සේනක බටගොඩ මට මුනගැහෙන්නෙ යුටියුබ් එකෙන්. ඒ ‘අපි කවුරුද’ සිංදුවත් එක්ක. එයා මුලින්ම ඒක ගායනා කරන විඩියෝවක් යුටියුබ් එකේ තිබුන. ඊට පස්සෙ කාලෙක ඒ සිංදුව සංගීත් විජේසූරිය එයාගෙ බෑන්ඩ් එකට පාවිච්චි කළා. මං බටගොඩගෙ වර්ෂන් එක අහලා එයාව හොයාගන්න නොසෑහෙන්න උත්සාහ කළා. මොකද මට අජිත් කුමාරසිරි වගේම මහ ජනතාව විසින් නොතකා හැරපු වෙනම ‘කල්ට්’ සංගීතයක් සේනකගෙන් ඇහුන.
කොහොම හරි මගේ Bitter Lips පොත එලිදැක්වීමේදි සේනක මුනගැහිලා ඒ හැන්දෑවට සිංදු කීපයක් කියන්න ආරාධනා කරන්න පුළුවන් වුනා. එයාගෙ සංගීතය හොයාගෙන මිනිස්සු එනවා කියන එකත් ඒ වෙද්දි සේනකට ලොකු සතුටක්. නැත්නම් තමන් සිංදු හදලා අනුන්ට දීලා සතුටු වෙන්නයි එයාට සිද්ද වෙලා තිබුනෙ.
ඊට පස්සෙ එකපාරටම සේනක බටගොඩට ආදරය කරන විශාල පිරිසක් නිර්මාණය වුනා. ගොඩක් පහුවෙලා වුනත් එයාට තමන්ගේ සංගීතයේ ආශ්චර්යය දැකගන්න පුළුවන්කම ලැබුන.
සේනක බටගොඩ ලියන වචන වෙනස්. ඒ වචන පිටිපස්සෙ සාංදෘෂ්ටික බලාපොරොත්තුවක් තියෙනවා. සියල්ල මරණයෙන් අවසන් වන ශුන්‍යතාවයකුත් තියෙනවා. මට හිතෙන්නෙ සේනක බටගොඩ කියන්නෙ ලංකාවෙ Folk Rock Artist කෙනෙක්.
ඒ වචන, ඒ මෙලඩි තිබුනෙ සේනක ළග විතරයි. ඊට කලින් හෝ පස්සෙ නැවත ඒ වගේ වැඩ කරන්න පුළුවන්කමක් නෑ. ඒක සේනකගේ ආර්ට් එක. අපිට පුළුවන් එයාගෙ සිංදු අරගෙන කුලියට කියන්න විතරයි. හැබැයි ඒ ස්පිරිට් එක එයාගෙ.
සේනක බටගොඩ විශාල ප්‍රේක්ෂාගාරයක් විසින් වැළඳගන්නා හැටිත්, එයාගෙ ‘කල්ට්’ ගතිය මහා ධාරවට මුහුවෙන හැටිත් මං ආසාවෙන් බලන් හිටියා. සේනක බටගොඩ කියන්නෙ මට අනුව සංතෘප්ත වුනු පුරාවෘත්තයක්. ඒ සුන්දර අසිරිමත් සංගීතවේදියා විඳින්නට, වැළඳගන්නට ලැබීම ගැන මට තියෙන්නෙ නොමියෙන ආදරනීය හැගීමක්.
සුබ ගමන් සේනක. අපි කවුරුද කියලා හොයාගෙන යන සංසාර චාරිකාවෙ ආයිමත් වචන ගැටගැහුනොත් සිංදුවක් කියන්න
~ චින්තන ධර්මදාස
RN