මේ සටහනේ අරමුණ මැතිවරණ ප්රතිඵල පිළිබඳ පුරෝකථනයක් කරන එක නෙමෙයි. නිසි ක්‍රමයකට සිදු කරන නියැදි සමීක්ෂණ සහ හෙළකුරු මත විමසුම වැනි ස්වේච්ඡා ප්‍රතිචාර දක්වන්නගේ ප්‍රතිචාර එකතු අතර වෙනස තව දුරටත් පැහැදිලි කරන එක.
පහත තිබෙන්නේ අගෝස්තු තෙවන සතියේ හෙළකුරු ප්‍රතිඵලය. ප්‍රතිචාර ප්‍රමාණය 24,056ක්.
අනුර – 86.7%
රනිල් – 6.8%
සජිත් – 3.5%
නාමල් – 1.0%
දිලිත් – 0.7%
වෙනත් – 1.3%
මේ ප්‍රතිඵලයෙන් රටේ ජනමතය නිරූපණය නොවන බව සිහි බුද්ධියක් තිබෙන ඕනෑම කෙනෙකුට තේරෙනවා. නමුත්, අන්තර්ජාලය හරහා විවිධ අය විසින් සිදු කර තිබෙන ප්‍රතිචාර එකතු ගණනාවක විශාල සමානකමක් දකින්න පුළුවන්. එතකොට කෙනෙකුට මතු වන ප්‍රශ්නය මේ එකක් වැරදුනත් සියල්ලම වැරදෙන්න පුළුවන්ද කියන එක.
ඇත්තටම මේ ප්රතිඵල වැරදි නැහැ. මේ ප්‍රතිඵල වලින් පෙන්වන්නේ අදාළ නියැදි වල සැබෑ ජනමතය. ප්‍රශ්නය තියෙන්නේ මේ නියැදි වලින් රටේ ජනමතය නියෝජනය නොවීම. ඒ තුළ සමහර කොටස් වැඩියෙනුත් තවත් සමහර කොටස් අඩුවෙනුත් නියෝජනය වෙනවා. ඇතැම් කොටස් නියෝජනය වෙන්නේම නැහැ. ඒ නිසා, මෙවැනි ප්‍රතිඵලයක් වැරදි නැතත්, එයින් පිළිබිඹු වන්නේ අදාළ කණ්ඩායමේ මතය පමණයි. අන්තර්ජාල මත විමසුම් ගණනාවක ප්‍රතිඵල සමාන වීමෙන් පෙනෙන්නේ මේ ප්‍රතිඵලය අන්තර්ජාලය නිතර පරිශීලනය කරන පිරිසකගේ සාමාන්‍ය ජනමතය විය හැකි බවයි.
හෙළකුරු ජූලි මත විමසුමට 50,686 දෙනෙකු සහභාගී වී සිටියා. පහත තිබෙන්නේ ඒ පිරිස විසින් එක් එක් දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් ප්‍රමාණයෙන් කොපමණ පිරිසක් නියෝජනය කළාද කියන එක.
කොළඹ – 0.47%
ගම්පහ – 0.43%
කළුතර – 0.44%
මහනුවර – 0.29%
මාතලේ – 0.25%
නුවරඑළිය – 0.12%
ගාල්ල – 0.39%
මාතර – 0.40%
හම්බන්තොට – 0.32%
යාපනය – 0.01%
වන්නි – 0.02%
මඩකලපුව – 0.00%
දිගාමඩුල්ල – 0.11%
ත්‍රිකුණාමලය – 0.07%
කුරුණෑගල – 0.31%
පුත්තලම – 0.21%
අනුරාධපුර – 0.27%
පොළොන්නරුව – 0.26%
බදුල්ල – 0.21%
මොණරාගල – 0.24%
රත්නපුර – 0.29%
කෑගල්ල – 0.29%
දැන් අපට පැහැදිලිව පේනවා මේ කණ්ඩායම තුළ කොළඹ, කළුතර වැනි දිස්ත්‍රික්ක වැඩියෙනුත් යාපනය හා මඩකලපුව වැනි දිස්ත්‍රික්ක ඉතා අඩුවෙනුත් නියෝජනය වන බව. කොළඹ හා යාපනයේ ජනමතය ඒ තරම් වෙනස් නැත්නම් මේක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් එය එසේ නොවන බව අපි දන්නවා.
පහත ප්‍රස්ථාර වල පෙන්වා තිබෙන්නේ 2019දී ගෝඨාභය රාජපක්ෂ හා සජිත් ප්‍රේමදාස විසින් එක් එක් දිස්ත්‍රික්කයෙන් ලබා ගත් ඡන්ද සංඛ්‍යාවත්, 2020දී මාලිමා කණ්ඩායම විසින් ලබාගත් ඡන්ද ප්‍රතිශතයත්, හෙළකුරු මත විමසුම තුළ එක් එක් දිස්ත්‍රික්කය නියෝජනය වන ආකාරයත් අතර තිබෙන සම්බන්ධයේ ස්වරූපය.
සමීක්ෂණයක් සඳහා අහඹු නියැදියක් තොරා ගත්තේනම් ඉහත ප්‍රස්ථාර තුනම තිරස් රේඛා විය යුතුයි. ඒ කියන්නේ පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය කීයක් වුනත් නියැදිය තුළ නිරූපණය වෙන්නේ එක විදිහට.
නමුත් පළමු ප්‍රස්ථාර දෙකේම අපට ඉතා පැහැදිලි ලෙස ඉහළට නැඹුරු වීමක් දකින්න පුළුවන්. ඒ කියන්නේ කිසියම් දිස්ත්‍රික්කයක ගෝඨාභය රාජපක්ෂගේ 2019 ඡන්ද ප්‍රතිශතය වැඩිනම්, නියැදිය තුළ නියෝජනයත් වැඩියි. ඒ වගේම, 2020 මාලිමා ඡන්ද ප්‍රතිශතය වැඩිනම් ඒත් නියැදිය තුළ නියෝජනය වැඩියි.
නමුත් 2019 සජිත් ප්‍රේමදාසගේ ඡන්ද ප්‍රතිශතය සහ නියැදිය තුළ නියෝජනය අතර තිබෙන්නේ ප්‍රතිවිරුද්ධ ආකාරයේ සමබන්ධතාවයක්. එම ප්‍රස්ථාරයේ ඉතා පැහැදිලි පහළට සිදු වන නැඹුරුවක් දකින්න පුළුවන්. මෙයින් පෙනෙන්නේ අන්තර්ජාල සමීක්ෂණ තුළ 2019දී සජිත් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ අය නිරූපනය වෙන්නේ අඩුවෙන් කියන එක. නමුත්, 2019 පොහොට්ටු හා මාලිමා ඡන්ද හොඳින් නිරූපණය වෙනවා.
දැන් මාලිමාව එක්ක වැඩිපුර ඉන්නේ 2019 පොහොට්ටු හා මාලිමා කඳවුරු වල සිටි අය කියා පහසුවෙන්ම උපකල්පනය කරන්න පුළුවන්නේ. ඒ අයව අන්තර්ජාලය භාවිතා කරන්නන් අතර හොඳින් නියෝජනය වෙනවා. නමුත් සජිත්ගේ 2019 ඡන්ද නියෝජනය නොවන තරම්. රනිල්ගේ ඡන්ද වලිනුත් සැලකිය යුතු ප්‍රමාණයක් නියෝජනය වෙනවා. ඒ නිසා, මේ ප්‍රතිඵලය දෙස බලලා රටේ තත්ත්වය ගැන නිවැරදි අදහසක් ගන්න අමාරුයි.
මේ වගේ “වැරදි නියෝජනයක්” සිදු වන්නේ දිස්ත්‍රික්ක අනුව බැලුවොත් පමණක් නෙමෙයි. වයස් කාණ්ඩ, අධ්‍යාපන මට්ටම්, ආදායම් මට්ටම්, ස්ත්‍රී පුරුෂ භාවය ආදී වෙනත් තොරතුරු එකතු කරගෙන පරීක්ෂා කළොත්, ඒ දේවල් වුනත් ජනගහණයේ අනුපාත අනුව නියැදිය තුළ නියෝජනය නොවන බව තේරුම් ගන්න අමාරු නැහැ.
නම්බර්ස් ඩොට් එල්කේ මත විමසුමේදී ඔය වගේ තොරතුරු රාශියක් එකතු කරගෙන එම තොරතුරු සමඟ ගලපමින් රටේ අනුපාත හා සමාන වන පරිදි දත්ත නැවත සකස් කර තිබෙනවා. එහෙම කළ විට හරි ප්‍රතිඵලය ආසන්නයට එන්න පුළුවන්. නමුත් වැරැද්ද සම්පූර්ණයෙන්ම හදන්න බැහැ.
මීට කිට්ටු දෙයක් සයන්ස් විත් රුචිර යූටියුබ් නාලිකාව කරන රුචිර විසින්ද කර තිබෙනවා. ඔහු අදාළ සංකල්පය නිවැරදිව විස්තර කරනවා. මෙහිදී ඔහු තමන්ගේ නාලිකාවේ ප්‍රේක්ෂකයින්ගේ වයස් මට්ටම හා අධ්‍යාපන මට්ටම ගැන උපකල්පනයක් කරලා, පෙනෙන ජනමතය එම කාණ්ඩයේ ජනමතය ලෙස සලකනවා. ඉතිරි කොටස ගැන විවිධ උපකල්පන සිදු කරනවා. ඔහු එකතු කරගෙන තිබෙන දත්ත එක්ක එයින් එහාට දෙයක් කරන්න අමාරුයි.
නම්බර්ස් ඩොට් එල්කේ මත විමසුමෙන් පසුව කරන්නෙත් ඔය විස්තර කළ වැඩේමයි. නමුත් එහි වෙනස්කම් දෙකක් තිබෙනවා. පළමුව, එය භාෂා තුනෙන්ම කළ එකක් නිසා සිංහල කතා නොකරන අයගේ ජනමතය ගැනද උපකල්පනය නොකර දත්ත වලින්ම දැනගන්න පුළුවන් වීම. දෙවනුව, එම මත විමසුමේදී අමතර තොරතුරු විශාල ප්‍රමාණයක් එකතු කරගෙන තිබෙනවා. ඒ නිසා, ප්‍රතිඵලය සෑහෙන දුරකට ජනගහණය නියෝජනය කරනවා.
🧭 අනුර – 43%
🐘 රනිල් – 27%
☎️ සජිත් – 22%
🌷 නාමල් – 3%
❔ අතීරක – 2%
නමුත් මේ නම්බර්ස් ඩොට් එල්කේ ප්‍රතිඵලයේ වුනත් එක් සැලකිය යුතු අඩුපාඩුවක් තිබෙනවා. කොයි තරම් දුරට වැරදි හැදුවත්, එයින් අන්තර්ජාලනය පරිශීලනය කරන හා නොකරන කණ්ඩායම් අතර තිබෙන පහසුවෙන් නිරීක්ෂණය කළ නොහැකි වෙනස්කම් ග්‍රහණය කරගන්න අමාරුයි. ඒ වැඩේ කරන්න පුළුවන් අහඹු නියැදියක් අරගෙන කරන මත විමසුමකින්ම පමණයි.
ඉහත මුලින් විස්තර කළ හේතු නිසා නම්බර්ස් ඩොට් එල්කේ ප්‍රතිඵලය තුළ අනුරගේ හා රනිල්ගේ ප්‍රතිශත තරමක් වැඩියෙන් හා සජිත්ගේ ප්‍රතිශතය තරමක් අඩුවෙන් පේනවා වෙන්න පුළුවන්. මේ දත්ත වලින් පමණක් ඒ කොයි තරමින්ද කියලා හරියටම කියන්න අමාරුයි.
සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ සමීක්ෂණය ගැන අපි සටහන් කිහිපයකින්ම විස්තරාත්මකව කතා කළානේ. එහි නියැදි දෙකක් එකතු කරලා තිබෙනවා. එකක් අහඹු ජංගම දුරකථන අංක නියැදියක්. එයින් ලංකාවේ ජංගම දුරකථන පරිශීලකයින් නිවැරදිව නියෝජනය වෙනවා. ඡන්දදායකයින්ව ආසන්නව නිවැරදිව නියෝජනය වෙනවා ඇති. නමුත් හරියටම නෙමෙයි. මොකද ඡන්දය දීම සඳහා සුදුස්සෙකු වෙන්නේ ජංගම දුරකථනයක් තිබීම මත නෙමෙයිනේ.
වයස, අධ්‍යාපන මට්ටම, ජාතිය වගේ නිරීක්ෂණය කළ හැකි දේවල් සමාන තත්ත්වයක් යටතේ ලංකාවේ ඡන්දදායකයින් අතරින් ජංගම දුරකථනයක් හිමි අය සහ අහිමි අයගේ ඡන්ද භාවිතය සමානයි කියලා අපට උපකල්පනය කරන්න පුළුවන්ද? මම හිතන්නේ බැහැ. හෙළකුරු නියැදිය තරමටම නොවුනත් මේ නියැදියේ මාලිමාවට හා රනිල්ට කැමති අය වැඩියෙනුත් සජිත්ට කැමැති අය අඩුවෙනුත් ඉන්නවා කියලයි මම හිතන්නේ. ඒ නිසා මේ නියැදියෙන් ලැබෙන්නේ රනිල්ට හා අනුරට වාසිදායක, සජිත්ට අවාසිදායක ප්‍රතිඵලයක්.
ඔය ප්‍රශ්නය මග හරවා ගන්න සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් තවත් නියැදියක් යොදා ගන්නවා. එය මාලිමාවට අවාසිදායක හා සජිත්ට වාසිදායක වැඩිහිටි නියැදියක්.
දැන් මේ කරන වැඩෙන් මතු වෙන ප්‍රශ්නය වන්නේ ඔය නියැදි දෙක කලවම් කරන අනුපාතය අනුව ප්‍රතිඵලය වෙනස් වීමයි. මම හිතන විදිහට අඩු වැඩි කරන්නේ ජංගම දුරකථන නියැදිය. පසුගිය මාසයේදී නියැදිය 462 දක්වා අඩු වූ නිසා සජිත් ඉස්සරහට ගිහින් අනුර පස්සට ගියා. මේ මාසයේදී නියැදිය 701 දක්වා වැඩි කර ඇති නිසා, නැවත අනුර ඉදිරියට ඇවිත්. මේ වගේ දෙයක් වෙයි කියන එක මම කලින්ම සටහන් කරලා තිබෙනවා.
“මේ කරුණ වැදගත් වන්නේ ඉදිරි මාසයේදී නියැදියේ ප්‍රමාණය විශාල කරන්නට අපේක්ෂා කරන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් සඳහන් කර තිබුණු නිසයි. බොහෝ විට සිදු විය හැකි පරිදි, මෙසේ වැඩි කෙරෙන්නේ ජංගම දුරකථන නියැදියනම්, මහ පොළොවේ තත්ත්වයන්හි කිසිදු වෙනසක් සිදු නොවුනත්, අනුරගේ ප්‍රතිශතය තරමක් ඉහළ ගොස් සජිත්ගේ ප්‍රතිශතයේ අඩු වීමක් විය හැකියි. ඒ සමඟම, රනිල්ගේ ප්‍රතිශතයේද යම් ඉහළ යාමක් සිදු වෙනවා.”
~ ඉකොනොමැට්ටා
RN