන්ගේ චර්යාවේ වෙනස්කම්, මතට ඇබ්බැහි වී ඇතිදැයි සැක හිතෙන අවස්ථා ආදියේදී ඒ නිලධාරින්ගේ සහාය ලැබිය හැකියි. මෙරට මතට ඇබ්බැහිවූවන් බොහෝ විට ඒ ඒ පවුල් නඩත්තු කරන්නන් වෙනවා. ඒ අයගෙන් යැපෙන්නන් මේ නිසා බෙහෙවින් පීඩාවට පත් වෙනවා. ඉතින්, ඒ ඒ පවුල් මුල් කරන් මේ අවදානම ගැන වටහා දෙමින් ඉන් ඇබ්බැහිකරුවන් මුදවීමට වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. එය ඉතා ඵලදායකයි. ‘සතුටු තෘප්තිමත් පවුලක්’ ඒ අනුව ක්‍රියාත්මක වැඩසටහනක්. දරුවන් ආදී ඇබ්බැහිකරුවන්ගේ ආදරණීයයන් හරහා ඒ පණිවුඩය ගෙන යෑම පහසුයි.
ඇතැම් ජනමාධ්‍ය වාර්තා කිරීම් හරහාත් අනවශ්‍ය ප්‍රචාරයක් ලැබෙනවාද?
එහෙම අවස්ථා අපි දැකලා තියෙනවා. ඊට කලින් අපි නිවාරණ වැඩපිළිවෙළට මාධ්‍ය දෙන දායකත්වය අගය කළ යුතු වෙනවා. විශේෂයෙන්ම 2022 වර්ෂයේදී පාසල් සිසුන් ඉලක්ක කරමින් පැවැති ජාවාරම් අඩපණ කිරීමට ලද සහායත් සුවිශේෂයි. නැවත මාධ්‍ය වාර්තා දෙසට හැරුණොත්, නිතර ඍණාත්මක පැත්ත මතු කරමින් මේ විනාශය ඒත්තු ගැන්වීමට කටයුතු කරනවා නම් සමාජයට හානිකර දේවල් මාධ්‍යවලින් ජනතාවට යන්නේ නැහැ.
මෙරට ප්‍රතිපත්ති සම්පාදනයේදී ඔබලාගේ අදහස්, දත්ත සලකා බැලෙනවාද?
ඔව්. අපි නිතර ඊට සූදානමින් සිටින්නේ. පාර්ලිමේන්තු කමිටු ආදියේ අවධානයටත් අපි අපේ වාර්ෂික වාර්තා, දත්ත ඉදිරිපත් කරනවා. ඒ අනුව ඉදිරි පියවර ගත් අවස්ථා බොහොමයක් පෙන්වා දෙන්නත් පුළුවන්.
අපි දැන් 1927 කෙටි දුරකතන සේවාව ගැන
කියමුද?
ඒ හරහා ගාස්තුවලින් නිදහස්ව ජනතාවට මතට ඇබ්බැහි වී සිටින අයව යහමඟට ගැනීමට අදාළ උපදෙස්, තොරතුරු ලැබිය හැකියි. එසේම, මේ වන විට අප එහි සේවා පුළුල් කර තියෙනවා. නිවාරණ වැඩසටහන් අවශ්‍ය විට ඊට අදාළ සම්බන්ධීකරණ කටයුතු ඉටු කර ගැනීමටත් මේ හරහා පුළුවන්. ඉතින්, පාසල් විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට වැඩිදුරටත් විමසා දැන ගතයුතු කරුණු මේ අංකය හරහා ලැබිය හැකියි.
අපි නැවත මුලට යමු. මත්ද්‍රව්‍ය නිසා රට විනාශයි. තවදුරටත් මේක ආර්ථිකයටත් මරු පහරක්?
සත්තකින්ම, ඉතා විශාල ජාතික ධනයක් මේ නිසා වැනසෙනවා. මෙරට ඉතා කුඩාම ගමක් නිදසුනට ගත්තොත්, ඒ ගමෙන් පමණක් වාර්ෂිකව අඩුම තරමින්, රුපියල් කෝටි 6ක් මත් ද්‍රව්‍ය නිසා නැසී, වැනසී යනවා. මේ අනුව රටේ දුප්පත්කම එක්ක මත්ද්‍රව්‍ය එකට බැඳී ඇති වග පැහැදිලියි. එසේම, අනීතික, ජාවාරම් විදියටයි විෂ මත්ද්‍රව්‍ය පිටරටින් මෙරටට එන්නේ. ඒ වෙනුවෙන් ඩොලර් පිටරටට ගෙවන්නේ. මේ අපි විදේශ විනිමය අර්බුදයක සිටින කාලයක්. ඒ අනුව බැලුවත් අපේ රටේ දියුණුව මත්ද්‍රව්‍ය වළක්වන විදිය පැහැදිලියි.
අපි දුම්වැටිය ගැනත් කතා කළ යුතුමයි?
ඔව්. දැන් ඒ ඇබ්බැහියේ අඩුවක් දකින්න පුළුවන්. ඊ සිගරට් කියලා වසංගතයක් දක්නට ලැබුණත් එයත් නීති විරෝධී දෙයක්. අවුරුදු 21ට අඩු තැනැත්තන්ට ඒවා අලෙවිය තහනම්. ඒ පිළිබඳත් ප්‍රචාරය තහනම්, එය එසේ තිබියදී විවිධ උපක්‍රම එම සමාගම් දරන බව පෙනෙනවා. ඒ පිළිබඳ උගත්, බුද්ධිමත් ජනතාව අවදියෙන් සිටිය යුතුයි. දරුවන්ටත් එහි විනාශයේ සැබෑ තතු කියා දිය යුතුයි. ඒ සඳහා දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) දක්වන මෙහෙවරත් ප්‍රශංසනීයයි.
