*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

අර්බුදයට විසඳුම – භාරකාර රජයක්

මේ වන විට ලාංකික පුරවැසියා ගේ නාසයටත් උඩින් වතුර ගොස් හමාරය. ගෝඨාභයගේ ආණ්ඩුවට අප කිව යුත්තේ දැන් ඇති නොව දැන් හොඳටම වැඩියි, නර්තනය අප්‍රසන්නයි සහ මාරාන්තිකයි ඉදින් නවතිනු යන්නය. මහජනයා තැනින් තැන සන්ධ්‍යාවෙන් සන්ධ්‍යාවට පාරට බසිමින් සිටිති. මේ සියල්ලන් එකම විටෙක පාරට බසින දවසක ආණ්ඩුවේ අවසන් ජවනිකාව රඟ දැක්වෙනු ඇත. අප දැන් ප්‍රශ්නය ඇසිය යුතු වන්නේ විපක්ෂයෙනි. එය නම් විපක්ෂය එදිනට කරන්නේ කුමක්ද යන්නය. සුබසාධන මදි නොකියන්නට දෙනබව කියන සජිත් ප්‍රේමදාසගෙන් ද රට අපිට දෙන්න කියන අනුර දිසානායකගෙන් ද එම ප්‍රශ්නය විමසිය යුතුව ඇත.

ජනයා එක විට පාරට බසින දවසක රට කප්පිත්තෙකු නැති නැවක් බවට පත් කරනවාද? ප්‍රදීපයක් එල්ලයේ යාත්‍රා කරවනවාද යන්න රැඳී තිබෙන්නේ විපක්ෂය මතය. ඊළඟට පැන නගින ප්‍රශ්නය වන්නේ ජනතාව විශ්වාස කරන්නේ කවර විපක්ෂයක් පිළිබඳවද, විපක්ෂයේ කවර නායකයකු හෝ කණ්ඩායමක් පිළිබඳව ද යන්නය. මෙම ප්‍රශ්නයට තවම ස්ථිර පිළිතුරක් නැත යන්න විපක්ෂයේ ප්‍රමුඛ නායකයන් දෙදෙනා වන ප්‍රේමදාස මෙන්ම දිසානායක ද තේරුම් ගත යුතුය. ජනතාව පසුවන්නේ වෙනදා පරිදිම සාම්ප්‍රදායික අවුලේය. එම අවුල හරියටම අවුළුවා ගත් පාර්ශ්වයට මීට පෙර ජය ලැබුණි. එයින් යහපතක් සිදු නොවුණි. මෙවර සිදුවිය හැක්කේත් එයමද?

සාම්ප්‍රදායික අවුල

ලංකාවේ දක්නට ලැබෙන අවවර්ධිත දේශපාලනයේ එක් පිළිඹිඹුවක් වන්නේ පරිහානියට පත්වෙමින් තිබෙන ආණ්ඩුවක නිල කාලය කෙමෙන් අවසන් වන විට ඔවුන් පලවා හැරීමට රොද බැඳ ගැනීමය. අනතුරුව සිදුවන්නේ පරිහානියට පත් පාර්ශ්වය පහසුවෙන් පරාජය කර බලයට පත්වන පාර්ශ්වය විසින් ද යළි පරිහානික ගමනක් ඇරැඹීම ය. ඔවුන් අතර මැද අසාර්ථක කාල වකවානුවකට එනවිට පෙර පරිහානි කයෝ අළු ගසා දමා යළි නැගිටිති. මේ කවුරුත් විටින් විට කොල්ලකාරී ක්‍රමයක නියමුවන් හා කොටස්කරුවන් වනවා හැර රටෙහි ගරා වැටෙන ක්ෂේත්‍ර අරබයා ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට හා ඒවා අභ්‍යාස කෙරෙන වැඩපිළිවෙළක් ඇරඹීමට උත්සුක නොවූහ. අද පෙට්‍රල් පෝලිම්වල සිට ගෑස්, කිරිපිටි දක්වා කවර පෝලිමක පැය ගණන් ගත කරන්නකු වුව ආණ්ඩුවට කියන්නේ ගෙදර පලයල්ලා කියන එකය. සිටින එවුන් ගෙදර ගිය විට අලුතින් එන එකාත් මෙතෙක් කළේ එකම දේය.ජනයා පීඩිතව හොඳටම හෙම්බත් වූ විට කවුරු හෝ සිරිසේන කෙනෙක් දමා එපා වූ එකා පරාජය කරනවා හැර රටේ දැවෙන ප්‍රශ්න විසදීමට අදාළ වැඩපිළිවෙළක් ඇති පාර්ශ්වයක් ගැන හෝ විකල්ප යෝජනාවක් ගැන අවධානය යොමු කරන්නේ නැත. එසේ කේන්තිය පදනම්ව ඡන්දය දෙන සම්ප්‍රදාය නතර කරන තුරු රටට අනාගත වැඩපිළිවෙළක් ඇති දේශපාලනයක් ලැබෙන්නේ නැත.

ගෝඨාගේ කළමනාකරණය

රටෙහි ජීවන ප්‍රශ්න මේ සා උග්‍ර වූයේ කොවිඩ් නිසා නොවේ. දුර්වල කළමනාකරණය ,නාස්තිය හා දූෂණය නිසා ය. ප්‍රමුඛතා ලයිස්තුවක් නොතිබීම නිසාය. ස්වෛරී බඳුම්කරවලට කළ ගෙවීම් කල් දමන ලෙස ආර්ථික විශේෂඥයන් කියද්දී ඒවා නෑසූ කන්ව ක්‍රියාකිරීම ඩොලර් හිඟයට හේතු විය. රටේ විනිමය ඒකකය ශක්තිමත් කරන නිෂ්පාදන පියවරයන් නොගෙන රුපියල අල්ලාගෙන සිට අතහැරීමෙන් ආර්ථිකය සමතලා වූයේය.නිශ්පාදනය ප්‍රමුඛව ඉල්ලුම හා සැපයුම මත විනිමය අනුපාතය තීරණය කැරෙන ක්‍රමයක් ඕනෑම රටක ආර්ථිකයේ පදනම වන අතර ලංකාවට පමණක් එය වෙනස් විය නොහැකිය.රටේ ආර්ථිකයේ මූලික කොන්දේසි ඉටුකිරීමට පියවර නොගත් ජනාධිපති තමන් මෙම අර්බුදයට වගකිවයුතු නැති බව ජාතිය අමතා කීවේය.ඔහු විෂය විශේෂඥයන් කිසිවකුගෙන් හෝ උපදෙස් ගන්නා බවක්ද නොපෙනෙයි.සියල්ල දන්නා නායකයකු ලෙස හැසිරෙයි.වියත් මගක් ගැන ඔහුට නිච්චියක් නැත.නැවත ජනපතිට ළංවී සිටින්නේ ලොකුගේ, ජොන්ස්ටන්, රෝහිත, මහින්දානන්ද වැනි දේශපාලකයන්ය.ඔවුන්ට මහින්ද රාජපක්ෂගේ කාලයේ විවිධ වගකීම් පවරා තිබුණත් තීරක බලයක් පවරා නොතිබුණි.දැන් තත්වය වෙනස්ය.එබැවින් ගෝඨාභයගේ තරම දැන් “වියත් මගේ” සාමාජිකයන්ට පෙනෙන්නේ ලොකුගේ, ජොන්ස්ටන්, රෝහිත හා මහින්දානන්දගෙනි.ඉදින් වියත්මග සිය ජනාධිපතිවරයා ගැන දැන් කියන්නේ කුමක්ද.අප හැට නව ලකිෂයෙන් එම ප්‍රශ්නය නොවිමසමු.මන්ද ජනයා හැම විටම හිටපු පාලකයා ගැන කෝපය පෙරදැරිව නව පාලකයා අවිචාරවත්ව වැළඳ ගැනීම ඛේදනීය සම්ප්‍රදායක්ව තිබුණු බැවිනි.මේ තත්ත්වය වෙනස් විය යුතුය.

ගොඩ එන මගක් සෙවීම

රටේ උද්ගතව ඇති ව්‍යාකූලත්වය ගැන ඕනෑ තරම් විවේචන කළ හැකිය.අසීරුම දේ මෙම ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමය.විපක්ෂයේ ප්‍රධානම ජනාධිපතිධුර අපේක්ෂකයන් දෙදෙනා සිතනු ඇත්තේ වසර තුනක් ඇවෑමෙන් බලයට පත් වූ විට තිබෙන ව්‍යාකූලත්වය වෙනස් කළ හැකිය යන්නය.එම අදිටන නරක නැත.එහෙත් එය යථාර්ථයක් කර ගැනීමට නම් ඔවුන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට උචිත මෙන්ම එම ප්‍රතිපත්ති සක්‍රිය කැරෙන මූලික පදනමක් රටෙහි තිබිය යුතුය.බීජ ප්‍රරෝහණයට පෙර පස සකස් වී තිබිය යුතුය.එසේ වී නොතිබුණහොත් වසර තුනකින් සජිත්ට හෝ අනුරට ලැබෙන්නේ අදටත් වඩා අර්බුදවලින් ගහණ රටකි.අදටත් වඩා කර්කෂ පොළොවකි.අනතුරුව ඔවුන් ඒ අර්බුදයට මැදිවී අර්බුදය විනාශය දක්වාම දික්ගස්සනවාද,ඊට පෙර වෙනස් පසුබිමක සිට තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පොළොව සකසා ගන්නවාද යන්න කල්පනා කළ යුතුව ඇත.

භාරකාර රජයක්

රටෙහි ආර්ථිකය ඇත්තේ විනාශ මුඛයේ ය. ජනතාවගේ ජීවන ප්‍රශ්නය මීළඟ ආහාර වේල සපයා ගන්නේ කෙසේද යන තැනට සංකෝචනය වෙමින් තිබේ. එබැවින් ආර්ථිකය කේන්ද්‍රීයව තෝරාගත් මූලික ප්‍රශ්න කිහිපයකට විසඳුම් සෙවීමට ඉතා ඉක්මනින් භාරකාර රජයක පාලනයකට රට පත් කළ යුතුව ඇත. එම භාරකාර රජය ප්‍රධාන වශයෙන්ම රටේ උද්ගතව ඇති මූල්‍ය අර්බුදය විසඳීමට සැලසුම් සකස් කළ යුතුය. විශේෂයෙන්ම නව ආයෝජකයන්ට අවස්ථා ඇති කිරීමේ සිට අධික පොලියට ප්‍රාග්ධන වෙළඳපළෙන් ණය ගැනීම නවත්වා ණය ගැනීම ප්‍රතිපත්ති රාමුවක සිට සිදු කිරීම දක්වා ගමන් කළ යුතුය. අපනයන දිරිමත් කිරීම සඳහා නව යෝජනා ඉදිරිපත් කර ඒවා ක්‍රියාත්මක කිරීමේ මූලික පසුබිමක් ඇති කළ යුතුය. රටේ සම්පත් විකිණීම හෝ බදු දීම සඳහා ගෝඨාභය රජය ගත් පියවරයන්, ගිවිසුම් යළි සමාලෝචනය කර බලා එම ගිවිසුම් කොල්ලකාරී ක්‍රමවේදයෙන් මුදා ගත හැකි සැලසුම් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීමට පදනම දමා දීම ද භාරකාර රජයක අනුල්ලංඝනීය වගකීමක් විය යුතුය.කොවිඩ් අර්බුදය හමුවේ ජනජීවිතය රූපාන්තරණයකට ලක් විය. බොහෝ දෙනාගේ රැකියා මාර්ග අවහිර විය. සුලු කර්මාන්ත කඩා වැටුණි. වත්මන් රජය ආනයන සීමා ඇතිකළේ ඩොලර් හිඟය නිසාය. ඔවුන් ඒ පැත්ත අවහිර කරන විට නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය නොලැබුණි. මේවා මුට්ටිය ගැනීමට එළුවාගේ බෙල්ල කපන වර්ගයේ පිළිතුරු බැවින් නිශ්පාදනයේ හා ජනදිවියේ සාමාන්‍ය පැවැත්මට හානිදායක නොවන පරිදි පොදුජන ආර්ථිකය ශක්තිමත් කරන පියවරයන්ට යාම භාරකාර රජයක වගකීමය. කොවිඩ් නිසා රැකියා අහිමි වූවන් මොනවා හෝ කිරීමට අයාලේ නොයවා ඔවුන් යම් පොදු හෝ පුද්ගලික නිශ්පාදන ක්‍රියාවලියකට අවතීර්ණ කරවා ගත යුතු වෙයි.

වත්මන් රජයේ අදුරදර්ශී කෘෂිකර්ම සැලසුම් අද රට මුහුණ දී සිටින ආහාර හිඟයට බලපෑවේය. කාබනික වගාව ප්‍රවර්ධනය කිරීමටත් සැලසුම් අවශ්‍ය ය. දිගු කාලයක් රසායන පොහොර යෙදූ පොළොවක මෙන්ම ඒ සඳහා නිපදවූ බීජ වල ක්‍රියාකාරිත්වය තේරුම් නොගෙන කාබනික ගොවිතැන ගොවීන් මත පැටවීම මුග්ධ ක්‍රියාවකි. මේවා ගැන සැලසුම් සකස් කිරීම විෂය විශේෂඥයන්ගේ කාර්යභාරයකි. ආහාර නිෂ්පාදනය, කල්තබා ගැනීම ඊට නිසි මිලක් ඇති කර දීම මෙන්ම නිෂ්පාදන පිරිවැය අඩු කර ගැනීම ද ආර්ථික සංවර්ධනයේ එක් පැතිකඩකි. ඒ සඳහා සැලසුම් සකස් කිරීම මෙන්ම ක්‍රියාත්මක කිරීමට පදනම දැමීමද භාරකාර රජයක අනලස් වගකීම විය යුතුය. භාරකාර රජය මහජන ජීවිත වලට ඍජුව බලපා ඇති දැවෙන ප්‍රශ්න වලට අත ගැසිය යුතුය.ළදරු කිරි පිටි ප්‍රශ්නය එවැන්නකි. ආනයනික කිරිපිටි වලට විකල්පව දියර කිරි ප්‍රවර්ධනය කළ හැකිද? නොහැකි නම් ඊට හේතු කවරේද. එම තත්ත්වයන් වෙනස් කළ හැකි මාර්ග මොනවාද? මේවා ගැඹුරින් සලකා බැලිය යුතු ප්‍රශ්න වෙයි. විශේෂයෙන් කිරි නිෂ්පාදකයන්ට අනන්‍ය ප්‍රශ්න කීපයක් තිබේ. අර්ධ නාගරිකව වෙසෙන කිරි ගොවීන් මුහුණ දෙන එක් ප්‍රශ්නයක් වන්නේ කුඩා ගව රංචු දිගේලි කිරීමට ඉඩකඩ නොමැති වීමය. ගව රංචුවලට ඉඩ නැති නිසා කිරි නිෂ්පාදනය අතහැර දමන ගොවීහු නාගරිකව සිටිති. එවිට නාගරිකව දියර කිරි පානය කළ පිරිසට ආනයනික කිරිපිටි මිල දී ගැනීමට සිදු වෙයි. මේවා නිරාකරණය කළ නොහැකි ප්‍රශ්න ද නොවේ. ඒවාට යටිතලයේ පිළිතුරු සෙවීමට සැලසුම් මෙන්ම උවමනාවක් තිබිය යුතුය. ජනාධිපති ගෝඨාභය ඉන්ජෙක්ෂන් වලින් රට ස්වයංපෝෂිත කළ බව කියමින් සිටියා විනා මේ ප්‍රශ්න එකක් දෙසවත් විචාරශීලීව බැලුවේ නැත. ඔහුට පෙර සිටි නායකයන් ද ඊට වෙනස් නොවුණි. භාරකාර ආණ්ඩුවකට උක්ත ප්‍රශ්න ගැන ගැඹුරින් සිතිය හැකිය.

භාරකාර රජය හා අනාගතය

භාරකාර රජයකට ඊළඟ ආණ්ඩුව පිහිටුවීමේ, බලය පිළිබඳ ප්‍රශ්නයක් නැති නිසා ජනතා රසිකත්වය රැක ගැනීම සඳහා ගතයුතු මෝඩ උපායමර්ග වලින් වැළකී සිටිය හැකිය. එවැනි රජයකට තිබිය යුත්තේ මහජන සුබසිද්ධිය ඇති කිරීම පිළිබඳ ව්‍යායාමයකි.

සහල් ඇතුළු අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල තීරණය කිරීම අද වන විට සිදුවන්නේ ආණ්ඩුව මගින් නොවේ.පුද්ගලික වෙළෙඳ මාෆියාවකිනි.ජනයාගේ ජීවන ප්‍රශ්න විසඳීමට නම් එම තත්ත්වය වහාම වෙනස් විය යුතුය. විදුලිය, ගෑස්,ඉන්ධන හා කිරිපිටි මිලෙහි අධික බර ජනයාට දරා ගත හැකි මට්ටමට පත් කළ යුතුය.වසර තුනක් ඇවෑමෙන් විපක්ෂය බලයට පත් වුවත් ඉහත ප්‍රශ්න සැණින් නිරාකරණය කළ නොහැකි ය.ඒ,විෂයගත ප්‍රතිපත්ති තිබුණත් ඒවා කඩිමුඩියේ ක්‍රියාත්මක කිරීමට යාමේදී එල්ල වන බාධා හේතුවෙනි. සුභ සහ යස නාට්‍යයේ මෙන් වෙනස කරන්නට එන අය පවතින අර්බුදයේම සිර වන බැවිනි. අධිකාරිවාදී පාලනය බිඳ හෙලීමට බෲටස්, සීසර් ඝාතනය කළත් බෲටස්ටත් ඔහු පැතූ ක්‍රමවත් හා සාධාරණ පාලනය තහවුරු කිරීමට නොහැකි විය. ගෝඨාභයට සීසර්ට මෙන් තත්ත්වය වෙනස් කළ හැකි මාක් ඇන්ටනි කෙනෙකු නැතත් රටේ ඔඩුදුවා ඇති මූලික ප්‍රශ්න බලවත් හා සංකීර්ණ බැවින් විපක්ෂයෙන් ජනාධිපති ධූරයට පත්වන පුද්ගලයා ද බෲටස් සේම ඛේදයකට මුහුණ පෑම අනිවාර්යය. ඉක්මනින් පිහිටුවන භාරකාර ආණ්ඩුවක් වැදගත් වන්නේ එබැවිනි. ආර්ථික සාමාජීය ප්‍රමුඛ ජන දිවියේ දැවෙන ප්‍රශ්න වලට විසඳුමක් ලබාදීම සඳහා මූලික පදනමක් භාරකාර රජයක් මගින් සම්පාදනය කරගත හොත් වසර තුනකින් පත්වන ජනාධිපතිවරයෙකුට යම් ප්‍රමාණයක හෝ ක්‍රමවත් පාලනයකට අවතීර්ණ විය හැකිය. එබැවින් සජිත්, අනුර ප්‍රමුඛ විපක්ෂයේ ප්‍රබල නායකයන් හා සමාජයට බලපෑමක් කළ හැකි රනිල්, චම්පික,රාජිත, හඳුන්නෙත්ති, ලාල්කාන්ත, පුබුදු ජයගොඩ , ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න වැනි දේශපාලනඥයන්ගේ වගකීම විය යුත්තේ ඉක්මනින් පොළොව පෙරළා පස නිසි ලෙස සකසා ගැනීමය. භාරකාර රජයක් මගින් මූලික ප්‍රශ්න විසඳීම කෙරෙහි යම් පදනමක් දමා ගැනීමෙන් පසු ඔවුන්ට තම අනන්‍යතා දේශපාලනයට ප්‍රවිෂ්ඨ විය හැකිය. නැතහොත් සිදුවන්නේ ඒ සියල්ලන්ටම අඳුරේ අතපත ගා ක්ෂය වී යාමට ය.

කිසිවකුට තනියම විසඳීමට නොහැකි ප්‍රශ්න නිරාකරණය කිරීමේ පදනම දැමීමට හෝ භාරකාර රජයට හැකි නම් ඊට මැදිහත් වීම සජිත් ප්‍රේමදාසලා අනුර දිසානායකලා තම තමන්ගේ ගල් ගුහාවලින් එළියට පැමිණ විරෝධය දක්වා යළි ගුහා ගත වන ප්‍රතිපත්තියට වඩා අගනේය. මෙම අර්බුදකාරී තත්වයේ බරපතලකම වටහාගෙන ආණ්ඩුපක්ෂයේ ක්‍රියාධරයන්ට ද භාරකාර ආණ්ඩු වැඩසටහනට දායක විය හැකිය.

භාරකාර රජයකට අවශ්‍ය මූලික ක්‍රියා මාර්ගය විපක්ෂය ඒකාබද්ධව ගත යුත්තකි. කුඩා විරෝධතා කණ්ඩායම් වලට හා කල්ලි ගැසුණු විරෝධතාකරුවන්ට එය කළ නොහැකිය. මෙම කාරණය කෙරෙහි සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානායක සංවේදී වීම වැදගත්ය. භාරකාර රජයේ ප්‍රධානියා ඔවුන් දෙදෙනාගෙන් කෙනකු නොවී ඒ සඳහා රටේ උගත්,ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ පුරවැසියකු පත්කරගත හැකිනම් භේද රහිතව සෑම පාර්ශවයකට ම මෙම වැඩපිළිවෙලට සහාය දැක්වීම ද කළ හැකිය.

පාර්ලිමේන්තුව තුළ මේ පිළිබඳව පුළුල් සාකච්ජාවක් ඇරඹීම වැදගත් බවත් අවසන් වශයෙන් අවධාරණය කරමු.

විමලනාත් වීරරත්න.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan