කන්නන්ගර මහතාගේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට තමා කටයුතු කරන විට එය පවා උපහාසයට නැගීමට කටයුතු කරන බවත් බස් දෙනවිට බස් මෑන් කියන බවත් තමා බෙදනවා යැයි බනින අයට කියන්න ඇත්තේ තමා බෙදන්නේ සිගරට් හෝ මත්පැන් හෝ මත්ද්‍රව්‍ය නොව පරිගණක, මුද්‍රණ යන්ත්‍ර සහ ශබ්දකෝෂ බවත් එම නිසා බුද්ධිමත්ව සිතන ලෙසත් එක වරක් රැවටී රට විනාශ වී ගිය නිසා මේ වසරේත් සෝබන කතාවලට රැවටී ඇන්දවිලිවලට සෝබනයට වහල්වෙනවාද කියා ජනතාව බුද්ධිමත්ව සිතිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පාසල් පද්ධතිය නවීකරණය වන විට සජිත් ප්‍රේමදාසගේ විජාතික අධ්‍යාපන ක්‍රමය පරදවමු, ඉංග්‍රීසි භාෂාවට තොරතුරු තාක්ෂණයට මුල් තැන ලබා දීම හෙළා දකිමු, පාරට බහිමු, වර්ජනය කරමු යැයි ජනතාව, ළමුන්, ගුරුවරුන් හා විදුහල්පතිවරු පාරට බැස්සවිය හැකි බවත් මෙසේ ජනතාවට පාරට බස්සන කයියනායකයන්ගේ දරුවන් ගියේ ජාත්‍යන්තා පාසල්, පෞද්ගලික පාසල්, විදේශ විශ්වවිද්‍යාවලට බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
එමෙන් ම අද මේ රටේ සම හරක් කුහකයෝ හා ඊර්ෂයාකාරයෝ ලෙස තමන්ගේ දුවා දරුවන්ට ඉංග්‍රීසි භාෂා නවීන තාක්ෂණය ලබා දී සුහුරු පුරවැසියන් කිරීමටත් රටේ 41 ලක්ෂයක් පාසල් දූදරුවන් පැරණි ක්‍රමයේ යල්පැනගිය ගතානුගතික ක්‍රමවේදයේ සිරකරුවන් බවට පත් කර අධ්‍යාපනයේ බෙදීමක් ඇති කිරීමටත් උත්සාහ කරන බවත් මොවුන් අන්ත කොමියුනිස්ට්වාදී, සමාජවාදී. පැසිස්ට්වාදී අය බවත් මොවුන්ට රැවටෙන්න අවශ්‍ය අය රැවටුනොත් නව බංකොලොත් භාවයක් රටේ නිර්මාණය විය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 168 වැනි අදියර යටතේ හම්බන්තොට මුල්කිරිගල වීරකැටිය මණ්ඩාඩුව මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාවේ දී කටුවන බලප්‍රදේශයේ දුෂ්කර ජීවිතයක් ගත කරන ආබාධිත පුද්ගලයන් දෙදෙනකුට රෝද පුටු ද්විත්වයක් මෙන්ම නර්තන කණ්ඩායම් සදහා ඇදුම් ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.
මගේ බෙදිල්ල ඔය කුහකයන්ට නවත්වන්න බැහැ
කුහකයන්ට තමාගේ බෙදිල්ල නතර කළ නොහැකි බවත් ඔවුන්ට මෙවැනි සංවර්ධන ක්‍රියාදාමයක් විපක්ෂයේ සිට සිදු කළ නොහැකි බවත් ඔවුන්ට ලැබෙන මුදල් ඔවුන්ගේ පවුල්, නෑදෑයන්ට සහ ධනවාදී ගජමිතුරන්ගේ සුඛවිහරණය වෙනුවෙන් යොදා ගන්නා නමුත් සමගි ජන බලවේගය එවැනි දේවල් සිදු නොකරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
රට ගොඩගන්න නම් විය යුත්තේ මෙයයි
පවතින අමාරු තත්ත්වයෙන් රටත් ජනතාවත් ගලවා ගත හැකි එකම ක්‍රමය වන්නේ බොරුව, වංචාව, ඇන්දවිල්ල, මුසාව මුලාව නොමැතිව ඇත්ත එළිපිටම කතා කර සත්‍ය හඳුනා ගෙන යථාර්ථය අවබෝධ කර ගෙන කටයුතු කිරීම බවත් ඒ සඳහා ලක්ෂ 220ම මහන්සි විය යුතු බවත් හොරකම නතර කර වංචාව දූෂණය රාජ්‍ය දේපල හා රාජ්‍ය සම්පත් මංකොල්ලකෑම වහාම ජන සමාජයෙන් සහ දේශපාලන රටාවෙන් ඉවත් කළ යුතු බවත් හොරකම් කර කර රටක් ගොඩනැගිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වහලුන් වෙලා සිටියා ඇති
එසේම දූදරුවන් ඇතුළු පුරවැසියන් වහල්භාවයෙන් මිදිය යුතු බවත් දේශපාලනඥයන් ඉදිරියේ දෙක නැවී බැගෑපත්වීම, ගරු නාම ලබා දීම්වලින් වැළකිය යුතු බවත් මේ යන අධ්‍යාපන ක්‍රමය හරහා සිදු වන්නේ 41 ලක්ෂයක් දූදරුවන් අනාථ වීම බවත් මේ ගැටලු ප්‍රභූ සල්ලිකාර පවුල්වල දරුවන්ට නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ව්‍යාජ දේශප්‍රේමීත්වයට රැවටුනා ඇති
ඡන්ද මල්ල වැඩි කර ගැනීමේ අරමුණින් සිංහල පමණයි දමිළ පමණයි කියා ඡන්ද එකතු කර දේශපාලනඥයන් වැජබී, රටේ නායකයන් වී තම දරුවන් පෞද්ගලික පාසල් සහ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යවන බවත් ඇත්ත කතා නොකර බොරු දේශප්‍රේමීත්වයක් පෙන්වීම මගින් සිදුවන්නේ 41 ලක්ෂයක් පාසල් දූදරුවන්ට අසාධාරණයක් කිරීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රටේ පාසල් 10126න් උසස් පෙළ උගන්වන්නේ පාසල් 3000කට ආසන්න සංඛ්‍යාව බවත් ඒ අතරින් විද්‍යා, ගණිත විෂය උගන්වන්නේ පාසල් 1000කට අඩු ප්‍රමාණයකින් බවත් මේ ආකාරයෙන් රටක් ගොඩනැගිය නොහැකි බවත් ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොළ කේන්ද්‍රීයව අපගේ විෂය නිර්දේශ නිර්මාණය විය යුතු බවත් ගැටලුවලට පිළිතුරු සැපයිය හැකි සුහුරු ජන පරපුරක් නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැහැදිලි කර සිටියේය.
පාසල්වලට පරිගණක නැති වුණාට ලොකු නෙළුම් කුළුණක් නම් තියෙනවා
තොරතුරු තාක්ෂණ විප්ලව ගැන නායකයෝ සිංහලෙන් ඉංග්‍රිසියෙන් විවිධ කතා කිව්වත් තොරතුරු තාක්ෂණ විෂය පාසලේ උගන්වන්නේ 6-13 ශ්‍රේණි දක්වා පමණක් බවත් මෙය 1-13 අනිවාර්යෙන් ඉංග්‍රීසි භාෂාවෙන් සිදුවිය යුතු විෂයක් බවට පත්විය යුතු බවත් ඒ සඳහා පාසල්වල භෞතික සම්පත් හා මානව සම්පත් ඌණතාවට විසඳුම් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පාසල්වල තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න හරිහමන් පරිගණක සහ අනෙකුත් උපාංග පහසුකම් පාසල්වල නොමැති වුවත් කිසිම ප්‍රයෝජනයක් නොමැති නෙළුම් කුළුණක් නිර්මාණය කළ බවත් නෙළුම් කුළුණක් වෙනුවෙන් කළ ආයෝජනයෙන් සෑම පාසලකම සෑම පන්ති කාමරයක්ම සුහුරු පන්ති කාමරයක් බවට පත් කළ හැකි බවත් පාලකයන් මෙවැනි අනුවණ තීන්දු තීරණ ගැනීමට වැඩිහිටි ජනතාව ද වගකිව යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිහිපත් කළේය.
ආයු බොහෝ වේවා මහරජාණෙනි නොව ආයු බොහෝ වේවා පුරවැසියානෙනි
කාලයක් ආයු බොහෝ වේවා මහරජාණෙනි කිව්ව නමුත් මේ රටේ මහරාජාණන්ලා නොමැති බවත් සිටිය යුත්තේ තාවකාලික බාරකරුවන් බවත් මේ තාවකාලික බාර කරුවන් කටයුතු කළ යුත්තේ ආයු බොහෝ වේවා පුරවැසියානෙනි යනුවෙන් වුවත් පසුගිය කාලයේ සිදු වූයේ මෙහි අනෙක් පැත්ත බවත් ඒ නිසා ලක්ෂ 220 අනාථ වූ බවත් තමාගේ සහ තමාගේ කණ්ඩායමේ ඒකායන ප්‍රාර්ථනාව ‘ආයු බොහෝ වේවා ලක්ෂ 220 පුරවැසියානෙනි’ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
RN

