පළමුදා හවසත් පීන පීනා උන්න
පොකුණින් බෝතලේකට වැටුණා..
ඒ බෝතලෙන් බස් එකේ නැඟ
පෙරේදා ආවා ඉස්කෝලෙකට..
ඒ ඉස්කෝලයෙදි
රවුම් වීදුරු ටැංකියකට..
ටැංකියෙන් ළමයෙකු අතේ විද්‍යාගාරෙට
ළමයින්ට ඉගෙන ගන්නට..
පරීක්ෂණ,
නිරීක්ෂණ,
උපකල්පන,
නිගමන අවසානයේ
තව නූලයි තුන් කාලෙන්
ඉස්කෝල මායිමේ
කුඹුරු කාණුවකට..
තවත් ජීවත් වෙන්න
පිං තිබුණු හින්දා
ආපහු ටැංකියෙන් බෝතලේට…
වෙන කාගෙදෝ අතේ
ආපහු බස් එකේ නැඟ
ඊයෙ ආවේ වෙන ගෙදරකට
ඒ ගෙදරදිත් ආපහු බෝතලේකට..
දවස් දෙකකින් කන්න ලැබුණා
බොහොම යහමින් කුසත් පිරුණා..
පස්සෙන්දා මද්දදහන වෙද්දී
විළිරුදාවෙන් කයම පෙළුණා
පැටවුණුත් හතරක්ම ලැබුණා
මගේ හිත සතුටින්ම පිරුණා..
ඒත් නැහැ උන් පීනුවේ..
අනේ උන් මැරුණා.
ඒත් උන් මැරුණයි
නැහැ නෙව උන්ට ගණනක්..
උන් කොහොමදැයි දන්නේ
පැටවුනුත් කුස තියාගෙන මම
වින්ද දුක මෙතුවක්..
පිළිහුඩු හොටෙන් බේරෙන්නට,
අව් රැසින් හැංගෙන්නට,
මාවම ගිළින්නට එන
අනිත් මාළුන්ගෙන් බේරෙන්නට..
ගැසු බඩ පිණුම්, යටි කරණම්
කීයක් දැයි, කොහොමදැයි
උන් දන්නවා වෙද?
මාළු අපගෙත් හිත් රිදෙනවයි
උන් දන්නවා වෙද?
ගප්පින්ට වුණත් හිතක් තියනවද කවුද දන්නේ…
~ ජයන්ති බෝපෙ ගම්මන
RN