මෙම ලිපියේ අරමුණ වනුයේ,
- වත්මන් රාජ්‍ය අයවැය ප්‍රතිපත්තිය පදනම් වන මහා මිත්‍යාවත්,
- වත්මන් ආර්ථික අර්බුදයෙන් මහජනතාව ගොඩ ගැනීම සඳහා එම මිත්‍යාව දුරලා සැබෑ නව අයවැයක් සැකසීමේ අවශ්‍යතාවයත් හෙළි කිරීම යි.
එබැවින්, මෙම ලිපිය මගින් නව මාදිලියේ අයවැය පදනම් වූ ආර්ථික කළමනාකරණ එළඹුමක් යෝජනා කෙරේ.
අයවැය ණය මිත්‍යාව පිළිබඳ මීට පෙර නිකුත් කළ ලිපිය මෙතනින් බා ගෙන කියවන්න. (ලිපිය)
වත්මන් අයවැය මතවාදය
ලෝකය පුරා රාජ්‍ය අයවැය ලෙස සැලකෙන්නේ, මධ්‍යම රජයේ ඉදිරි වර්ෂයක් සඳහා සැකසෙන විස්තරාත්මක අයවැය ලේඛනය යි. එහි, මධ්‍යම රජයේ ආදායම, වියදම, හිඟය පියවන අරමුදල් සහ ණය ගැනීමේ සීමාව ඇතුළත් වෙයි.
කිසිවෙකුත් නොකියවන ඉලක්කම් ලේඛනයන් විශාල සංඛ්‍යාවක් මෙහි අඩංගු වෙයි. බොහෝ අයවැය යනු අයවැය කථාව පමණි. සැබැවින් ක්‍රියාත්මක වන්නේ වෙනත් අයවැයකි. ලෝකය පුරා අනුගමනය කරන අයවැය මතවාදයේ ලක්ෂණ කිහිපයකි.
- වොෂින්ටන් සම්මුතිය සහ IMF ප්‍රමුඛ ඇමෙරිකානු ආයෝජක දාමය විසින් නියම කොට, ලෝකය පුරා නායකයන් සහ ආර්ථික විද්‍යාඥයන් මානසික අසහනයන්ට පත් වන අයවැය ඉලක්කම් හතරක් පවතී. එනම්, රාජ්‍ය ආදායම, ප්‍රාථමික අයවැය ශේෂය, සමස්ත අයවැය හිඟය සහ රාජ්‍ය ණය තොගය යි. මේවා රටෙහි දළ දේශීය නිෂ්පාදන වටිනාකමෙහි ප්‍රතිශතයක් ලෙස භාවිතා කෙරේ.
- රජය සහ IMF ඇතුළු විවිධ පාර්ශවයන් විසින් මේවාට අත්තනෝමතික ඉලක්කම් ඉලක්ක නියම කෙරේ. උදාහරණ ලෙස IMF විසින් ශ්‍රී ලංකාවට නියම කොට, දේශපාලන නායකයන් සහ ඔවුන්ගේ ආර්ථික විද්‍යාඥයන් විසින් නීති ගත කොට, නිතර දෙවේලේ මහජනයාට දෙසන එම ඉලක්කම් හතර පහත දැක්වෙයි.
- ආදායම 2022 දී 8.5% සිට 2028 දී 15.3% දක්වා ඉහළ දැමීම
- ප්‍රාථමික ගිණුමේ ශේෂය 2022 දී හිඟ 3.8% සිට 2028 දී 2.3% ක් අතිරික්තයකට ඉහළ දැමීම
- අයවැය හිඟය 2022 දී 10.4% සිට 2028 දී 4.2% දක්වා පහළ දැමීම
- රාජ්‍ය ණය 2022 දී 128.1% සිට 2032 දී 95% කට පහළ මට්ටමකට ගැනීම
ඔවුන්ට අනුව මෙම ඉලක්කම් ටික සාදා ගත් විට, උද්ධමනය 57.2% සිට 5% ට පහළ ගොස්, විදේශ සංචිතය ඩොලර් බිලියන 1.9 සිට ඩොලර් බිලියන 15.9 දක්වා ඉහළ ගොස්, ශ්‍රී ලංකාව පෞද්ගලික අංශයේ බලපරාක්‍රමයෙන් සංවර්ධිත රටක් බවට පත් වනු ඇත. එහෙත්, නිෂ්පාදන ක්‍රියාකාරකම් හැකිළී, මහජනයාගේ ජීවන තත්ත්වයට සිදු වන ගැහැට පිළිබඳ ව වචනය කුදු සටහන් නොකෙරේ.
- ආදායම, වියදම සහ ණය වර්ගීකරණය IMF විසින් නිර්දේශිත පිළිවෙලට සිදු කෙරේ. ඒ අනුව, IMF ණයක් ගැනීමේ දී පැනවෙන මූලික කොන්දේසි සාමාන්‍යයෙන් මෙම ඉලක්කම් හතර සඳහා පැනවෙන කාලීන ඉලක්ක ආශ්‍රිතව සිදු වෙයි.
- ආර්ථිකය මුහුණ දෙන සියළු දුක් කම්කටොළුවලට හේතුව ලෙස අයවැය හිඟය සහ ණය තොගය දැක්වෙයි. විශේෂයෙන් ගෙවුම් ශේෂ හිඟයට සහ උද්ධමනකාරී පිඩනයට හේතුව ලෙස අඛණ්ඩව අයවැය හිඟය පියවීමට ගන්නා ලද ණය තුළින් හට ගන්නා මුදල් ප්‍රසාරණය දැක්වෙයි.
- එබැවින්, මහ බැංකු ස්වාධීන කොට, රජයට ණය දීම නීතියෙන් තහනම් කිරීමත්, මහ බැංකුවලට තම අභිමතය පරිදි මුදල් මුද්‍රණය හරහා උද්ධමනය පාලනය කිරීමේ නිෂේධ බලය ලබා දීමේත්, ව්‍යාපාරයක් IMF-ලෝක බැංකු ආයෝජක දාමය විසින් දියත් කොට ඇත.
- ඊට උපකාරකයක් ලෙස IMF විසින් රටවල රජයේ ණය තිරසාර ඉලක්කම් විශ්ලේෂණයක් මත මදනම් වී, අයවැය වපසරිය සහ මුදල් මුද්‍රණ වපසරිය නියම කිරීමේ ජාත්‍යන්තර ව්‍යාපෘතියක් බිහි වී ඇත. එය, IMF ණය ලබා ගන්නා රටවලට ණය කොන්දේසි හරහා නියම කෙරේ. ඊට හොඳම උදාහරණය ශ්‍රී ලංකාව යි. එබැවින්, මෙම අයවැය මතවාදය හරහා රටවල ආර්ථික කළමනාකරණ ස්වෛරිත්ව බලය IMF – ලෝක බැංකු ආයෝජක දාමයට පාවා දී ඇත. මෙම තත්ත්වය තුළ මහජනයා විසින් පත් කරන නියෝජිතයන්ට හැකි වී ඇත්තේ, ටික කලක් පාර්ලිමේන්තුවේ සහ මාධ්‍යයෙහි කථා පවත්වා ගෙදර යාම පමණි. ඊට හේතුව, රජයට අයවැය සහ මුදල් බලය අහිමි වීම යි. මෙය, “දුප්පත්කම වලිගය නැති ගොනා වැනී ” කථාව සිහි කරවන්නකි. මුදල් නැත්නම් රජයක් ද දුප්පත් ය. ඊට කළ හැකි දෙයක් නැත.
වත්මන් අයවැය මිත්‍යාව පිටු දකිමු
එහෙත්, ඉහත දැක්වූ අයවැය ඉලක්කම් සහ සැකැස්ම පදනම් විරහිත යල්පැන ගිය මිත්‍යා එකක් වෙයි. ඊට තාක්ෂණික හේතු රැසක් ඉදිරිපත් කළ හැකිය.
- පළමුව, මෙම අයවැය ඉලක්කම් මගින් නියෝජනය වන්නේ සමස්ත රජය නොව, මධ්‍යම රජය පමණක් වීම යි. වත්මන් අයවැය යනු හුදෙක් බදු අයකොට මධ්‍යම රාජ්‍ය පාලක පංතියේ වියදම් පියවා ගැනීමේ ලේඛනය නොවේ.
- රජය යනු හුදෙක් මධ්‍යම රජය පමණක් නොව, මධ්‍යම රජය, පළාත් රජයන් සහ රාජ්‍ය ව්‍යවසායක සහ නියෝජිත ආයතන යනාදිය ඇතුළත් පුළුල් ආයතනික පද්ධතිය යි. ඊට හේතුව, රජය විසින් සමාජ ආර්ථිකයට මැදිහත්වීම කළමනාකරණ කෙරෙන්නේ, මෙම සමස්ත රාජ්‍ය පද්ධතිය හරහා වීම යි. එබැවින්, සාර්ව ආර්ථික වශයෙන් අප විමසිලිමත් විය යුත්තේ, මධ්‍යම රජයේ නොව, සමස්ත රාජ්‍ය අංශයෙහි මූල්‍ය ප්‍රතිඵලය පිළිබඳ ව යි.
- එබැවින්, රජයෙහි අයවැය සහ මුදල් තත්ත්වය ඇගයීම සඳහා රාජ්‍ය පද්ධතියේ ඒකාබද්ධ අයවැය සහ වත්කම්/වගකීම් තත්ත්වය (ශේෂ පත්‍රය) ඇස්තමේන්තු කළ යුතුය. එම මූල්‍ය වාර්තාවන් සැකසීම ව්‍යාපාරික ආයතනවල මෙන්, රාජ්‍ය ව්‍යාපාරයට ද සමාන විය යුතුය. ඊට හේතුව, රජයක් යනු හුදෙක් පුණ්‍ය ආයතනයක් නොවීම යි. පුණ්‍ය ආයතන ව්‍යාපෘතියකට වුව ද, සමස්ත මූල්‍ය වාර්තාවන් සැකසිය යුතුය. ඊට හේතුව, ආයතනික කාර්ය සාදනය ඇගයීම සහ වංචාවන් වැලැක්වීම යි.
- ඒකාබද්ධ රාජ්‍ය අංශ අයවැයක් සහ වත්කම/වගකීම් ප්‍රකාශනයක් සැකසේ නම්, ඉහත දැක්වූ අයවැය ඉලක්කම් හතර උඩුයටිකුරු වනු ඇත. උදාහරණ ලෙස මිත්‍යා අයවැයෙහි ණය ප්‍රතිශතය ගැන දුක් වන්නේ, මධ්‍යම රජයේ වත්කම් තොගයෙහි වටිනාකම පවා නොදැන ය. රාජ්‍ය ණය බර ඇගයිය යුතු වන්නේ රාජ්‍ය වත්කම්වලට සාපේක්ෂව මිස, රටේ සමස්ත ආදායමට සාපේක්ෂව නොවේ. එබැවින්, රාජ්‍ය ණය පමණක් නොව, සියළු අයවැය ප්‍රතිශතක ඉලක්කම් අර්ථ රහිත ය.
- ඒකාබද්ධ රාජ්‍ය මූල්‍ය වාර්තාවන් තුළ මහ බැංකුව සහ මුදල් මුද්‍රණයක් ලෙස මිත්‍යා සිද්ධියක් නොමැත. ඊට හේතුව, සියළු මූල්‍ය සහ ව්‍යාපාරික ක්‍රියාකාරකම් යනු රජය සහ රාජ්‍ය බලය වන බැවිනි. එවිට, උද්ධමන සහ ගෙවුම් ශේෂ න්‍යායන් අකර්මන්‍ය වනු ඇත.
- රාජ්‍ය වියදම, පුනරාවර්තන වියදම සහ ප්‍රාග්ධන වියදම ලෙස වර්ග කිරීමේ සාර්ව ආර්ථික පදනමක් නොමැත. උදාහරණ ලෙස රාජ්‍ය සේවක වැටුප් යනු පුනරාවර්තන හෝ පරිභෝජන වියදමක් නොවේ. රාජ්‍ය සේවා බොහොමයක් ආර්ථිකයෙහි නිෂ්පාදන ධාරිතාවය වර්ධනය සහ ආරක්ෂා කිරීම සඳහා කෙරෙන ආයෝජනයන් ය. උදාහරණ ලෙස සෞඛ්‍ය සහ අධ්‍යාපන වියදම් යනු ශ්‍රම ශක්තිය සහ ඵලදාව ඉහළ නංවන අත්‍යාවශ්‍ය ආයෝජනයන් ය. රාජ්‍ය පරිපාලන වියදම්වලින් කෙරෙන්නේ ද සමාජ ආර්ථික ඵලදාව ඉහළ දැමීම යි. රාජ්‍ය පරිපාලනය යනු නිෂ්පාදනයක් ද වන අතර එහි වියදම යනු එම නිෂ්පාදන ආදායම යි. එමගින්, එම රාජ්‍ය සේවක පවුල් ජීවත් වෙයි.
- බදු ආදායම සහ වියදම් පිළිබඳ මිත්‍යා මතයක් මහජනයාට ඉදිරිපත් කෙරේ. එනම්, රජය වියදම් කරන්නේ බදු ආදායමින් බව යි. නව බදු ආදායම් නැත්නම්, නව වියදම් කළ නොහැක. පසුගිය රජය විසින් වැටුප් ඉහළ දැමීමට යෝජනා කළ විට, ඒ සඳහා වැට් බද්ද අවම වශයෙන් 2%-3% කින් ඉහළ දැමිය යුතු බවට, මුදල් ලේකම් වරයා යෝජනා කළේ මෙම මිත්‍යා මතයේ එල්බ ගෙන ය. එය අසත්‍යය.
- සැබෑ වශයෙන් සිදු වන්නේ, පළමුව වියදම් කොට පසුව ණය ගැනීමෙන් වියදම් පියවීමත්, බදු ආදායම ලැබෙන ආකාරයට එම ණය පියවීමත් ය. ඒ සඳහා බදු ආදායම ප්‍රමාණවත් නොවන විට, ඉතිරි ණය මුදල මුළු ණය තොගයට එකතු වනු ඇත. එම ණය පෞද්ගලික අංශයේ වත්කමක් ලෙස ආර්ථික ක්‍රියාකාරකම්වලට දායක වනු ඇත. එසේ නොමැතිව, බදු ආදායම එකතු කොට භාණ්ඩාගාරයේ සුරක්ෂිතාගාරයක තැන්පත් කොට තබා ගෙන, රජයට අවශ්‍ය විට වියදම් කිරීම සඳහා වූ ක්‍රමවේදයක් නොමැත.
- උදාහරණ ලෙස රජය විසින් මාර්ගයක් තැනීම සඳහා රුපියල් මිලියන 500 ක ටෙන්ඩරයක් නිකුත් කළ විට, එය නිම වූ පසු කොන්ත්‍රාත්කරු විසින් රජයට රුපියල් මිලියන 500 ක බිල්පත් ඉදිරිපත් කෙරේ. රජය විසින් එම ගෙවීම සඳහා රුපියල් මිලියන 500 ක රාජ්‍ය බැංකු චෙක්පතක් කොන්ත්‍රාත්කරු වෙත නිකුත් කෙරේ. කොන්ත්‍රාත්කරු විසින් එම චෙක්පතේ මුදල් ගැනීම සඳහා අදාළ රාජ්‍ය බැංකුවට ඉදිරිපත් කෙරේ. එම බැංකුවේ රාජ්‍ය ගිණුමේ මුදල් නොමැති නම්, බැංකුව විසින් රජයට රුපියල් මිලියන 500 ක ණයක් දී, චෙක්පත ගෙවීම සඳහා කොන්ත්‍රාත්කරුගේ ගිණුමට රුපියල් මිලියන 500 ක මුදලක් එකතු කෙරේ. පසුව, රජයේ බැංකු ගිණුමට බදු ආදායමක් ලැබේ නම්, ඉන් ණය මුදල අය කර ගනී.
- එසේ නැත්නම්, රජයේ ගෙවීමට ඇති බැංකු ණය ප්‍රමාණය ඉහළ යනු ඇත. එය පසුව, රජය විසින් රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කිරීම හරහා බැංකු සහ මහජනයාගෙන් ලබා ගන්නා ණයවලින් පියවෙනු ඇත. එනම්, ණය මගින් ණය ගෙවීම යි. ඒ අනුව, රජය විසින් මාර්ගය තැනීමේ වියදම දරා ඇත්තේ මුදල් මැවීම හරහා ය.
- එබැවින්, මෙම අයවැය මිත්‍යාවේ මූලය වන්නේ, රජයක් ද පුද්ගලයෙක් හෝ කුටුබයක් මෙන්, ආදායමින් වියදම් කරන බවට මතය යි. එහෙත්, රජයන්ට මුදල් නිපදවීමේ බලය පවතින බැවින් ආදායම් නොමැතිව වියදම් කිරීමට හැකිය. මෙහි දී, බදු අය කිරීම යනු හුදෙක් රජය විසින් ණය හරහා ආර්ථිකයට නිකුත් කොට ඇති මුදල් කොටසක් තාවකාලිකව ආර්ථිකයෙන් ඉවත් කිරීමකි. රජ කාලයේ ද සිදු වූයේ එය යි.
- අයවැය හිඟයෙන් හට ගන්නා ණය අනාගත පරපුර විසින් පොලිය සමඟ ආපසු ගෙවිය යුතු බවට දැක්වීම ද මිත්‍යා මතයකි. ලෝකයේ කිසිම රජයක් ණය ගෙවා නිම කරන්නේ නැත. සැබෑ ලෙස සිදු වන්නේ, නව ණය ගැනීම හරහා ණය ගෙවීම යි.
- එබැවින්, දේශීය මුදලින් රජය විසින් ණය ගැනීම ගැටළුවක් නොවේ. ඊට හේතුව, නව ණය හරහා ණය ආපසු ගෙවිය හැකි බැවිනි. මහජනයා ද එය පිළි ගනී. ඊට හේතුව, රාජ්‍ය ණය යනු පුද්ගලික අංශයට ඉතාමත් අවදානම් අඩු මූල්‍ය වත්කමක් වන බැවිනි. එම වත්කම් පුද්ගලික අංශයේ ආයෝජන කළමනාකරණයට අත්‍යවශ්‍ය ය. එබැවින්, රාජ්‍ය දේශීය මුදල් ණය ගෙවීමක් හෝ පැහැර හැරීමක් සිදු නොවේ. එසේ පැහැර හැරේ නම්, එය හුදෙක් දේශපාලනික කුමන්ත්‍රණයකි. රජය විසින් දේශීය මුදල් ණය ආපසු ගෙවමින් ණය තොගය පහළ දැමීමට ක්‍රියා කළ හොත්, ආර්ථිකයෙහි මුදල් හිඟයක් හට ගෙන ආර්ථිකය පහළ බසිනු ඇත.
- එහෙත්, ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල සිදු වූවාක් මෙන්, විදේශ ණය ආපසු ගෙවීමේ ගැටළුවක් හට ගත හැකිය. ඊට හේතුව, දේශීය මුදල් මෙන්, විදේශ මුදල් මුද්‍රණය කිරීමට රජයට නොහැකි බැවිනි. එබැවින්, විදේශ ණය පැහැර හැරීම හුදෙක් විදේශ ඉපැයුම් සහ ණය කළමනාකරණ ගැටළුවකි. බොහෝ රටවල රජයට විදේශ ණය ගනු ලැබුවේ, විනිමය අනුපාතය, විදේශ සංචිතය සහ ගෙවුම් ශේෂ හිඟය පාලනය කිරීම සඳහා ය. එය හුදෙක් රාජ්‍ය අයවැය ගැටළුවක් නොව, මහ බැංකු මුදල් කළමනාකරණ අඩුපාඩුවකි. එමගින්, රජය වින්දිතයකු බවට පත් කොට ඇත.
- ප්‍රාථමික අයවැය ශේෂය ද මිත්‍යා ඉලක්කමකි. ප්‍රාථමික ශේෂය යනු ණය සඳහා ගෙවිය යුතු පොලී හැර පුනරාවර්තන වියදම සහ රාජ්‍ය ආදායම අතර පරතරය යි. එබැවින්, එය හුදෙක් කිසි වැදගත්කමක් නැති උප ගිණුම් ඉලක්කමකි. එසේම, රජයකට සමස්ත අයවැය හිඟය ද වැදගත් නොවේ. සැබෑ ලෙස වැදගත් වන්නේ, අයවැයෙන් අපේක්ෂිත ආර්ථිකය සහ පොදුජන ජීවන තත්ත්වය යි. අයවැය හිඟය පියවීමේ ගැටළුවක් නොමැත. එය හුදෙක් පරිගණක මුදල් ගිණුම් සටහන් කාර්යයකි. මුලින් දැක්වූ පරිදි පුනරාවර්තන වියදම ද ආර්ථික වශයෙන් පදනම් විරහිත ඉලක්කමකි. එසේම, මෙම පොලී ඉලක්කමෙහි ආයෝජන සහ ප්‍රාග්ධන වියදම් සඳහා ගන්නා ලද ණයවල පොලිය ද අඩංගු වෙයි. සමස්තයක් ලෙස ගත් විට ආර්ථිකයට වැදගත් වන්නේ, සමස්ත රාජ්‍ය වියදම මිස, මෙවැනි කාණ්ඩ ගත වියදම්හෝ ආදායම් නොවේ. ඊට හේතුව, සියළු රාජ්‍ය වියදම් ආර්ථිකයට ආයෝජන වියදම් වන බැවිනි. සාර්ව ආර්ථික විද්‍යාවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ගුණකය අර්ථ දැක්වෙන්නේ එම පදනම මත ය.
- නූතන මුදල් ආර්ථිකයන්හි ආර්ථික ක්‍රියාකාරකම්වලට අවශ්‍ය මුදල් සැපයුම/සංසරණය ප්‍රධාන වශයෙන් ජනිත වන්නේ අයවැය හිඟය සහ ණය හරහා ය. එය බැංකු පද්ධතිය හරහා සිදු වෙයි. මෙහි දී, රාජ්‍ය ණය යනු අවදානම් අඩු ඉහළ ඉල්ලුමක් ඇති ද්‍රවශීල මූල්‍ය වත්කමක් බැවින් මුදල් ක්‍රමයෙහි විශ්වාසය සහ ස්ථායිතාවයට රාජ්‍ය ණය බොහෝ හිතකර වෙයි. මහ බැංකු විසින් තම මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ ද රාජ්‍ය ණය වෙළෙඳපොළ හරහා ය. එබැවින්, රාජ්‍ය අයවැය සහ ණය කප්පාදු කළ හොත්, ආර්ථිකය මුදල් හිඟයකට මුහුණ දෙන අතර පෞද්ගලික ණය හේතු කොට මූල්‍ය පද්ධති අවදානම ඉහළ යනු ඇත. රටවල බැංකු සහ මූල්‍ය අර්බුදයන් හට ගෙන ඇත්තේ, පෞද්ගලික ණය හරහා මිස රාජ්‍ය ණය හරහා නොවේ. හිඟ අයවැය සහ ණයවල මෙම මුදල් පද්ධති සේවය පිළිබඳ දැනුමක් අයවැය විවේචකයන්ට නොමැත.
- රටවල් මුහුණ දෙන ආර්ථික අස්ථායිතාවයන්ගේ සිට අවපාතයන් දක්වා වූ සෑම ආර්ථික පසුබැසීම් සහ අර්බුදයන්ගෙන් ගොඩ ඒම සඳහා ඉතාමත් කාර්යක්ෂම සහ වේගවත් විසඳුම් සඳහා ඈත අතීතයේ සිට භාවිතා කෙරෙන්නේ අයවැය හිඟය සහ ණය යි. මෙහි දී, ආර්ථිකයෙහි ඕනෑම අංශයක් සඳහා රාජ්‍ය වියදම් කඩිනමින් යොමු කිරීමේ හැකියාව වැදගත් වෙයි. මෙය සාර්ව ආර්ථික මූල ධර්මයකි. එහෙත්, ආර්ථික අර්බුදයන්ට විසඳුම ලෙස අයවැය වපසරිය සහ මුදල් වපසරිය කපා දැමීමට කොන්දේසි පනවන IMF ආර්ථික විද්‍යාඥයන්ට මෙම සරල ව්‍යාපාරික දැනුම නොමැත. එබැවින්, IMF වපසරි කොන්දේසි හේතු කොට රටවල් දශක ගණන් ආර්ථික සහ දේශපාලනික අර්බුදයන්හි හිර වී දගලනු ඇත. එහෙත්, වෙළෙඳපොළ ආර්ථික දර්ශනයන් අනුගමනය කරන සංවර්ධිත රටවල් විසින් පවා ආර්ථික පසුබැසීම් දුටු විගස, සියළු ආර්ථික මත භේදයන් පසෙක ලා, අයවැය සහ ණය ප්‍රසාරණය තුළින් ආර්ථිකයන් ස්ථායිකරණය කිරීම සාමාන්‍ය කරුනකි. ඒ අවස්ථාවල IMF ආර්ථික විද්‍යාඥයන් බිහිරි බවට පත් වෙයි.
සමාප්ත සටහන
- හිඟ අයවැය සහ ණය මිත්‍යාව ගැන ග්‍රන්ථ කිහිපයකට කරුනු පවතී. ඉහත දැක්වූයේ කෙටි කරුනු කිහිපයකි.
- සෑම රටකම වත්මන් මානව සංවර්ධනය යනු හිඟ අයවැය සහ ණය හරහා සමස්ත රාජ්‍ය අංශය මෙහෙයවීමේ ප්‍රතිඵලයකි. ඒ බව, 1900 සහ වත්මන් සමාජ ආර්ථික ඡායා රූපයන් සහ ආර්ථික සහ අයවැය ඉලක්කම් දෙස බලන විට පැහැදිළි ය. ඒ සඳහා උපකාරී වන වීඩියෝ දෙකක් මෙහි අමුණා ඇත. (වීඩියෝ 1) (වීඩියෝ 2)
- එබැවින්, නව රජයට “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් ” නම් වූ තම මැතිවරණ පොරොන්දුව ඉටු කිරීමේ සැබෑ උවමනාවක් තිබේ නම්, ඉදිරි වසර පහ සඳහා සියළු සංවර්ධන අංශ නියාමනය සහ මූල්‍යකරණය කිරීමේ ඒකාබද්ධ රාජ්‍ය අංශ අයවැයක් සහ වත්කම්-වගකීම් ප්‍රකාශනයක් මත, කිසිම බියක් නොමැතිව අයවැය හිඟය සහ ණය ප්‍රසාරණය හරහා වියදම් කල යුතුය. එය ආර්ථිකයේ නිෂ්පාදන ධාරිතාවය, වර්ධනය සහ සම්පත් උපයෝජනය පිළිබඳ නිසි ඉලක්ක මත කළ යුතුය.
- හිඟ අයවැය සහ ණය හේතු කොට මුදල් මුද්‍රණය ඉහල ගොස්, රට ආර්ථික අපායක් වීමේ අවදානමක් පවතී නම්, එය වැලැක්වීම ස්වාධීන මහ බැංකුවේ මහජන වගකීම යි. එසේ නොමැතිව, මහ බැංකුවට බිය වී මහ බැංකු කාර්යයට උර දීම සඳහා තම ස්වාධීන රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති මෙවලම් සහ මැතිවරණ පොරොන්දුව හකුලා ගැනීම පොදුජන ද්‍රෝහී ක්‍රියාවකි.
- නව රජයට පුළුල් ජන බලයක් සහ විද්වත් සමාජයක් සතු බැවින් මෙවැනි සංවර්ධන රාජ්‍ය මූල්‍ය ප්‍රකාශනයන් කෙටුම්පත් කොට, ක්‍රියාත්මක කිරීමේ බාධකයන් නොමැත. ඒ සඳහා අවශ්‍ය ගණකාධිකාරී වරුන් සහ දේශීය ආර්ථික විද්‍යාඥයන් විශාල පිරිසක් රජය සමඟ එක් වී ඇත.
- ජනාධිපති ප්‍රේමදාස මහතා සමඟ එතෙර සම්මුඛ සාකච්ඡාවක දී ආර්ථික විද්‍යාඥයකු විසින් විමසන ලද්දේ, නිවාස සහ මාර්ග සංවර්ධන මත පදනම් වූ මානව සංවර්ධන දර්ශනය ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් සොයා ගන්නේ කෙසේ ද? යන්න යි. ඔහු කිසිම පැකිලීමක් නොමැතිව දෙන ලද පිළිතුර වූයේ ” I can print money” යන්න යි. එම පිළිතුර නිවැරදි බව ජනාධිපති වරයාට නිසි දැනුමක් පැවතින. එය තේරුම් ගත් ආර්ථික විද්‍යාඥයා විසින් නොදන්නා උද්ධමන භූතයා ගැන කිසි අතුරු ප්‍රශ්නයක් නැගුවේ නැත.
- එහෙත්, “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් ” යන මානව සංවර්ධන දර්ශනය පිළිබඳ ව එම ප්‍රශ්නය වත්මන් ජනාධිපති වරයාගෙන් ඇසුවොත්, බලාපොරොත්තු විය හැකි පිළිතුර වන්නේ, IMF එකෙන් සහ මහ බැංකුවෙන් විමසා බලන බව යි. ඊට හේතුව, IMF සහ මහ බැංකු පනත විසින් පාර්ලිමේන්තුවේ මහජන මුදල් පාලනයෙන් එහා ගිය, අයවැය වපසරිය සහ මුදල් වපසරිය නියම කොට, විදුලි කටු කම්බි ගසා කොටු කොට ඇති බැවිනි. එය බිඳීමට ගිය හොත්, වැල් පාලමෙන් ගඟට වැටෙනු ඇත.
- විදුලි කටු කම්බි කඩා බිඳ දැමීමට නව රජයේ විද්වතුන්ට හැකියාව තිබේ නම්, එය ජාතියේ වාසනාවකි. ඊට හොඳම උපාය වන්නේ, යෝජිත නව දර්ශනය යටතේ ඒකාබද්ධ රාජ්‍ය අයවැය සහ මූල්‍ය තත්ත්ව වාර්තාවක් සකසා ක්‍රියාවට නැංවීම යි. ඊට මහ බැංකුව අකුල් හෙළයි නම්, මහ බැංකු පනත සතියකින් දෙකකින් සංශෝධනය කිරීමේ හැකියාව නව රජය වෙත පවතී.
- එසේ නොවේ නම්, මෙවර IMF ගිවිසුම 1815 කන්ද උඩරට ගිවිසුමට නොදෙවෙනි වනු ඇත.
(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)
පි සමරසිරි
[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]
හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව
(වසර 35 ක් පමණ මහ බැංකු මාණ්ඩලික පංතියේ නිලධාරී, හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක, මහ බැංකු සහකාර අධිපති, මහ බැංකු මුදල් මණ්ඩල ලේකම්, ණය තොරතුරු කාර්යාංශයේ සභාපති, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපති, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික, ශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ)