*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

හම්බන්තොට හා බදුල්ල : ඡන්ද කොහොම බෙදෙයිද ?

හම්බන්තොට දිස්ත්‍රික්කය

රාජපක්ෂලාගේ මූල කඳවුර වන හම්බන්තොට දිස්ත්‍රික්කය යනු රටේ දිස්ත්‍රික්ක අතරින් පොහොට්ටු පක්ෂයට වැඩිම සහයෝගයක් ලබා ගත හැකි වූ දිස්ත්‍රික්කයයි. 2019 ජනාධිපතිවරණයේ මුළු ඡන්දදායකයින් සංඛ්‍යාවෙන් 57.4%ක්ද, 2020 මහ මැතිවරණයේදී මුළු ඡන්දදායකයින් සංඛ්‍යාවෙන් 57.0%ක්ද ඡන්දය දුන්නේ එම පක්ෂයටයි.

හම්බන්තොට දිස්ත්‍රික්කය යනු පසුගිය දශක කිහිපය පුරාවටම ජවිපෙට මෙන්ම ඉන් පසුව මාලිමාවටද වැඩිම සහයෝගයක් ලබා ගත හැකි වූ දිස්ත්‍රික්කයයි. 2019 ජනාධිපතිවරණයේ මුළු ඡන්දදායකයින් සංඛ්‍යාවෙන් 5.4%ක්ද, 2020 මහ මැතිවරණයේදී මුළු ඡන්දදායකයින් සංඛ්‍යාවෙන් 6.4%ක්ද ඡන්දය දුන්නේ එම පක්ෂයටයි.

සජිත් ප්‍රේමදාස දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ දේශපාලනය කළේ හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ වුවද, ඔහු තරඟ කළ 2019 ජනාධිපතිවරණයේදී එජාපයට අඩුම සහයෝගයක් ලබාගත හැකි වූ දිස්ත්‍රික්කය වූයේ හම්බන්තොට දිස්ත්‍රික්කයයි. එම ප්‍රතිශතය 22.4%ක් පමණයි.

දෙමළ බහුතරයක් සිටින යාපනය හා මඩකලපුට දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රික්ක අතරීන් 2020දී සජබයට වඩාත්ම අඩු සහයෝගයක් ලැබුණු දිස්ත්‍රික්කය හම්බන්තොට දිස්ත්‍රික්කයයි. එය 10.5%ක් පමණයි.

දෙමළ බහුතරයක් සිටින යාපනය, වන්නි හා මඩකලපුට දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රික්ක අතරීන් 2020දී එජාපයට වඩාත්ම අඩු සහයෝගයක් ලැබුණු දිස්ත්‍රික්කයද හම්බන්තොට දිස්ත්‍රික්කයයි. එය 1.0%ක් පමණයි. අනෙක් දිස්ත්‍රික්කය මොණරාගල දිස්ත්‍රික්කයයි (0.9%).

ඉහත ඓතිහාසික සංඛ්‍යාලේඛණ අනුව, අවසන් ජාතික මැතිවරණයේදී පැවති තත්ත්වය.

පොහොට්ටුව = 57.0%

මාලිමාව = 6.4%

සජබ = 10.5%

එජාප = 1.0%

2019දී භාවිතා වූ 2020දී නොවැටුණු එජාප ඡන්ද = 22.4% – 10.5% – 1.0% = 10.9%

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් කිසිසේත්ම ලංකාවේ තත්ත්වය නියෝජනය වන්නේ නැහැ. ලංකාවේ දිස්ත්‍රික්ක අතරින් වඩාත්ම “රතු” දිස්ත්‍රික්කය හම්බන්තොට දිස්ත්‍රික්කය බව බොහෝ දෙනෙකු විසින් පිළිගනු ඇතැයි මා සිතනවා. එම දිස්ත්‍රික්කයේ ඡන්දදායක නැමියාව පිළිබඳව අප‍ට දැනට කිව හැක්කේ කුමක්ද?

ආසන්න වශයෙන් පසුගිය සතියක පමණ කාලය තුළ සුදත්ත තිලකසිරි විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයයේ ස්ථාන හතරක මත විමසුම් සිදු කර තිබෙනවා. ඒ වීරකැටිය, මිද්දෙනිය, බෙලිඅත්ත හා තංගල්ල යන ස්ථානයි. මේ මත විමසුම් අහඹු නියැදි සමීක්ෂණ නොවන බැවින් එම මත විමසුම් වලින් දිස්ත්‍රික්කයේ ජනමතය හරියටම නිවැරදිව මැනීමේ හැකියාවක් නැහැ. එහෙත්, එවැනි “පිරිසිදු දත්ත” නොමැති විටෙක කවර හෝ තිබෙන දත්ත නොසලකා නොහැර ප්‍රයෝජනයට ගැනීම සාමාන්‍ය මූලධර්මයයි.

අදාළ මත විමසුම් හතරේ සංයුක්ත ප්‍රතිඵලය (N = 710) පහත දක්වා තිබෙනවා. මෙම නියැදි හතරෙන් එක් එක් නියැදියේ ප්රතිඵලය සංඛ්‍යානමය ලෙස අසමාන නොවන බවද පරීක්ෂා කර තහවුරු කරගත හැකියි. ප්‍රමාණවත් නියැදියක් තිබීමත්, එම නියැදිය වෙනස් ස්ථාන හතරකින් එකතු කර ගෙන තිබීමත්, ඒ නියැදි සංඛ්‍යානමය ලෙස අසමාන නොවීමත් සැලකූ විට මෙම ප්‍රතිඵලය තුළින් සෑහෙන තරම් නිවැරදිව හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය වන බව සිතිය හැකියි.

අනුර = 43.0%

සජිත් = 12.0%

රනිල් = 4.8%

නාමල් = 1.1%

නුවන් බෝපගේ = 0.1%

තීරණය කර නැති = 39.0%

මෙවැනි මත විමසුමකදී තමන්ගේ අභිප්‍රාය සෘජුව ප්‍රකාශ කරන පිරිස අදාළ අපේක්ෂකයාට ඡන්දය ලබා දෙනු ඇති බව විශ්වාස කළ හැකියි. එසේ නොවන්නේනම්, කැමරාවක් ඉදිරිපිට ඒ බව කියන්නේ නැහැ.

දැන් මෙම දත්ත අනුව, අනුරගේ 43.0%ක ප්‍රතිශතයෙන් 6.4%ක් සම්ප්‍රදායික ජවිපෙ ඡන්ද බැවින් අලුතෙන් එකතු වී ඇති කොටස 36.6%ක් පමණයි. එම එකතු වීම සිදු වුනේ සම්ප්‍රදායික එජාප ගොඩෙන් කියා හිතන්න අමාරුයි. මේවා 2020 පොහොට්ටු ඡන්ද. එම පොහොට්ටු ඡන්ද ප්‍රමාණය 57.0%ක් සේ සැලකූ විට එයින් 64.2%ක් අනුර වෙත ආකර්ෂණය වී තිබෙනවා. 2019 පොහොට්ටු ඡන්ද සැලකුවොත්, 63.8%ක්.

පොහොට්ටු ඡන්ද වලින් නාමල් වෙත ඉතිරිව තිබෙන්නේ 1.9%ක් පමණයි. මේ අනුව, පොහොට්ටු ඡන්ද වලින් 34%ක් පමණ තවමත් “ඉතිරිව” තිබෙනවා. මුළු ඡන්ද ප්‍රමාණයෙන් 19.4%ක් පමණ.

සජිත්ගේ ගොඩ දෙස බැලුවොත්, 2020 ඔහුගේ ප්‍රතිශතය වූ 10.5%ට අලුතෙන් එකතු වී තිබෙන්නේ තවත් 1.5%ක් පමණයි. දැන් අපි 2019දී භාවිතා වූ 2020දී නොවැටුණු එජාප ඡන්ද දෙස බැලුවොත්, එයින් සජිත්ට ගොස් ඇති සේ සැලකිය හැක්කේ 1.5%ක් පමණක් බැවින් තවත් 9.4%ක් ඉතුරුයි. ඒ කියන්නේ 2019දී භාවිතා වූ 2020දී නොවැටුණු එජාප ඡන්ද වලින් සජිත් විසින් ලබා ගෙන තිබෙන්නේ 13.8%ක් පමණයි. තවත්, 86.2%ක්ම ඉතුරුයි.

රනිල්ට 3.8%ක් අලුතෙන් එකතු වී තිබෙනවා. එම කොටස එකතු වුනේ 2019දී භාවිතා වූ 2020දී නොවැටුණු එජාප ඡන්ද ගොඩෙන්ද නැත්නම්, ඉතිරි පොහොට්ටු ඡන්ද ගොඩෙන්ද කියා නිශ්චිතව කියන්න අමාරුයි. නමුත් සම්ප්‍රදායික එජාප ඡන්ද සජිත් වෙත නොගොස් ඉතිරිව තිබීම සහ රනිල්ගේ ගොඩ වැඩිවීම සැලකූ විට වඩා හොඳ උපකල්පනය වන්නේ මේ ඡන්ද සම්ප්‍රදායික එජාප ඡන්ද ලෙස සැලකීමයි. මෙම ප්‍රමාණය 2019දී භාවිතා වූ 2020දී නොවැටුණු එජාප ඡන්ද වලින් 34.9%ක්. ඒ අනුව, මෙම ඡන්ද වලින් 13.8%ක් සජිත්ට හා 34.9%ක් රනිල් වෙත යාමෙන් පසුව තවත් 51.3%ක් ඉතිරිව තිබෙනවා. මුළු ඡන්ද ප්‍රමාණයෙන් 5.6%ක්.

අනුර හෝ නාමල් සතුව නැති ඉතිරිව තිබෙන පොහොට්ටු ඡන්ද ප්‍රමාණය 19.4%ක් පමණ වෙද්දී ඉතිරිව තිබෙන එජාප ඡන්ද ප්‍රමාණය 5.6%ක්. මේ ගොඩවල් දෙකම එකතු කළ විට මුළු ඡන්ද ප්‍රමාණයෙන් 25.0%ක්.

දැනට තීරණය කර නැති ගොඩෙන් (39%) ඉහත 25.0% ඉවත් කළ විට ඉතිරි වන 14% නොවැටෙන ඡන්දයි. ඊට අමතරව මෙම 25.0%ක ඡන්ද ප්‍රමාණයෙන්ද යම් කොටසක් නොවැටෙන්නට ඉඩ තිබෙනවා. ඉතිරි කොටස රනිල්, අනුර හා සජිත් අතර යම් අනුපාතයකින් බෙදී යා යුතුයි.

දැනට සජිත් හා රනිල් අතර පරතරය 7.8%ක්. සජිත්ගේ ප්‍රතිශතය එසේම තිබියදී රනිල් විසින් ඉහත 25.0%ක ගොඩෙන් 31.2%ක් ලබා ගතහොත් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ රනිල්ට දෙවන තැනට පැමිණිය හැකියි. මෙම 25.0%ක ගොඩෙන් 22.4%ක් සම්ප්‍රදායික එජාප ඡන්ද. එම කොටස තවමත් රනිල් හෝ සජිත් විසින් ලබා ගෙන නැහැ. මේ ඡන්ද ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකුට ලැබෙනවා. ඉතිරි කොටස තවමත් තීරණය නොවූ පොහොට්ටු ඡන්ද. ඒ ඡන්ද රනිල්, නාමල්, අනුර, දිලිත් වගේම සජිත් වැනි ඕනෑම කෙනෙක්ට ලැබෙන්න පුළුවන්. මේ අය අතරින් අනුර හා සජිත් කාලයක් තිස්සේම තරඟය තුළ සිටියා. අලුතෙන් තරඟයට ආවේ රනිල්, නාමල් සහ දිලිත්. ඒ අය අතරින් ජයග්‍රහණය කිරීමේ යම් විභවයක් තිබෙන්නේ රනිල්ට පමණයි.

හම්බන්තොට දිස්ත්‍රික්කය වැනි සාපේක්ෂව වාසිදායක ස්ථානයකදී අනුර වෙත ආකර්ෂණය වී තිබෙන පොහොට්ටු ඡන්ද ප්‍රමාණය ආසන්නව 64%ක් පමණයි. එම කඳවුරට ඉතිරි ගොඩෙන් තවත් ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට ඇති ඉඩකඩ සලකමින් මා දැනට ඔවුන්ට පොහොට්ටු ඡන්ද වලින් 70%ක් පමණ ලබා ගත හැකි සේ උපකල්පනය කර තිබෙනවා.

පොහොට්ටු ඡන්ද වලින් නාමල් විසින් ලබාගෙන තිබෙන්නේ 2%ක් පමණයි. මම මෙය 5%ක් සේ සලකා තිබෙනවා.

සජබ 2020 ඡන්ද ප්‍රමාණයට අමතරව, 2019දී භාවිතා වූ 2020දී නොවැටුණු එජාප ඡන්ද ගොඩෙන් සජිත් විසින් දැනට ලබා ගෙන තිබෙන්නේ 14%ක් පමණයි. මා උපකල්පනය කර තිබෙන්නේ සජිත්ට මෙම ඉතිරි එජාප ඡන්ද ප්‍රමාණයෙන් 20%-50% අතර ප්‍රමාණයක් ලබා ගත හැකි බවයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් දැනට රනිල් වෙත ගොස් තිබෙන ඡන්ද ප්‍රමාණය සමාන වන්නේ 2020 එජාප ප්‍රතිශතයේ සහ 2019දී භාවිතා වූ 2020දී නොවැටුණු එජාප ඡන්ද ප්‍රතිශතයෙන් 35%ක එකතුවටයි. පොහොට්ටු ඡන්ද කිසිවක් එහි නැහැ. පොහොට්ටු ඡන්ද ලබා ගැනීමේ විභවයක් රනිල් සතුව ඇතත්, ඒ විභවය මිස ඇත්තටම ඒවා ලබා ගැනීමක් තවමත් සිදු වී නැහැ.

ඉහත කී අයුරින් අනුරට, නාමල්ට හා සජිත්ට යම් වාසිදායක සීමාවක් සලකුණු කිරීමෙන් පසුවද, විශාල ඡන්ද ප්‍රතිශතයක් ඉතිරි වෙනවා. එම ප්‍රමාණය කිසිසේත්ම දැනට රනිල් සතුව නැහැ. එහෙත් මේ ඉතිරි කොටස ප්‍රතිඵලය තීරණාත්මක ලෙස වෙනස් කළ හැකි තරම් විශාලයි. හම්බන්තොට දිස්ත්‍රික්කය සැලකුවහොත් තවමත් තීරණය වී නැති හා භාවිතා වීමට ඉඩ ඇති සම්ප්‍රදායික එජාප හා පොහොට්ටු ඡන්ද ප්‍රමාණය මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 25.0%ක්. ඊට සාපේක්ෂව සජිත් ඉන්නේ 12.0% මට්ටමේ. රනිල් ඉන්නේ 4.8% මට්ටමේ.

දැනට දැකිය හැකි තත්ත්වය තුළ ඉදිරියෙන් සිටින අපේක්ෂකයින් දෙදෙනා වන්නේ අනුර හා සජිත්. රනිල් සිටින්නේ තෙවන තැනයි. එහෙත්, රනිල් විසින් ලබා ගන්නා ඡන්ද ප්‍රමාණයට මුල් අපේක්ෂකයින් දෙදෙනාගේ බල තුලනය කෙරෙහි විශාල බලපෑමක් කිරීමේ විභවයක් තිබෙනවා.

බදුල්ල දිස්ත්‍රික්කය

සිංහල බහුතර දිස්ත්‍රික්ක අතරින් (එනම් උතුරු නැගෙනහිර පළාත් හා නුවරඑළිය දිස්ත්‍රික්කය හැර අනෙකුත් දිස්ත්‍රික්ක) පසුගිය 2019 ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත හැකි වූ දිස්ත්‍රික්කය බදුල්ල දිස්ත්‍රික්කයයි. එම ප්‍රතිශතය 38.3%ක්. එහෙත්, 2020 මහ මැතිවරණයේදී සජබ ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 21.6%ක් පමණයි. කෙසේ වුවද, එම ප්‍රතිශතයද එම මැතිවරණයේදී සජබ විසින් ලබාගත් වැඩිම ඡන්ද ප්‍රතිශතයක්. සජබ ඊට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කළේ කොළඹ, නුවරඑළිය හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලදී පමණයි. බදුල්ල දිස්ත්‍රික්කය පොහොට්ටුවට, මාලිමාවට මෙන්ම, සජබ නැති එජාපයටද සුවිශේෂී දිස්ත්‍රික්කයක්ව පැවතුණේ නැහැ.

බදුල්ල දිස්ත්‍රික්කය ලංකාවේ දිස්ත්‍රික්ක අතරින් වඩාත්ම “කොළ” දිස්ත්‍රික්කය ලෙස මා හඳුන්වන්න කැමතියි. අවසන් ජාතික මැතිවරණ වලදී බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද බෙදී ගොස් තිබුණේ පහත පරිදියි.

පොහොට්ටුව = 46.3%

මාලිමාව = 2.9%

සජබ = 21.6%

එජාප = 1.4%

2019දී භාවිතා වූ 2020දී නොවැටුණු එජාප ඡන්ද = 38.3% – 21.6% – 1.4% = 15.3%

බදුල්ල ටීවී විසින් පසුගිය සතිය තුළ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ හතක සිදු කර ඇති මත විමසුම් අප විසින් සලකා බැලුවා. එම ප්‍රදේශනම්, වැලිමඩ, ඌවපරණගම, බණ්ඩාරවෙල, මහියංගනය, හපුතලේ, දියතලාව, හාලිඇල සහ කන්දකැටිය-වියලුව ප්‍රදේශයි.

අදාළ මත විමසුම් හතේ සංයුක්ත ප්‍රතිඵලය (N = 1,641) පහත දක්වා තිබෙනවා.

අනුර = 17.5%

සජිත් = 21.3%

රනිල් = 9.3%

නාමල් = 0.5%

සරත් ෆොන්සේකා = 0.1%

තීරණය කර නැති = 51.5%

දිස්ත්‍රික්කය තුළ ඉදිරියෙන් සිටින්නේ සජිත්. එහෙත්, සජිත් විසින් තහවුරු කරගෙන තිබෙන ඡන්ද ප්‍රතිශතය සජබ 2020 ප්‍රතිශතයටද වඩා අඩුයි. ඒ කියන්නේ 2019දී භාවිතා වූ 2020දී නොවැටුණු එජාප ඡන්ද කිසිවක් සජිත් විසින් ආකර්ෂණය කරගෙන නැහැ. ඒ අනුව, රනිල් විසින් 7.9%ක් වැඩි කරගෙන තිබෙන්නේ එම ඡන්ද ආකර්ෂණය කර ගැනීමෙන් කියා සිතන්න පුළුවන්. එම ප්‍රමාණය 2019දී භාවිතා වූ 2020දී නොවැටුණු එජාප ඡන්දවලින් 51.6%ක්.

වැදගත්ම කරුණ වන්නේ 2019දී සජිත් වඩාත්ම ශක්තිමත්ව සිටි බදුල්ල දිස්ත්‍රික්කයේ දැන් සජිත් සිටින්නේ 2020දී සිටි තැනටත් පහළින් බවයි. රනිල්ගේ හා සජිත්ගේ ප්‍රතිශත ඉවත් කළ විට සම්ප්‍රදායික එජාප ඡන්ද ප්‍රතිශතය සේ සැලකිය හැකි 38.3%ක ප්‍රමාණයෙන් 7.7%ක ප්‍රමාණයක් තවමත් තිබෙන්නේ අතීරක ඡන්ද ලෙසයි.

බදුල්ල දිස්ත්‍රික්කය තුළ මාලිමාව ස්ථානගත වී සිටින්නේ කොහොමද?

මාලිමාව විසින් ආකර්ෂණය කරගෙන ඇති 17.5%ක ඡන්ද ප්‍රමාණයෙන් 2.9%ක් සම්ප්‍රදායික මාලිමා ඡන්දයි. ඒ අනුව, ඉතිරි කොටස 14.6%ක්. එම ප්‍රමාණය පොහොට්ටුවේ 46.3% ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස 31.5%ක්. මේ අනුව, බදුල්ල දිස්ත්‍රික්කයේ පොහොට්ටු ඡන්ද වලින් 31.5%ක් මාලිමාව විසින් ආකර්ෂණය කරගෙන තිබෙනවා. නාමල් සතු කරගෙන තිබෙන්නේ එම ඡන්ද වලින් 1.1%ක් පමණයි. ඒ අනුව, ඉතිරි කොටස 67.4%ක්. මුළු ඡන්ද ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස 31.2%ක්.

බදුල්ල දිස්ත්‍රික්කයේ මුළු ඡන්ද ප්‍රමාණයෙන් 31.2%ක් තවමත් “පාවෙන” පොහොට්ටු ඡන්ද. තවත් 7.7%ක් පාවෙන එජාප ඡන්ද. එකතුව 38.9%ක්. තීරණය කර නැති 51.5%ක ප්‍රමාණයෙන් ඉතිරි 12.6% සාමාන්‍යයෙන් භාවිතා නොවන ඡන්ද. කොයි පැත්තකට හෝ පා වී යා හැකි මෙම 38.9% අනුර, සජිත් හා රනිල් විසින් අයිති කරගෙන තිබෙන ප්‍රතිශත වලට වඩා බෙහෙවින්ම වැඩියි.

සියලුම ජනමත සමීක්ෂණ හා මත විමසුම් වල පිළිබිඹු වන්නේ අයිස් කන්දක මතුපිට කොටස පමණයි. දිය යට තිබෙන කොටස විශාල කොටසක්. කෙසේ වෙතත්, හම්බන්තොට හා බදුල්ල දෙස බලා යම් නිගමන වලට පැමිණිය හැකියි.

  1. සාපේක්ෂව අවාසිදායක බදුල්ල වැනි “කොළ” දිස්ත්‍රික්කයකදී පවා මාලිමාව විසින් පොහොට්ටු ඡන්ද වලින් 31%ක් ආකර්ෂණය කරගෙන ඇති බව.
  2. සාපේක්ෂව වාසිදායක හම්බන්තොට වැනි “රතු” දිස්ත්‍රික්කයකදී පවා එම ප්‍රමාණය 64%ක් නොඉක්මවන බව.
  3. සජිත් විසින් දැනට ආකර්ශනය කරගෙන තිබෙන්නේ 2020 සජබ ඡන්ද ප්‍රමාණය මිස 2019දී ඔහු විසින් ලබාගත් සම්ප්‍රදායික එජාප ඡන්ද සියල්ල නොවන බව.
  4. රනිල් හා සජිත් එකතුව ආකර්ෂණය කරගෙන තිබෙන්නේද සම්ප්‍රදායික එජාප ඡන්ද ප්‍රමාණයෙන් කොටසක් පමණක් බව සහ ඉතිරි කොටස තවමත් “ඉතිරිව” ඇති බව.
  5. නාමල් සතුව පොහොට්ටු ඡන්ද එපමණ ප්‍රමාණයක් රැඳී නොමැති බව.
  6. මාලිමාව වෙත දැනටමත් විතැන් වී නොමැති පොහොට්ටු ඡන්ද විශාල ප්‍රමාණයක් තවමත් “පාවෙමින්” ඇති බව සහ එම ඡන්ද රනිල් විසින් තවමත් ආකර්ශනය කරගෙන නොමැති බව.

මේ සටහන් පළ කිරීමේ අරමුණ මැතිවරණ ප්‍රතිඵල පුරෝකථනය කිරීම නොව අපට ලබාගත හැකි දත්ත වල ඇති තොරතුරු තේරුම් ගත හැකි ආකාරය, අඩු වශයෙන් මා පෞද්ගලිකව තේරුම් ගන්නා ආකාරය, පැහැදිලි කිරීමයි. මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි වෙනත් කරුණු රැසක් බලපෑ හැකියි. එහෙත්, එවැනි කරුණු පිළිබඳව විග්‍රහ කළ හැක්කේ වෛෂයික ලෙස (subjectively) පමණයි.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan