*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

ක්‍රීඩාව ගැන සද්දයක් නැති ඡන්දයක්

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 21, (LNW) කොළඹ :

අද ශ්‍රී ලංකාවේ නවවන විධායක ජනාධිපතිවරයා පත්වන දවස.කවුරුහරි කෙනෙක් නවවන විධායක ජනාධිපතිවරයා ලෙස පත් වෙයි.ඒත් මිනිස්සු ඒ ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙ අදහස් එක්ක එකඟ වෙලා තමන්ගෙ හිත මිත්‍රකම් පවා පළුඳු කරගෙන වැඩ කළ බව මිස,මේ ඡන්දය වෙනුවෙන් තමන්ගෙ අපේක්ෂාවන් වෙනුවෙන් අපේක්ෂකයෙක් සකස් කර ගත්තද කියන කාරණය මේ ඡන්දෙන් පස්සෙත් ඉතුරු වෙයි.


තනි තනිව නෙමෙයි විශේෂයෙන් තමන්ගෙ නියෝජන කේෂ්ත්‍ර ඇතුළෙ ඡන්දෙ වෙනුවෙන් වැඩ කරපු මිනිස්සු අපේක්ෂකයෙක් සොයා ගත්තා හැරෙන්න තමන්ගෙ අපේක්ෂාවන් සඳහා සුදුසු නියෝජනයක් සොයා ගත්තෙ නැහැ.ක්‍රීඩාව සම්බන්ධයෙනුත් රටේ ඉදිරි අපේක්ෂාවන් බල ගන්වන විදිහට සැළසුම් ඉදිරිපත් නොවුණු මැතිවරණයක නිමාවක් තමයි අපිට ඉතුරු වෙන්නෙ.තමන් විවිධ හේතු නිසා කැමති අපේක්ෂකයෙක් තෝරගෙන දේශපාලන වේදිකාවට ගොඩ වුණ කීඩාවට සම්බන්ධ අය අපට මේ මැතිවරණයෙදිත් දකින්න ලැබුණා.ඒ හැරෙන්න ක්‍රීඩාව තෝරගෙන ලංකාවෙ ජනාධිපති අපේක්ෂකයින්ට ක්‍රීඩාව ගැන සැළසුමක් ඉදිරිපත් කරලා කුමන පාළකයන් යටතෙ හරි එය සාක්ෂාත් කර ගැනීම කෙරෙහි අවධානය දිනා ගන්න උත්සාහ කළ පොදු වූ අරමුණකින් වැඩ කරන මිනිස්සු අපට ක්‍රීඩාව ඇතුළෙ දකින්න ලැබුණෙ නැහැ.


රටේ ක්‍රීඩා සම්පත් විමධ්‍යගතවීම,රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තරයට යාමට තියෙන ඉඩ පහසුකම්,ක්‍රීඩා සම්මේලන සහ සංගම්වල ස්වාධීන්තවය,තවමත් 1973 හිර වී තිබෙන ක්‍රීඩා පණතේ ඇති දේශපාලන අධිකාරීත්වය වැනි කාරණා ඔස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව ධනාත්මක පැත්තට වෙනස් වෙන්න අවශ්‍යය කාරණා මේ ඡන්ද වේදිකාවල ඇහුණෙ නැහැ.ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකතු කරලා කරපු සම්මේලන සම්මන්ත්‍රණ ප්‍රසිද්ධ වුණේ නැහැ.අනිත් හැම කේෂ්ත්‍රයකම වගෙ ක්‍රීඩාව සම්බන්ධවත් ජනාධිපති අපේක්ෂකයින්ට එන්න කියලා ඒ අයට අහගෙන ඉන්න ක්‍රීඩාව ගැන ක්‍රීඩාවේ ප්‍රවීනයන් කතා කරන වැඩ සටහනක් සංවිධානය කර ගන්න බැරි වුණා.


ඒ වෙනුවට සමහර ක්‍රීඩා කේෂ්ත්‍රෙය ප්‍රවිනයො කළේ තමන්ගෙ අභිමතය පරිදි තෝරා ගත්තු අපේක්ෂකයින්ට සමීපව ඔවුන්ගෙ වේදිකාවලට ගොඩවීම,ඔවුන්ගෙ රැලිවලට සහභාගි වීම,මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සම්බනධ වීම,තමන්ගෙ සමාජජාලා වෙබ් අඩවිවල ඒ අපේක්ෂකයන් වෙනුවෙන් පෙනී සිටීම වැනි කාරණාවන්.මේක තමයි සාමාන්‍ය විදිහට අවුරුදු හැත්තෑ ගණනකම දේශපාලනයෙ වෙලා තියෙන්නෙ.හැබැයි ඒ විදිහට හැසිරෙන ඡන්දදායකයා කියන්නෙ තමන්ගෙ අපේක්ෂකයා අවුරුදු හැත්තෑ ගණනක තිබුණු යාන්ත්‍රණය වෙනස් කරයි කියලයි.


රනිල් වික්‍රමසිංහ බංකොළොත් භාවයෙන් රට මුදවා ගැනීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවයකට පැමිණ ඇති බව කිව්වම,ඊට විරුද්ධ කිසිවෙක්ට අදහසක් තිබුණෙ නැහැ මිනිස්සුන්ට කියන්න ඒකෙ තියෙන රටට වාසිදායක තත්ත්වය නිසා තමන් බලයට පැමිණියහොත් රටේ සංවර්ධන ඉලක්කවලට යන්න ඒක පහසුවක් කරගන්න බව.හැමෝම කියන්න උත්සාහ කළේ ඒක බොරුවක් කියලා ඒකෙ පලදායිතාවය බිංදුව කරලා පෙන්නන්න.මේක තමයි ලංකාවෙ අවුරුදු ගණනින් එකිනෙකා තමන්ගෙ මතය අනුව බෙදලා පෙන්නන දේශපාලනයෙ ඇත්තම තිත්ත තත්ත්වය.කවුරුත් කිසිම හොඳ දෙයක් කරලා නැහැ තමන් රට හොඳ කරන්න අලුතෙන් පටන් ගන්න අවශ්‍යය බව පෙන්වීම.


මේක හැම කේෂ්ත්‍රයකටම අදාළයි.තමන්ට පමණක් කළ හැකිය කියා කියන කාරණය වටා ප්‍රශ්න කිරීම්වලින් තොරව මිනිස්සු එකතු වෙනවා.පෞද්ගලිකව තමන්ට කැමති වෙන්න පුළුවන් සීමාවන් නිර්ණය කරගෙන හෝ වැඩි දෙනෙක් කැමති වෙන නිසා ඡන්දය පාවිච්චි කරනවා.ලංකාවෙ ක්‍රීඩාවට සම්බන්ධ විවිධ මට්ටමේ වෘත්තිය චරිතවල ඉදලා ප්‍රෙක්ෂකයා සම්බන්ධයෙන් ගත්තත් ක්‍රීඩාව මැතිවරණයක ලොකු කතාවක් නොවිම ගැන අදහසක් තිබුණෙ නැහැ නේද?එහෙම අවශ්‍යය නැහැ.ක්‍රීඩාවෙ සම්බන්ධතා අපේක්ෂකයන්ගෙ ජයග්‍රහණවලට යොදවන මනුස්ස රූප ටිකක් තමයි අපට දකින්න ලැබුණෙ.


ක්‍රීඩාව ගැන සමාජ මාධයවල හොඳටම වයිරල් වෙච්චි කතාව අපේක්ෂකයෙක් හැටියට කිව්වෙ සජිත් ප්‍රේමදාස.ඒ යාපනයෙ ටෙස්ට් ග්‍රවුන්ඩු එකක් හදන කතාව.හැබැයි ඒක හුග දෙනෙක්ගෙ අතට ගියෙ සජිත්ව ජෝක් කරන වැඩක් විදිහට.ඇත්තටම යාපනයට එහෙම ටෙස්ට් ග්‍රවුන්ඩ් එකක් දෙනවා කියන ජෝක් එකක් ද?ලංකාවට තනිව ලෝක කුසලානයක් කරන්න තවත් දිවා රාත්‍රී තරග පැවත්විය හැකි ක්‍රීඩා පිටියක් අවශ්‍යය බව කියවෙනවා.ඒක යාපනයට ගියොත් නරකද? යාපනයෙ මිනිස්සුන්ට ඒක වැදගත් නැද්ද?ඔබ ප්‍රේමදාස පිටියෙ තරග නරඹන්න ගිහිං තියෙනවනම් ඒ තරගයක් දවසට ඒ අවට මිනිස්සු තමන්ට තියෙන අල්ලක් තරම් ඉඩේ වාහනයක් දාන්න ඉඩ දීලා කීයක්නම් හොයනවද කියලා ගණන් හදලා තියෙනවද?විශේෂයෙන් යතුරු පැදි.


දැන් ක්‍රීඩා කරන්න සජිත්ට ඡන්දය දෙන්න කියන එකක් විදිහට මේ අදහස නොගෙන ක්‍රීඩාවට සම්බන්ධ අය ක්‍රීඩාව වෙනුවෙන් අපේක්ෂකයන්ගෙන් ඉල්ලපු සහ ඒවට අනුමැතිය දීලා වේදිකාවෙ කතා කරපු දේ මොනවද කියලා හිතන්න.යාපනයම ගන්න.ලංකාවෙ වෙන විදිහක තැනක්.එහෙම තැනක ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණයක් හැදුණොත් වෙනස් දේශලුණික මට්ටමක පුහුණුවකට එහි ක්‍රීඩකයන්ට වැඩ කරන්න බැරි වෙයිද?ඒ වගෙම අවුරුදු ගණනාවක් තිස්සෙ කටින් හිටවන බතල වී තිබෙන නුවරඑළිය ජාත්‍යන්තර ක්‍රීඩා සංකීරණය.


මේ විදිහට සජිත්වත් ටෙස්ට් ක්‍රීඩාංගණය ගැන කියනවා ඇරෙන්න විපක්ෂයෙ ඉද්දිත් තමන්ගෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආණ්ඩුවෙන් සම්පත් නොලැබුණු විට දි කරපු දේවල් කිවවෙ නැහැ.ඇයි ඒ එහෙම කේෂ්ත්‍රමය වශයෙන් කරපු දේවල් සහ කරන දේවල් කියා ආකර්ශණය ගන්න අවශ්‍යය නැහැ.තමන්ට මිනිස්සු ටිකක් ක්‍රීඩාවෙ ඉන්නවා.ඒ අය ක්‍රීඩාවට අවශ්‍යය දේ වුණත් නැතත් තමන්ට අවශ්‍යය දේ වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරනවා කියන ඥාණය ලංකාවෙ දේශපාලකයින් දන්නවා.
ලංකාවෙ ක්‍රීඩා කේෂ්ත්‍රයන් හී නිරත අය වෙනුවෙන් මහා සම්මේලන පවත්වන්න පක්ෂ අපේක්ෂකයන්ට ඕනි වුණේ නැහැ.වෙනත් කේෂ්ත්‍රවලත් එහෙමයි.ඒ ඒ පක්ෂවලට කැමති අය එකතු වෙලා ඒ පක්ෂය විසින් කරන සමුළු සම්මන්ත්‍රණවලට සම්බන්ධ වුණා.කවුරුත් තමන්ගෙ වෘත්තිය ඇතුළෙ පක්ෂයක් අපේක්ෂකයෙක් ප්‍රධාන කරගන්නෙ නැතුව ඒ අය එකතු වෙලා ඇවිත් අපිට ඕනි දේ අහපං කියලා අපේක්ෂකයො ටික ඉන්දවගෙන කතා කරේ නැහැ.
මේක සමහරු එක්ක කතා කරාම කිව්වෙ එහෙම කවදාවත් වෙලා නැහැනෙ කියලා.ඒක තමයි අවුරුදු හැත්තෑ ගණනක් රට මෙහෙම තියෙන්න එක හේතුවක්.බලය ලබා ගන්න පක්ෂ පුද්ගලයො,පක්ෂ නෙමෙයි,බලය ලබා දෙන අයත් වෙනස් වෙන්න අවශ්‍යය වෙනවා නේද?


බෙදුණු සමාජයක් තමයි මේ ඡන්දයෙදි පේන්න තියෙන්නෙ.දිගම ඡන්ද කොළය කියන්නෙ මටනම් එහෙම අදහසක්.ඡන්දදායක පුරවැසියා අවතක්සේරුවට ලක් කරන තත්ත්වයක්.තේරෙන භාෂවෙන් කිව්වොත් මේ රටේ මිනිස්සුන්ගෙ ආත්මයට දැනෙන්න ඕනි කිණ්ඩියක්.
ක්‍රීඩාව කියන්නෙ ශක්ති සම්පන්න,නිරෝගි සහ කාර්යශූර පුරවැසියෙක් හදන රටක ප්‍රධාන වැඩ පිළිවෙල හැටියට මතුවෙන්න ඕනි විෂය.කවුරුත් ඒක මායිම් කළේ නැහැ.ඒකට අපේක්ෂකයො වගකිව යුතුද?නැහැ.අපේක්ෂකයො ළඟ වැටුණු,පක්ෂ ගැන ගුණ ගායනා කළ ඒ කේෂ්ත්‍රයෙ මිනිස්සු කේෂ්ත්‍රෙය් එකතුව ගැන වෙනුවට තමන්ගේ පෞද්ගලික රුචි අරුචිකම් මත පක්ෂවලට එකතුවීම මූලික කර ගැනිම නිසා වෙච්චි අවුලක් තියෙන්නෙ.ඒ නිසා කිසිම පක්ෂයකට වැදගත් මාතෘකාවක් විදිහට මේ මැතිවරණය පුරාවටම ක්‍රීඩාව ගැන එහි ඉදරි සැළසුම් ගැන,ජාත්‍යන්තර ජය ගැනීමට අවශ්‍යය පහසුකම් සංවර්ධනය ගැන කතා කරන්න අවශ්‍යය වුනේ නැහැ.


ඒ නිසා කවුරු ආවත් ඒ මුල් කාලයෙ තියෙන සතුට ආනන්දය ඇරෙන්න,ඒ පත්වන පුද්ගලයාගේ සමීපතම කෙනෙක්ට ලැබෙන භෞතික වටිනාකම් ටිකක් ඇරෙන්න ලංකාවෙ ක්‍රීඩාවෙ මහා වෙනස්කමක් කරන්න ලැබෙන එකක් නැහැ.හැබැයි අඩුම ගණනෙ පත්වන රජය බාධා නොකරනවනම් ඡන්දෙන් පස්සෙ එළැඹෙන පළමු මොහොතේ දී ම හෝ ක්‍රීඩාවෙ නියැලෙන මිනිස්සු පක්ෂ පාට පුද්ගලයො අත ඇරලා එකතු වෙන්න.අවුරුදු හැත්තෑ හයේම කොටසක් හැටිය තමන් පිටත් වගකීම දාගන්න.අරූ එපා මූ එපා න්‍යායෙන් මිනිස්සු පක්ෂවලින් ඈත් කරන්නෙ නැතුව පත්වන රජයකට ක්‍රීඩාව කරගෙන යන්න ඕනි මෙහෙමයි කියලා අදහසක් ඉදිරිපත් කරන්න.


කුමන හෝ කේෂ්ත්‍රයක අභිවෘද්ධිය වෙනුවෙන් කළ යුත්තේ තමන්ගේ පක්ෂයේ පිරිස එකතු වීම නොවන බවත්,අදාළ කේෂ්ත්‍රෙය් පිරිස එක්ව එම කේෂ්ත්‍රෙය් හෙට දවස ගැන අදහසක් සැළසුමක් සකස් කර ගැනීම බවත්,කඩා වැටීමේ එක් ප්‍රධාන හේතුවක් වන්නේ එය බවත් තේරුම් ගන්න.එය ඡන්දයට පෙර තේරුම් නොගැනීම නිසා මේ ඡන්දය ක්‍රීඩාව ගැන සද්දයක් නැතුව සිද්ධ වුණු ඡන්දයක් වූ බව තේරුම් ගන්න. එසේ නොවන තැන් හී ඔබ යොදන x ලකුණ කැමත්ත හෝ දියුණුවේ අභිලාශයන් විදිහට නොව වැරද්ද සළකුණු කිරීමක් විය හැකිය.2019 දි සිද්ධ වුයේ ද එවැනිම දෙයකි

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan