කොළඹ LNW: රජයේ සේවකයන් පිළිබඳව මේ දිනවල දැඩි කතා බහක් පවතියි. ඇතමෙකුට අනුව රාජ්‍ය සේවකයා යනු කිසිදු වැදගැන්මක් නැති නොවැදගත් පිරිසකි. ඔවුනට වැටුප් ගෙවීමට වියදම් කරන මුදල් රාජ්‍ය මුදල් අපතේ හැරීමකි. තව පිරිසක් කියන්නේ රාජ්‍යයේ කොඳුනාරටිය රජයේ සේවකයා බවයි. රජයේ සේවකයා නොහිටින්න, රාජ්‍ය සේවාවට අනන්‍ය වූ මුදල් රෙගුලාසි හා අණ පනත් නොතිබෙන්නට දේශපාලන අපතයන් බඩ පිනුම් හිටි පිනුම් ගසා රට තවත් අගාධයට හෙළන බව මේ අතර බොහෝ පිරිසක් කියා සිටිති. මාද වැඩියෙන් බර ඒ අවසානයට කී කාණ්ඩයටය.
ඇත්තටම රජයේ සේවකයා විටෙක ආණ්ඩුවලට පළිහකි. තවත් විටෙක පාපිස්නකි. බොහෝ විට සිදු වන්නේ බලයේ සිටින දේශපාලනඥයන්ට හිතූ හිතූ හැටියට රාජ්‍ය සම්පත්වලින් බල්ටි ගැසීිමට නොහැකි වූ විට සියලු දුක්ඛ දෝමනස්සයන් රාජ්‍ය සේවකයා වෙත පටවා ඇඟ බේරා ගැනීමය. විශේෂයෙන් බලයේ ඉන්නා දේශපාලනඥයන්ගේ වටේ සිටිනා නිල මැස්සන්ගෙන් බේරීම සඳහා ද රජයේ සේවකයා බිල්ලට දෙන අවස්ථා බොහෝය.
මා කියන්නේ රජයේ සේවය පරමාදර්ශී මහජන සේවයක් කියා නොවේ. මුළු රටම පරිහානියේ පත්ලට කිඳා බසිද්දී රාජ්‍ය සේවය පමණක් මඩේ පිපුණු නෙලුම් මලක් සේ බැබළේවි යැයි සිතිය නොහැක.
මා කියන්නේ මුළු රාජ්‍ය සේවයම නැත්නම් සියලු රාජ්‍ය සේවකයන් පහත හෙළා කතා කිරීම, නැත්නම් කටයුුතු කිරීම ඉතාමත් අසාධාරණ බවයි. එමෙන්ම රාජ්‍ය සේවයේ පරිහානියට දේශපාලනඥයන් සෘජුව වග කිවයුතු බවද කීමට අවශ්‍යයයි. වර්තමාන ආණ්ඩුව මෙම කරුණ සම්බන්ධයෙන් තවමත් පාවෙන පිළිවෙතක සිටින බවක් පෙනේ. දැනට එළිපත්තේ සිටියද දේශපාලන උණෙන් පෙලෙන කාඩරයේ පීඩනය නිසා මොන පැත්තට හැරේවිදැයි කිව නොහැකි.
රජයේ කාර්යාලවල පවත්නා පරිපාලන ගැටලුද බොහෝ විට රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවට හේතු සාධක වී තිබේ. චක්‍රලේඛ හා බැඳුණු රාජ්‍ය සේවයක් නොවන්නට රජයේ කාර්යාල කළු කඩ තත්ත්වයට පත්වනු නොඅනුමානය. 1970 දී සමඟි පෙරමුණ ආණ්ඩුව බලයට පත්වූ අවස්ථාවේදීද රාජ්‍ය සේවය පිළිබඳව මෙවැනිම තත්ත්වයක් උදාවිය. වමට බර ආණ්ඩුවක් වූ හැත්තෑවේ ආණ්ඩුවේ අධි බලැති අමාත්‍යාංශ භාරව සිටියේද අටුවම් බැහැපු වමේ නායකයන්ය. එම අවස්ථාවේදී ද දේශපාලන නායකත්වය පිළිබඳ වැරදි කියවීමක් සමාජ ගතවී රජ්‍ය සේවය දේශපාලනකරණය වීමේ අඩිතාලම වැටිණි.
වර්තමානයේද රාජ්‍ය සේවය එම අභියෝගයට මුහුුණ දී සිටින බව මගේ අදහසයි.
උපාලි කොළඹගේ