සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 15,(LNW) කොළඹ :
පකිස්තානයේ සංචාරයක යෙදෙන ශ්රී ලංකා ඒ කණ්ඩායමට,පකිස්තාන ඒ කණ්ඩායම සමඟ පැවති තරගයේ පළමු ඉණිමේ දැක් වූ දුර්වලතාවය හේතුවෙන් කඩුලු 7 ක පරාජයක් අත් විඳින්නට සිඳු වුණා.කුරාම් ෂෂාද් සහ කසීෆ් අලි නම් වූ පකිස්තාන ඒ කණ්ඩායමේ ආරම්භක වේග පන්දු යවන්නන් දෙදෙනා ඉදිරියේ කඩුලු 9 ක් ම පුද කරපු ශ්රී ලංකා කණ්ඩායම සිය පළමු ඉණිමේදී ලකුණු 115 ට සියල්ලන් දැවී ගියා.
එහිදී කසීෆ් අලි ලකුණු 31 ට කඩුලු 5 ක් දවා ගත් අතර දකුණත් පිතිකරුවන්ගේ කඩුල්ල ඇතුළට විශාල වශයෙන් දෝලනය වන පන්දුව කියවා ගැනීමේදී ශ්රී ලංකා පිතිකරුවන් දැඩි දුර්වලතාවයක් දක්වන බව පෙණුනා.කුරාම් ෂෂාද් ලකුණු 32 ට කඩුලු 4 ක් දවා ගන්නට සමත් වුණා.ශ්රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වුණ සොනාල් දිනූෂ ලකුණු 30 ක් ලබා ගත්තා.
පකිස්තානයට මේ ලකුණු ප්රමාණයත් සමඟ පළමු ඉණිමේ විශාල වාසියක් ලබා ගැනීම පහසු කාර්යයක් වුණා.ඒත් පළපුරුදු විශ්ව ප්රනාන්දු සමඟ ශ්රී ලංකා පන්දු යවන්නෝ ඒ විශාල වාසිය ලකුණු 258 ක් වෙද්දී නවතාලන්නට සමත් වූහ.වීශ්ව ලකුණු 44 ට කඩුලු 4 ක් බිඳ දැම්මේය.ඔවුන්ගේ ඉණිමේ අර්ධ ශතක තුනක් වාර්තා විණි.අලි ෂර්යාබ් (55),හුසේන් ටලාට් (56) සහ රෙහේල් නසීර් (55) එම පිතිකරුවෝ වූහ.
දෙවන ඉණිමේදී හ්රී ලංකා පිතිකරුවන් පළමු ඉණිමේ වරදට යළි ඉඩ නොතැබීය.අර්ධ ශතක හතරක් මත ශ්රී ලංකා ඉණිම ලකුණු 364 ක් දක්වා ගියේය.පසුපෙළින් පැමිණ වේගවත් ලකුණු 73 ක් ලැබූ වනුජ සහන් ඉණිමේ වැඩිම ලකුණු ලාභියා විය.වනුජ සහ පළමු ඉණිමේ ලකුණු 30 ක් ලැබූ සොනාල් දිනූෂ (60) අතර අටවන කඩුල්ලට ලකුණු 130 ක සබඳතාවයක් ගොඩ නැඟිණි.එය ඉණිමේ විශාලම කඩුලු සබදතාවය විය.ලකුණු 53 ක් ලැබූ අහාන් වික්රමසිංහ මුළු ලකුණු ගණන 87 ක් ව තිබියදී දැවී ගියේය.එතැන් සිට ලකුණු 126 ක කඩුලු සබඳතාවයක් පවත්වන්නට පවන් රත්නායක (60) සමඟ එකතු වූ සොනාල් මේ ඉණිමේ ශතක සබඳතා දෙකකට දායක වූ පිතිකරු වෙමින් ශ්රී ලංකා ඉණිම ගොඩ ගැනීම සඳහා කැපවීමෙන් පිත්ත හසුරුවන් ලැබුවා.ශ්රී ලංකා පළමු ඉණිමේ මෙන්ම දෙවන ඉණිමේත් සොනාල් දැවී ගියේ අවසාන පිතිකරු ලෙසයි.
පළමු ඉණිමේ ශ්රී ලංකා පිතිකරුවන් දැඩි අපහසුවකට පත් කළ කසීෆ් අලී ට දෙවන ඉණිමේදී ලකුණු 79 ට කඩුලු 2 ක් පමණක් ලබා දීමට ශ්රී ලංකා පිතිකරුවන් කල්පනාකාරී වුව ද,පළමු ඉණිමේ මෙන්ම කුරම් ෂෂාද් හොඳින් පන්දු යවමින් ලකුණු 70 ට කඩුලු 5 ක් දවා ගන්නට සමත් විය.
පිළිතුරු ඉණිමේදී ලකුණු 222 ක් ලබා ගැනීමට පැමිණි පකිස්තාක ඒ කණ්ඩායමට අඩු ලකුණු ගණනකට කඩුලු 2 ක් අහිමි වුව ද,අලි ෂර්යාබ් (නොදැවී 83) සහ මොහොමඩ් සුලේමන් (86) තෙවන කඩුල්ල වෙනුවෙන් හොඳ සබඳතාවයක් පැවත්වීය.එහි ප්රතිපලයක් ලෙස පකිස්තානයට කඩුලු 7 ක් ජයක් හිමි විය.ලකුණු පූවරුවට පිවිසුම් මග පහත දක්වා ඇත.
https://es.pn/4hIHqZr
ඡායාරූපයේ සිටින්නේ ඉණිම දෙකේම ශ්රී ලංකාව වෙනුවෙන් කැපී පෙණුන සොනාල් දිනූෂය.