අරගලයට තීරණාත්මක ප්‍රහාරය එල්ල වෙලා අදට අවුරුදු දෙකක් කියල මතක් උනේ දැන්. ඒ බේරේ වැවේ පෝස්ට් කීපයක් දැකල. ඒ ප්‍රහාරයෙන් පස්සේ සිද්ද වෙච්ච දේවල් ගැන අපි කවුරුත් දන්නවා.
අරගලයෙන් අපි පැතුවේ ගෝඨා ගෙදර යවන එක විතරක් නෙවෙයි. වෙනත් විකල්ප සමාජ ආර්ථික දේශපාලන පරිවර්තනයක් ඒ ඔස්සේ සිදුකර ගන්න.
නමුත් අද වෙනකොට රට වෙනත් දිශාවක ගමන් කරමින් තියනවා. ඒ සාමාන්‍යයෙන් එක්සත් ජාතික පක්ෂය 1978 පස්සේ ගමන් කරන්න තීරණය කරපු මාර්ගයේ. ඒ ගමන් මාර්ගය ‘එකම ගමන් මාර්ගය’ (The only way forward) ලෙස බොහොමයක් දෙනෙක් දැන් පිළිගනිමිනුත් ඉන්නවා.
වසර දෙකකට පස්සේ අරගලයේ පාඩම මොකක්ද? මම හිතන්නේ අරගලයට පක්ෂව හිටපු අයට වගේම අරගලයට මාරාන්තිකව එරෙහිව හිටපු අයටත් පොදුවේ අරගලය විසින් සපයපු කැඩපතක් තියනවා (mirror stage).
ඒ තමයි ඔය ජාතිකත්ව ධනවාදය පිලිබඳ කතාව, මානුෂික ධනවාදය පිලිබඳ කතාව, සංවෘත ආර්ථික කතාව, දේශීය ආර්ථික කතාව, ආරක්ෂණ ආර්ථික කතාව කතාව වගේ ඔක්කොම කතා පැත්තකට ගිහිල්ල ඇත්තටම තියෙන්නේ නිරුවත් ධනවාදය විතරයි කියන කතාව. පේන මානයක වෙන විකල්පයක් නැහැ කියන එක. විකල්පයක් ගැන අදහසක් තිබ්බත් මේ ලෝකගෝලය ඇතුලේ දැන් සිද්දවෙන දේවල් එක්ක වෙන විකල්පයක් දැනට පැළකරන්න හැකියාවක් නැහැ කියන එක.
අරගලයට කලින් මොනවාහරි එහෙම අදහසක් තිබ්බ උනත් අරගලයෙන් පස්සේ අවුරුද්දක ‘වැල් පාළමේ කොරිඩෝවෙන්’ පස්සේ විශාල විදියකට ඒ අදහස් පස්සට ගියා.
අනික තමයි අපේ අනෙකා වෙච්ච පාලක පංතිය දක්ෂ විදියට පශ්චාත් අරගල අවකාශය ඔවුන්ට අවශ්‍ය විදියට සකස්කර ගනිමින් ඉන්නවා කියන එක. මිනිස්සුත් ඒකට අනුගත වෙමින් ඉන්නවා.
ජාක් ඇලන් මිලර් කියන විදියට කැඩපතක් විසින් අපි නොසිතුව ”රාක්ෂමය ඇත්තක්” අපිට පෙන්නන්න පුළුවන් (ඒක හරියට යථාවක් වගේ දෙයක්).
අපිට මේ පෙනෙන්නේ වෙන කිසිවක් නෙවෙයි ෆ්‍රැන්සිස් ෆුකුයාමා 1992 ලියපු ‘ලිබරල් ධනවාදය අපේ අවසන් ගමනාන්තය’ කියන එක අරගලයෙන් පස්සේ අපේ ඇස් ඉදිරිපිට යම් විදියකට ඇත්තක් වෙමින් යනවා කියන එක (End of History and The Last Man).
රනිල්ගේ වැල් පාළමේ රූපකය හරහා ලාංකික සමාජය මේ මොහොතේ අත්දකිමින් ඉන්නේ ඒක….
මහේෂ් හපුගොඩ