කොළඹ LNW:ගෙවුණු මැයි දින සැමරුමේදී මෙරට දේශාපලන වේදිකාවන්ගේ උත්කර්ෂය දැකගන්නට හැකි වුණා.
වැඩ දිනය පැය 08කට සීමා කරන ලෙස ඉල්ලා 1886 මැයි මාසයේදී ඇමරිකාවේ චිකාගෝ නුවර හේමාකට් චතුරස්‍රයේදී කම්කරුවන් ගෙනගිය අරගලය සිහිකිරීම පිණිසයි මැයි 01 දා ජාත්‍යන්තර කම්කරු දිනය සැමරෙන්නේ.
දේශපාලන පක්ෂ වෘත්තීය සමිති ප්‍රමුඛ වැඩකරන ජනතාව ඊට ඉතා උද්යෝගයෙන් සම්බන්ධ වන ආකාරය සෑම වසරකම පාහේ දැකගන්නට හැකියි.
කෙසේවෙතත් මෙවර එය ශ්‍රී ලංකා භූමියට අතිශය වැදගත් දිනයක් වූයේ ජනතාව අභිමුඛව පවතින ජාතික මැතිවරණ අපේක්ෂාව සමඟින්.
ඒ අනුව විශේෂයෙන් දේශපාලන පක්ෂ විසින් සිදුකරන ලද මැයි දින සැමරුම් පැහැදිලි ලෙසම ඉදිරි ජාතික මැතිවරණ ඉලක්ක වන ආකාරය දැකගැනීමට හැකි වුණා.
ආණ්ඩු පක්ෂය විසින් එනම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මැයි දිනයේදී සුවිශේෂී සටහනක් තබමින් කොටගලදී ලංකා කම්කරු කොංග්‍රසය විසින් පැවත්වූ මයි දින රැළියට සහභාගී වෙමින් වතුකම්කරුවාගේ දෛනික වැටුප 1700දක්වා ඉහළ නැංවීමට කටයුතු කර තිබෙන බවට ප්‍රකාශ කළා.
වතුකම්කරුවන් පසුගිය කාලය පුරාම සටන් කරමින් සිටියේ දෛනික වැටුප ඉහළ දමාගැනීම වෙනුවෙන්. එහෙත් එම උත්සාහයක අසාර්ථකව පැවති මොහොතකයි ජනාධිපති වික්‍රමසිංහ විසින් මෙලෙස වතුකම්කරු ජනතාව වෙත නව ජවයක් ලබාදෙමින් ඔවුන්ගේ බලාපොරොත්තුව අසලට රැගෙන යාමට කටයුතු කළේ.
වතුකම්කරුවන්ගේ ජය ඝෝෂා හඬ මැද සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි තව තවත් සහන දෙන බවට ප්‍රකාශ කළ වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලැයිම් ගම්මාන බවට පත්කරන බවත් අධ්‍යාපන ගැටළු,වෘත්තීය පුහුණු, තාක්ෂණය ඇතුළු සියල්ල වතුකම්කරුවන් වෙත ලබා දීමට රජය කටයුතු කරන බවටයි අවධාරණය කළේ.
සිය දේශපාලන ගමන් මඟ තුළ විවිධ අවස්ථාවන්හි වතුකම්කරු ප්‍රජාවේ ගැටළු විසදමින් ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට කටයුතු කළ බවත් දැන් ඇත්තේ දියුණුව ලඟා කරගැනීම බවත් එහිදී වික්‍රමසිංහ ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළා.
ලෝකය කෙතරම් දියුණු වුවත් අදටත් අවම ජීවන තත්ත්වයක් හෝ නොමැතිව ජීවත්ව සිටීමට සිදුව තිබෙන මිනිසුන් ලොව ඕනෑ තරම් ඉන්නවා. එහෙත් දිනපතා සිය ජීවන තත්ත්වයන් ඉහළ දමාගැනීමට ජනතාව විවිධාකාරයට මැදිහත්වෙමින් සිටිනවා. යහපත් ජීවන තත්වයක් වෙනුවෙන් ඔවුන් ගෙනයන අඛණ්ඩ අරගලය මැයි දිනය තුළින් සංකේතවත් කෙරෙන අතර විශේෂයෙන් පාලක කණ්ඩායම් විසින් ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීමට මැදිහත්වීම අනිවාර්යයි. ඒ අනුව යමින් ජනාධිපති වික්‍රමසිංහ පැවසූ ආකාරයට අවම වරප්‍රසාද යටතේ ඉතා පිඩාකාරී ජිවිතයක් ගතකරමින් සිටින වතුකම්කරු ප්‍රජාවට සාධාරණය ඉටුවන්නේ නම් ඒ ගැන වූ ප්‍රසාදය මෙන්ම ගෞරවයද හිමි විය යුතුය.
එහෙත් ඒ සම්බන්ධයෙන් මේ වන විට ඇත්තේ විවාදාපන්න තත්ත්වයක්. වතු හාම්පුතුන් එය එලෙස ඉටු කිරීමට නොහැකි බවටයි දැනටමත් ප්‍රකාශ කර තිබෙන්නේ.
තේ කිලෝග්‍රෑමයක් නිෂ්පාදනය කිරීම සඳහා වැයවන අධික පිරිවැය හමුවේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීම කළ නොහැක්කක් බවයි වතු හාම්පුතුන්ගේ සංගමය පවසන්නේ.
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප අප්‍රේල් 30 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 1700ක් දක්වා ඉහළ දැමූ බවට ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇති නමුත් තේ වතු සමාගම් සමග කිසිදු සාකච්ඡාවකින් තොරව එම ගැසට් පත්‍රය නිකුත් කර ඇති බැවින් එම ගැසට් පත්‍රය බලරහිත කිරීම සඳහා වතු සමාගම් අධිකරණය හමුවට යාමට පියවර ගෙන ඇති බවද ඔවුන් අවධාරණය කර තිබෙනවා.
මේ අතර නුවර එළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් පවසන්නේ වතුකම්කරු වැටුප් වැඩිකිරීම ආණ්ඩුව සහ වතු සමාගම් එකතු වී කරන ලද කුමන්ත්‍රණයක් ද යන්න සැකයක් පවතින බවයි.
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩිකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළත් වතු සමාගම් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බැවින් අදාළ වැටුප වතු කම්කරුවන්ට හිමි නොවන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
උපුටා ගැනීම
“1350 යි මූලික වැටුප, ඒගොල්ලො වැඩට එන විදිහ බලලා ඉතුරු 350 ගන්න පුළුවන් කියලානෙ කියන්නෙ. මම හිතන්නෙ සමාගම් කියලා තියෙනවා ඒක අපට දෙන්න බෑ, නඩුවකට යනවා කියලා. නඩුවකට ගියොත් මේක අවුරුදු දෙකහමාරක් අදිනවා. ඒ නිසා අපට සැකයක් තියෙනවා මේ සමාගමුත් ආණ්ඩුවත් එකතුවෙලා මේ කුමන්ත්‍රණය කරනවා කියලා. මොකද, ආණ්ඩුව කියලා ඇති වෘත්තීය සමිති අපට ප්‍රෙෂර් කරනවා, ඡන්දෙත් එනවා, ඒක නිසා මම මේක ප්‍රකාශ කරනවා, හැබැයි ඕගොල්ලො ගිහිල්ලා බෑ කියලා නඩුවකට යන්න කියලා කියලා ඇති කියලා අපට සැකයක් තියෙනවා. එතකොට මේක කම්කරුවාට හම්බුවෙන්නෙ නෑනෙ. ඒක නිසා මේ ගුණ්ඩුවට වෘත්තීය සමිති අහුවෙන්න එපා කියලා අපි කියන්නෙ. අපි කියන්නෙ හැමතිස්සෙම මේ ක්‍රමය මාරු කරන්න ඕනෙ. මේ ක්‍රමය ඇතුළෙ සාමාන්‍ය කම්කරුවාට පඩිය හම්බුවෙන්නෙ නෑ. ඒක නිසා මේ ජනතාවට තේ වතු ඔක්කොම බෙදලා දෙන්න ඕනෙ. අක්කර ගාණ බෙදලා දෙන්න. ඒ කියන්නෙ අයිතියට නෙවෙයි. අයිතිය දෙන්නෙ නෑ කියලා අපිත් දන්නවා. නමුත් ලීස් එකට දීලා තියෙනවානෙ කම්පැනි. ඒ විදියට මේ මිනිස්සුන්ට ලීස් එකට දීලා දළු ගන්න ඕනෙ. එතකොට එකසිය දහයට විතර ගත්තාම ඒගොල්ලොන්ට දෙදාහක් තුන්දාහක් විතර හම්බුවෙනවා. එතකොට කම්පැනියටත් වැඩිවෙනවා ආදායම, මේක රැකගන්නත් පුළුවන් වත්ත. ඒ මොඩ්ල් එකට තමා යන්න ඕනෙ. මම නැවත වතාවක් කියන්නෙ මේ සාකච්ඡා කරන වෘත්තීය සමිති ආණ්ඩුව දාන ගුණ්ඩුවලට අහුවෙන්න එපා”
උපුටා ගැනීම අවසන්
ඒ අනුව මැයි දිනයේ අහ්ලාදය නිමවන්නේ සිය බලාපොරොත්තු ඉටුවීම සම්බන්ධයෙන් වතුකම්කරුවන්ට සම්පූර්ණ විශ්වාසයක් නොමැතිවය. සැකයේ වාසිය හාම්පුතුන්ට ගියොත් වතුකකරුවන්ට ලැබෙන දෙයක් නැත. සුපුරුදු පරිදි දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන ඉන්න වෙන තැනට යළිත් වතුකම්කරුවන් පත්වීම නම් සිදුවන්නකි.
එහෙත් එය එසේ නොවී සැබෑ ලෙසම එකී කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා වන්නේ නම් එය වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මේ මොහොතේ දේශපාලන ටර්නින් පොයින්ට් එකක්ද විය හැකියි.
මේ අතර විශේෂයෙන් දේශපාලන පක්ෂ විසින් සංවිධානය කරන ලද මැයි දින සැමරුම්හි විශේෂත්වයක් වුණේ සියලුම දෙනා පාහේ බලය කේන්ද්‍ර කර ගනිමින් එය සංවිධානය කර තිබීමයි.
විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය දැඩි උත්සහයක් ගනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ ප්‍රතිරූපය සමාජ ගත කිරීමට වන අතර ඔවුන් ඊට කොටගලදී කම්කරු කොංග්‍රසයේ මැයි දින රැළිය යොදාගැනීමද එක්තරා ආකාරයක දේශපාලනික උපක්‍රමයක් ලෙසද දැක්විය හැකියි.
අනෙක් පසින් සමඟි ජන බලවේගය ප්‍රධාන විපක්ෂය ලෙස ඊළඟ බල පෙරළිකරු බවට සමාජයට ඒත්තු ගන්වන්න සියලුම කථිකයින් පාහේ උත්සහ ගත් අතර මෙවර මෙරට මැයි දින සමරුම ජනාධිපතිවරණය කේන්ද්‍රගතව පැවතීම දක්නට ලැබුණි.
ජාතික ජන බලවේගය එහි උපරිම වැර යොදතිබෙන අයුරු දැකගත හැකි වූ අතර ඔවුන් යාපනය අනුරාධපුරය,කොළඹ සහ මාතර කේන්ද්‍ර \කරගනිමින් මැයි දින පෙළපාලි සහ රැළි සංවිධානය කර තිබුණු අතර නායක අනුර දිසානායක මාතර රැළියත් කොළඹ රැළියත් යන දෙකම ඇමතීමද ඔවුන්ගේ බලය අත්පත්කර ගැනීමේ මුඛ්‍ය අරමුණෙහි බලසම්පන්නභාවය පෙන්නුම් කරන්නක් ලෙසද දැකිය හැකියි.
කෙසේවෙතත් මේ සියලු දේ දැන් රටේ ජනතාව දැක අවසන්. පසුගිය මැයි 01 වැනිදා රටේ පැවති දේශපාලන හැසිරීම පමණක් නොව පසුගිය 76 වසරක දේශපාලන හැසිරීමේ සුවිශේෂී අවස්ථා රටේ සාතිශය බහුතරයකට අමතකව යන්නට නම් විදිහක් නැහැ.
බලාපොරොත්තු සහගත සුවබර ආනාගත අපේක්ෂාවක් වෙනුවට තවමත් අප ඉදිරියේ තිබෙන්නේ රට ගොඩ දා ගැනීමේ අවශ්‍යතාවයි.
ජනතාව අපේක්ෂා නොකළ ආර්ථික අර්බුදයත් සමඟ බිඳවැටුණු සමාජ ආර්ථික දේහය තුළ තවදුරටත් ඉදිරියට යා නොහැකි බව නම් දැන් ප්‍රත්‍යක්ෂ වී තිබෙනවා.
ඉතින් දැන් අවශ්‍ය වන්නේ මේ දේශපාලනික හරඹ මැද තවදුරටත් ප්‍රේක්ෂකයින්, අනුගාමිකයින් නොවී තීරකයින් බවට ජනතාව පත්වීම නොවේද?
ආශිකා බ්‍රාහ්මණ