ඩොලරය බැහැලා ඉවරද ?

Date:

මහ බැංකුව විසින් මාර්තු මාසය ඇතුළත වෙළඳපොළෙන් ඩොලර් මිලියන 715.1ක් මිල දී ගෙන තිබෙනවා. මෙය ඉතිහාසයේදී මහ බැංකුව විසින් මාසයක් තුළ මිල දී ගත් වැඩිම ඩොලර් ප්‍රමාණය විය යුතුයි.

පසුගිය (2023) වසර අවසන් වන විට මහ බැංකුව සතුව ඩොලර් මිලියන 4,392ක විදේශ සංචිත තිබුණත් මහ බැංකුව විසින් ඩොලර් මිලියන 6,081ක විදේශ ණය ගෙවිය යුතුව තිබුණා, මේ අතර වෙනස ඩොලර් මිලියන 1,688ක්.

මෙම වසර තුළ මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 1,200ක් මිල දී ගෙන තිබෙනවා.

ජනවාරි – ඩොලර් මිලියන 245.3

පෙබරවාරි – ඩොලර් මිලියන 239.5

මාර්තු – ඩොලර් මිලියන 715.1

එකතුව – ඩොලර් මිලියන 1199.9

මේ අනුව, මාර්තු අවසාන වන විට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 5,592 දක්වා වැඩි විය යුතු වුවත් ඇත්තටම වැඩි වී තිබෙන්නේ ඩොලර් මිලියන 4,951 දක්වා පමණයි. ඒ අනුව, මෙම ගණන් දෙක අතර වෙනස වන ඩොලර් මිලියන 641 හෝ ඊට ආසන්න මුදලක් මහ බැංකුවේ ණය ගෙවීම සඳහා යොදවා ඇති බව පැහැදිලියි.

ඉහත ප්‍රමාණයට සමාන ණය මුදලක් මහ බැංකුව විසින් ආපසු ගෙව්වේනම් මේ වන විට මහ බැංකුවේ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 5,440 දක්වාත් ශුද්ධ විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 488 දක්වාත් අඩු වී තිබිය යුතුයි. IMF තෙවන වාරිකයද ලැබෙන නිසා, එම අඩුවද මේ (2024 අප්‍රේල්) මාසය තුළ ආවරණය වනු ඇතැයි සිතිය හැකියි.

රජය විසින් මෙම වසර අවසන් වන තුරු වාහන ආනයනයට ඉඩ දෙන බවක් පෙනෙන්නට නැහැ. මෙය දේශපාලනික තීරණයක්. දේශපාලන තීරණ බොහෝ විට හසුරුවනු ලබන්නේ ජනමතය විසිනුයි.

ආර්ථික අර්බුදය අවස්ථාවේ උද්ධමනය 70% මට්ටමට ගියත් ඉන් පසුව 5% සීමාවෙන්ද පහළට වැටුණා. මේ හේතුවෙන් ජනමතයේ යම් වෙනසක් සිදුවුවත්, විශාල වෙනසක් සිදු වූයේ නැහැ. බොහෝ දෙනෙකුගේ චෝදනාව හා කණස්සල්ලට හේතුව වූයේ උද්ධමනය අඩු වුවද ඉහළ ගිය බඩු මිල අඩු නොවීමයි.

උද්ධමනය ඉහළ යද්දී යම් පිරිසකගේ, විශේෂයෙන්ම භාණ්ඩ හෝ සේවාවන් නිපදවන අයගේ, ආදායම්ද ඉහළ යනවා. උද්ධමනය අඩු වූ විට එම ආදායම්ද එසේ ඉහළ ගිය මට්ටමෙන් පහළට වැටෙන්නේ නැහැ. එහෙත්, බඩු මිල අඩු වුවහොත්, විශේෂයෙන්ම රටේ නිපදවන බඩු වල මිල අඩු වුනොත්, භාණ්ඩ හෝ සේවාවන් නිපදවන අයගේ ආදායම්ද පහත වැටෙනවා.

උද්ධමනය අඩු වුවද ඉහළ ගිය බඩු මිල අඩු වී නැති බව චෝදනාවක් සේ ඉදිරිපත් කරන්නේ මාසික වැටුප් ලබා ගන්නා අයයි. ඔවුන්ගේ වැටුප් උද්ධමනයට අනුරූපව ඉහළ ගියේ නැහැ. ඊට අමතරව ඒ අතරින් වැඩි වැටුප් ලබන අයට බදු ලෙසද වැඩි මුදලක් ගෙවන්නට සිදු වී තිබෙනවා. මෙම පිරිස රටේ ජනමතය හසුරුවන, දේශපාලන බලයක් ඇති පිරිසක්. ඒ නිසා, දේශපාලනය හරහා ප්‍රායෝගිකව ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටු වෙනවා.

ඩොලරයක මිල පහත වැටෙන්නට සැලැස්වීමෙන් ආනයනික බඩු මිල පහත දැමිය හැකියි. වාහන ආනයනය කල් දැමීමෙන් ඩොලරයක මිල දිගින් දිගටම පහත වැටෙන්නට ඉඩ සැලැස්විය හැකියි. මහ බැංකුව විසින් ඩොලර් මිලියන 715.1ක අති විශාල විදේශ විණිමය ප්‍රමාණයක් වෙළඳපොළෙන් ඉවත් කර ගැනීමෙන් පසුවද මාර්තු මාසය තුළ ඩොලරයක මිල රුපියල් 9කින් පමණ පහත වැටී තිබෙනවා.

විශාල ලෙස ඉහළ ගොස් ඇති සංචාරක ඉපැයීම් හා ශ්‍රමික ප්‍රේෂණ ඉදිරි මාස වලදීද ඒ ආකාරයෙන්ම ගලා නොඒමට හේතුවක් නැහැ. ඒ නිසා, වාහන ආනයනයට ඉඩ දෙන තුරු ඩොලරයේ ගමන පල්ලමටම තමයි. මෙය ආණ්ඩුවට දේශපාලනික ලෙසද වාසිදායක නිසා මැතිවරණ පැවැත්වෙන තුරු ඔය ප්‍රවණතාව වෙනස් නොවෙන්න පුළුවන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...

සැලකිලිමත් වන්න – තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

ආපදා වන්දි ලබා දීමේ ප්‍රගතිය මෙන්න. දිස්ත්‍රික් ලේකම්වරු සහ ජනාධිපති අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වයෙන්...

දකුණු බ්‍රසීලයේ ගුවයිබා නගරයේ දැඩි සුළං හේතුවෙන් Liberty replica ප්‍රතිමාවේ අනුරුවක් කඩා වැටේ!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):   දකුණු බ්‍රසීලයේ ගුවයිබා...