ශ්‍රී ලංකාව ඊයේ (12) දිනයේදී තමන්ට විදේශ ණය ගෙවීමේ හැකියාවක් නොමැති බවත් විදේශ ණය සහ පොළී වාරික ගෙවීම තමන් ඒකපාර්ශ්විකව අත්හිටුවන බවත් නිවේදනය කළේය. ඒ, ඉතිහාසයේ පළමු වරට ය.
ඒ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ විදෙස් ණය ආපසු ගෙවීමේ හැකියාව නැත්තටම නැතිවී ගොස් ඇති බවකි. අප්‍රේල් 18 වැනි දිනට ගෙවීමට ඇති ණය මුදලක් ඇති බවත් එය පෙර දැනුම්දීමකින් තොරවම නොගෙවා පැහැර හැරියහොත් ප්‍රතිඵල වඩාත් නරක වියහැකි නිසා මෙසේ ණය ගෙවීම් අත්හිටුවීමට තීරණය කළේයැයි නිවේදනය කළ බවත් ඒ මහතා එහිදී සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර සොයාබැලීමේදී අපට අනාවරණය වූයේ අප්‍රේල් 18 වැනි දිනට ගෙවීමට ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 78ක මුදලක් පමණක් බවයි. ඉන් ඉදිරියට ජුලි මස 18 වැනිදා දක්වාම ගෙවීමට ඇත්තේ ඊටත් වඩා අඩු වාරික 5 කි. විශාල මුදලක් වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1029.38ක් ගෙවීමට ඇත්තේ ජුලි 25 වැනිදාට ය.
ඇමරිකානු ඩොලර් මිලියන 78ක් යනු ලොකු මුදලක් බව ඇත්තය. එහෙත් අප මේ කතා කරන්නේ ශ්‍රී ලංකාව නම් රටක් ගැන මිස තනි පුද්ගල ව්‍යාපාරයක් ගැන නොවේ. එහෙයින් ඩොලර් මිලියන 78ක් යනු ශ්‍රී ලංකාවට නොනිල වශයෙන් බංකොලොත්භාවය ප්‍රකාශයට පත්කිරීමට තරම්ම අතිවිශාල මුදලක් නොවන බව අපේ හැඟීමයි. එය ශ්‍රී ලංකාවට සතියක ඉන්ධන සැපයුමටවත් ප්‍රමාණවත් මුදලක් නොවේ.
පසුගිය කාල සීමාව පුරාවටම අපි නැවත ණය ගනිමින් හෝ ණය සහ පොළී වාරික ආපසු ගෙවමින් සිටියෙමු. දැන් මේ නොනිල බංකොලොත්භාවය ප්‍රකාශයට පත්කිරීමත් සමග උදාවන්නේ “අපි ණය ගෙවන්නෙත් නෑ – අපට ණය ලැබෙන්නෙත් නෑ” යන තත්වයයි. රටක් වශයෙන් අප මින් පා තබා ඇත්තේ පතුළක් නැති අගාධයකට ය.
පසුගිය සමය තුළ විපක්ෂයේ ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ඇතුළු ආර්ථික විශේෂඥයින් සහ ෆේස්බුක් ආර්ථික විද්‍යාඥයින් පුන පුනා කියමින් සිටියේ ණය නොගෙවා ඒ මුදල් පරිභෝජනය සඳහා යොදාගත යුතු බවකි. එය ජනප්‍රිය මතයක් බවට ද පත්ව තිබිණි. නව මහබැංකු අධිපතිවරයාත් මේ ජනප්‍රිය මතයට යට වූ බවක් පෙනේ. අනෙක් අතට කොහෙන් හෝ මුදල් සොයනවාට වඩා ණය ගෙවීමට මුදල් නැතැයි කීම පහසු ය.
එහෙත් මේ ඩොලර් මිලියන 78 සහ ජුලි අවසානය දක්වා ගෙවීමට ඇති අනෙකුත් වාරික ශ්‍රී ලංකාවේ මිතුරු රටවල් සහ පාර්ශ්වවල සහාය ලබාගනිමින් කෙසේ හෝ අමාරුවෙන් ගෙවාගෙන ගියේ නම් – රට බංකොලොත් යැයි නොනිල වශයෙන් නිවේදනය කිරීමට හදිසි නොවුණි නම් – ජුලි 25 වනවිට චීනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2200ක ණය මුදල අනුමත කරවා ගන්නටත් තිබිණි. අමාරුවෙන් හෝ එසේ කළේ නම් ශ්‍රී ලංකාව තවදුරටත් බංකොලොත් නොවූ රටක් ලෙස ජාත්‍යන්තර ගනුදෙනුවල නිරත වන්නට තිබිණි. එහෙත් හදිසියේ ඊයේ රජය නිකුත් කළ නිවේදනයේ ප්‍රතිඵල වශයෙන් ජාත්‍යන්තර ෆිච් රේටිංස් ආයතනය ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික බැංකු 13ක ශ්‍රේණිගත කිරීම් පහළ හෙලීම සම්බන්ධයෙන් තමන් නිරීක්ෂණයක නිරත වන බවකි. මේ ගැන කියන්නට ඇත්තේ “බුලත් මල්ලට හෙණ ගැසුවාට පසු හුණු කිල්ලෝටය ගැන කවර කතාද ?” කියාය. රට ඉදිරියේ ඇත්තේ බිහිසුණු ආර්ථික ඉරණමකි.
ඒකපාර්ශ්විකව ණය ගෙවීම් නොකරන බව නිවේදනය කරන්නට පෙර IMF සමග යම් නිශ්චිත අවබෝධතාවයකට පැමිණෙන්නට හැකිවූයේ නම්, ණය හිමියන් සමග සාකච්ඡා කර යම් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාදාමයක සේයාවක් හෝ ආරම්භ කරගැනීමට හැකිවූයේ නම් තත්වය මීට වඩා තරමක් හෝ හොඳ වන්නට තිබිණි. එහෙත් සිදුව ඇත්තේ එය නොවේ.
අනෙක් අතට නන්දලාල් වීරසිංහ මහතාගේ ක්‍රියාදාමය විපක්ෂයේ ආර්ථික විශේෂඥ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ද පැසසුමට ලක්ව තිබිණි. ඇත්තෙන්ම මේ රජය පසුගිය මාස දෙකක පමණ කාලයක සිට කරමින් සිටින්නේ ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසූ දේවල් ය. එහෙයින් ඒ මහතාත් තවදුරටත් විපක්ෂයට වී මේවායේ අඩු ලුහුඬුකම් දේශනා කරමින් සිටිනවා වෙනුවට පාර්ලිමේන්තුව තුළ යම් එකඟතාවක් යටතේ මුදල් අමාත්‍යාංශයේ වගකීම භාරගැනීම වඩාත් සුදුසු බවකුත් රටට පෙනේ. මන්දයත් මේ ක්‍රියාවල වගකීම ඒවා කරන්නැයි කියූ විශේෂඥයින්ම භාරගත යුතු නිසාය.
පිළිතුරු දීමේ අයිතිය –
මේ සම්බන්ධයෙන් මීට අදාළ ඕනෑම පාර්ශ්වයකට කරුණු දැක්වීමක් සිදුකිරීමට අවශ්‍ය නම් ඔවුන්ගේ පිළිතුරු දීමේ අයිතියට ගරු කරමින් ඔවුන් එවන ඕනෑම පිළිතුරක් සංස්කරණයකින් තොරවම පළකිරීමට ලංකා නිව්ස් වෙබ් අප සූදානම් ය.