ආණ්ඩුව නැවතත් MCC ගේන්න හදනවා. දැන් රටට නායකයෙක් නෑ, අස්ථාවරයි – විමල් (VIDEO)

0
850

වත්මන් ආණ්ඩුව ඇමරිකානු MCC ගිවිසුම නැවතත් වෙනත් ආකාරයකින් ගෙන ඒමට සූදානම් වන බවත් තමන් ඇතුළු ප්‍රගතිශීලී, දෑහිතකාමී ජනතාව විසින් නිර්මාණය කළ මේ ආණ්ඩුව අවලස්සන ඇමරිකානුවකු විසින් අද බංකොලොත් කරමින් තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

“අද ආණ්ඩුවේ පොහොට්ටු පක්ෂයේ බලකණු පවා තමන්ගෙ තනතුරුවලින් ඉල්ලා අස්වෙනවා මේ තියෙන බල පෙරේතකමට එරෙහිව. ඒ වගේම ඒ ඇමරිකන් හිතවාදීන්ගේ මේ රට කොලනිගත කිරීමේ ක්‍රියාවලියට එරෙහිව. ඉතින් අපි විශ්වාස කරනවා ඉතා බලවත් ක්‍රියාමාර්ග ඉදිරි කාලය තුළ ගන්න. රටේ තත්වය ඉතාම කණගාටුදායකයි. මේ රට අද නායකත්වයක් නැති විදිහේ ඉතාම අස්ථාවරත්වයක් කරා ඇදගෙන ගිහිල්ලා තියෙනවා. ඒ තත්වය වෙනස් කිරීම සඳහාත් ගතයුතු පියවර අපි සාකච්ඡා කළා”

ප්‍රශ්නය – තානාපති කාර්යාල කිහිපයකුත් වහලා තියෙනවා මේ ඩොලර් ප්‍රශ්නය නිසා ?

“දැන් ආණ්ඩුවේ මුදල් කියනවා විදුලි කපන එක, ගෑස් හිඟය, අර පෝලිම් මේ පෝලිම් ඔක්කොම ලබන සතියෙන් පස්සෙ නැතිවෙනවා කියලා. කවුරුහරි හිතන් ඉන්නවා නම් ඉන්දියාවෙන් හරි කොහෙන් හරි කීයක් හරි හිඟමනට අරන් ඇවිල්ලා ඒකෙන් මේ ප්‍රශ්නෙ විසඳාගන්න පුළුවන් කියලා, ඒක වෙන්නෙ නෑ. ඊළඟ අවුරුද්ද වෙනකොට ප්‍රශ්නෙ තවත් බරපතළ වෙනවා. දැන් මෙතන කරන්න ඕනෙ දේ නෙවෙයි කරන්නෙ. මේ ඇතිවෙන අරාජිකත්වය, මිනිස්සුන්ගෙ දුක, පීඩාව පාවිච්චි කරලා ඉන්දියාවටයි ඇමරිකාවටයි ඕනෙ දොළ පිදේනි දෙන එක මේ කරන්නෙ. ගිවිසුම් තුනක් අත්සන් කරලා පස්සෙ තමයි කැබිනට් අනුමැතියට එන්නෙ. ඊළඟට මේ රටේ රාජ්‍ය දේපළ බොහෝ ප්‍රමාණයක් දෙන්න හදනවා විදේශිකයින්ට. ඒ වගේම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජිතවරියක් ඇතුළු කිහිපදෙනෙක් එනවා ලංකාවට MCC නැවත වෙනත් ආකාරයකින් පටන් ගන්න. මේක මේ රටේ ප්‍රගතිශීලී දෑහිතකාමී ජනතාව හදාගත්ත ආණ්ඩුවක්, අද අවලස්සන ඇමරිකානුවෙකු විසින් මේක ඒ පැත්තට ඇදගෙන යමින් තියෙනවා. ඒකට ඉඩ දියයුතු නෑ. ඒකට ඇදගෙන යන්න නම් රට ආර්ථික වශයෙන් බංකොලොත් වෙන්න ඕනෙ. හොම්බෙන් යන්න ඕනෙ. ඒ හොම්බෙන් යවන එක තමයි මේ කරන්නෙ නෑ නෑ ප්‍රශ්නයක් නෑ, සතියෙන් පස්සෙ හොඳයි කිය කියා”

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ ඊයේ (22) පැවති ආණ්ඩුවේ කුඩා පක්ෂ සන්ධානයේ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here