සටහන – රෂිකා හෙන්නායක
මැයි 09, කොළඹ (LNW): හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබු වාරණ නියෝගය ලබන 29 වනදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය අද නියෝග කළ බව වාර්තා වේ.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් කළ පෙත්සම කොළඹ දිසා විනිසුරු සදුන් විතානගේ මහතා ඉදිරියේ අද යළි කැදවනු ලැබිණි.
එහිදි නඩුවට අදාළ විරෝධතා තිබේනම් ගොනුකරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළ දිසා විනිසුරුවරයා නඩුව නැවත ලබන 29 වනදා කැදවන ලෙසට නියෝග කළ බව පැවසේ .
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , උපසභාපති ෆයිසර් මුස්තාෆා ඇතුලු පිරිසක් නම්කර තිබෙන බව සඳහන් වේ.
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ , මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙසින් පත්වීම එම පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනි බවත් ඔහු එම ධුරයේ කටයුතු කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසත් ය.
