මැයි 22 යළි පාර්ලිමේන්තුව රැස්වේ!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 18, කොළඹ (LNW): මැයි 22 වැනි බදාදා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

පසුගිය මැයි 14 වැනිදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී ඇත.

මේ අනුව එදින පෙ.ව 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර මැයි 14 දිනැතිව ගැසට්පත්‍රයේ පළ ‍කර ඇති ‘ආර්ථික පරිවර්තන’ සහ ‘රාජ්‍ය මූල්‍ය කළමනාකරණ’ නැමැති පනත් කෙටුම්පත් දෙක එදින පළමුවර කියවීම පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අනතුරුව පෙ.ව. 9.45 සිට ප.ව. 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය විසින් ඉදිරිපත් කිරීමට නියමිත සභාව කල් තැබීමේ යෝජනාවට අනුව විවාදය පැවැත්වීමට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණයවූ බව මහලේකම්වරිය වැඩිදුරටත් පැවසුවා ය.