පුත්තලමට යන කොළඹ කුණු!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 11 , කොළඹ (LNW):

මේ වන විට, කොළඹ නගරය ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් අවසන් බවත්, 2024 අගෝස්තු මාසය වන විට එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බවත් කොළඹ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ සරත් බණ්ඩාර පවසයි.

ව්‍යාපෘතියේ පෙරහුරු පරීක්ෂණ ජූනි 5 වන දා සිට ආරම්භ කර ඇත.

2014 වසරේදී එවකට පැවති ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.

දිනෙන් දින ඉහළ යන කොළඹ නාගරික ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටලුව විසදීමේ අරමුණින් පුත්තලම, අරුවක්කාලු ප්‍රදේශයේ තිබූ හුණු ගල් කඩා ඉවත් කර අතහැර දමන ලද වළවල් ආශ්‍රිතව සනීපාරක්ෂක කසල රඳවනයක් සහ අප දියර ප්‍රතිකර්ම පද්ධතියක් ඇතුළු අනෙකුත් පහසුකම් ඉදිකිරීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය වෙත පැවරී ඇති අතර, ඒ අනුව, කැලණිය හා පුත්තලම කසල හුවමාරු මධ්‍යස්ථාන 2ක් ඉදිකිරීම හා ඊට අදාළ දුම්රිය යටිතල පහසුකම් හා මාර්ග පද්ධතිය ඉදිකිරීම මේ යටතේ සිදු වී තිබේ.

මුල් අවස්ථාවේ මෙම ව්‍යාපෘතිය සැලසුම් කර ඇත්තේ, කොළඹ නගරය ආශ්‍රිතව ජනනය වන කසල මෙට්‍රික් ටොන් 1200ක් කැලණිය කසල හුවමාරු මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් එහිදී සම්පීඩනයට ලක් කර බහාලුම් පෙට්ටිවල අසුරා දුම්රිය මගින් ප්‍රවාහනය කර අරුවක්කාලුවලදී සනීපාරක්ෂක ලෙස බැහැර කිරීම සදහා ය.

එහෙත් මේ වන විට බස්නාහිර පළාතේ, පළාත් පාලන ආයතන මගින් බැහැර කෙරෙන අවශේෂ කසල සියල්ල සනීපාරක්ෂක ලෙස බැහැර කිරීමට හැකි වන පරිදි මෙම පහසුකම් ඉදිකර තිබේ. මෙම ව්‍යාපෘතියේ මුළු පිරි වැය අමෙරිකානු ඩොලර් මිලියන 130ක් වන අතර කැලණිය හුවමාරු මධ්‍යස්ථානයේ සිට අරුවක්කාලු කසල හුවමාරු මධ්‍යස්ථානය දක්වා දුම්රිය මගින් කසල ප්‍රවාහනය කිරීමට දුම්රිය එන්ජින් 4ක් ආනයනය කර ඇත.

ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු ආරම්භ වනතුරු එම එන්ජින් මගී ප්‍රවාහනයට යොදා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුවට ලබා දී තිබේ.කසල ප්‍රවාහනය සඳහා අවශ්‍ය බහාලුම් පෙට්ටි 94ක් මිල දී ගෙන ඇති අතර කැලණිය සිට අරුවක්කාලු දක්වා කසල ප්‍රවාහනය සඳහා අවශ්‍ය දුම්රිය ගැල් 17ක් අලුත්වැඩියා කර ලබා දී ඇත.

ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව ව්‍යපෘතියේ කොන්ත්‍රාත්කරුවන් විසින් මාස 3ක කාලයක් සදහා කාර්මිකයින් පුහුණු කිරීම, කසල එකතු කිරීමේ අංගනයේ ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීම සිදු කරනු ලබයි. අරුවක්කාලු කසල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදු කළේ, චීන සමාගමක් වන චයිනා හාබර් ඉංජිනේරු සමාගම සහ සවුත්වෙස්ට් මියුනිසිපල් ඉංජිනියරින් ඇන්ඩ් රිසර්ච් ඉන්ස්ටිටියුට් ඔෆ් චයිනා සමාගම විසිනි.

මේ වන විට අක්කර 140ක් වන අරුවක්කාලු කසල රඳවන මධ්‍යස්ථානයේ සහ අක්කර 20ක් වන වනවාසල කසල හුවමාරු මධ්‍යස්ථානයේ ද වැඩ කටයුතු මේ වන විට අවසන් කර ඇත.ඒ අනුව, ව්‍යාපෘතිය පසුගිය මාර්තු 31 දිනය වන විට අවසන් කර තිබේ.

මෙම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ , කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ව්‍යාපෘතිය වසරකට අධික කාලයක් නතර කර තිබී ඇති අතර මෙම ව්‍යාපෘතිය අවසන් කිරීම සදහා වෙන් කෙරුණ මුදල රුපියල් මිලියන 5,500 කි.ව්‍යාපෘතිය ක්‍රියාකරවන්නන් පුහුණු කිරීම මේ දිනවල සිදු කරන බව ත් එම පුහුණුව හා පෙරහුරු පරීක්ෂණ අවසන් වූ වහා ම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ත් ය.

මේ සඳහා නව ආයෝජකයන් තිදෙනෙකු ඉදිරිපත්ව ඇති අතර ඉන් එක් ආයෝජකයෙකු තෝරා ගැනීම සඳහා වන යෝජනාව ද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...