ජයලත් මනෝරත්න මතකාවර්ජන !
වෘත්තියෙන් නළුවෙකු, කථිකාචාර්යවරයෙකු, අධ්‍යක්ෂකවරයෙකු හා නිෂ්පාදකවරයෙකු වූ කලාශූරී, කලා කීර්ති, ආචාර්ය කෙසෙල්පේ මනතුංග ජයලත් මනෝරත්න නම් අසහාය ප්‍රතිභාපූර්ණ කලාකරුවා ගේ පස් වන ගුණානුස්මරණය අද(12)දිනට දී තිබේ.
1948 ජුනි මස 12 වන දින නුවරඑළිය දිස්ත්‍රික්කයේ දෙහිපේ ග්‍රාමයේ උපත ලද මෙම අද්විතීය නිර්මානවේදියා වචනයේ පරිසමාප්තයෙන්ම විශිෂ්ඨ වේදිකා නළුවෙකු විය.
ඒ අනුව, සියලු කරුණු අභිභවා ජනතාවගේ පරිකල්පනයෙහි මනෝ රැඳී සිටින්නේ විශිෂ්ටතම වේදිකා නළුවකු ලෙසයි.
වේදිකාවෙහි ඔහු ගේ පැවැත්ම මන බන්ධනීය ය. “අස්පගුඩුං” වේදිකා නාට්‍ය හරහා වේදිකාවට පැමිණෙන මනෝරත්න පාසල් දිවියේ දී වේදිකා භූමිය කෙළිමඬලක් කරගැනීමට සමත් විය. තම පාසලේ ගුරුවරයකු වූ සුනිල් ශ්‍රියානන්දගේ නිෂ්පාදනයක් වූ “අස්පගුඩුං” නාට්‍යයේ රංගනය වෙනුවෙන් මනෝරත්නයන්ට එවක සමස්ත ලංකා පාසල් නාට්‍ය උළෙලේදී හොඳම නළුවා වීමේ භාග්‍ය හිමි විය.
මනෝරත්නයන්ගේ ඊළඟ රඟමඩල වූයේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයයි. වර්ෂ 1966 වර්ෂයේ දී පේරාදෙණිය සරසවියට ඇතුළත් වූ ඔහුගේ භූමිකාව වඩාත් සුපුෂ්පිත වූයේ, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ඇසුරත් සමඟ නිර්මාණකරණයේ නියැළීමට ලැබීමෙනි.
සරච්චන්ද්‍රයන්ගේ පේමතෝ ජායතී සෝකො, මනමේ, සිංහබාහු, මහාසාර, වෙස්සන්තර, කදා වළලු, එලොව ගිහින් මෙලොව ආවා වැනි නාට්‍ය තුළින් මනෝරත්නයන් සුපුෂ්පිත විය.
ප්‍රවීණ නාට්‍යවේදී සුගතපාල ද සිල්වා ගේ දුන්න දුනු ගමුවේ, ආචාර්ය හෙන්රි ජයසේනගේ මකරා, තවත් උදෑසනක්, අහස් මාලිගා, ප්‍රවීණ නාට්‍යවේදී දයානන්ද ගුණවර්ධනගේ නරිබෑනා, ජසයා සහ ලෙන්චිනා, ප්‍රවීණ නාට්‍යවේදී රංජිත් ධර්මකීර්තිගේ මෝදර මෝල, මේඝ, අංගාරා ගඟ ගලා බසී, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ පොකුරු වැස්ස, සොක්රටීස්, ප්‍රවීණ නාට්‍යවේදී කේ. බී. හේරත්ගේ මායාදේවි, නාග ගුරුලා, ප්‍රවීණ නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහලගේ තාරාවෝ ඉගිළෙති, රතු හැට්ටකාරි, නාට්‍ය නිෂ්පාදක කපිල කුමාර කාලිංගගේ නෙළුම් පොකුණ, රයිනෝසිරස්, ප්‍රවීණ සිනමාවේදියකු වූ ප්‍රසන්න විතානගේ ගේ ද්විත්ව වැනි වේදිකා නා ට්යවල මනෝරත්න සිය රංගන පතිභව ප්‍රදර්ශනය කර කෘතහස්ත නිර්මාණ අතර වේ.
ජයලත් මනෝරත්න ලියා නිෂ්පාදනය කළ නාට්‍ය අතර මහගිරිදඹ (1980), තලමල පිපිලා (1988), අන්දරේලා (1993), ගුරුතරුව (1996), සඳගිර (1998), කනේරු මල් (2000) හා ලෝකය තනි යායක් (2005) යන නාට්‍ය වන අතර මේ නාට්‍ය බොහෝමයක් ම ඉහළ පිළිගැනීමකට ලක් වූ සම්මානිත කලා නිර්මාණ වේ.
පුරා දශක පහකට අධික කාලයක් ජයලත් මනෝරත්නයන් තම හැකියාවෙන් අපේ රටේ ප්රසාංගිත කලා සංස්කෘතියට ප්රදානය කළ දායත්වය අතිමහත් ය.
එලෙසින්ම ඔහු ප්රසාංගික කලා සංස්කෘතිය පෝෂණය කළ සම්මානනීය සොඳුරු කලාකරුවෙක් ද වේ. එය ඔහුට ජීවිතයේ එක් වරක් පිරිනැමෙන නාට්‍ය කිර්ති සම්මානයත් ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානයත් හිමි කර ගැනීමට ද ප්‍රධන සාධකයක් විය.
මනෝරත්නයන් අවස්ථා ගණනාවකදී රාජ්‍ය සම්මානයට පාත්‍ර වූ රංගධරයෙකි.
1974 රතු හැට්ටකාරි හොඳම නළුවා
1985 පුත්‍ර සමාගම හොඳම නළුවා
1988 තලමල පිපිලා හොඳම නළුවා
1988 තලමල පිපිලා හොඳම අධ්යක්ෂවරයා
1988 තලමල පිපිලා හොඳම පිටපත
1990 සොක්රටීස් හොඳම නළුවා
1991 ද්විත්ව හොඳම නළුවා
1993 අන්දරේලා හොඳම පිටපත
1995 අන්දරේලා හොඳම නාට්‍යය
1996 ගුරු තරුව හොඳම පිටපත
ප්‍රතිභා සම්පන්න කවියෙකු ලෙස ද මනෝරත්නයන් විසින් 80 දශකයේ සුනිල් ආරියරත්න හා බුද්ධදාස ගලප්පත්ති සමඟ ‘දොලොස්මහේ පහන‘ කාව්‍ය සංග්‍රහය මඟින් සිය කාව්‍ය රසිකයන් අතරට ගෙන යන ලදි. ඉන් අනතුරුව ළමුන් වෙනුවෙන් ‘සිංදු බිංදු‘ හා ‘ගල්වඩු රාළ‘ ආදී නිර්මාණයන්ද ‘දවස තවම තරුණයි,’ ‘මිනිහට නින්ද යන්න ඇති’ ආදී කෙටිකතා බුද්ධදාස ගලප්පත්ති සමඟ සම කතෘත්වයෙන් ලියා පලකර තිබේ.
මනෝරත්නයන් සිය ශාස්ත්‍රීය හැදෑරීම තුළ ‘සිංහල නාට්‍යයේ ප්‍රාසාංගික කලාත්මක වර්ධනය 1970-2000‘ ලෙස කරන ලද පර්යේෂණ නිබන්ධය වෙනුවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලය මඟින් සාහිත්‍ය සූරී සම්මාන ආචාර්ය උපාධිය පිරිනමන ලදි. මීට අමතරව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මඟින් දර්ශන සූරී ආචාර්ය උපාධියක්ද ඔහු වෙත පිරිනමා තිබේ.
ඒ් අනුව, ආචාර්ය උපාධි දෙකකින් පිදුම්ලද එකම රංගනවේදියා වන්නේ ජයලත් මනෝරත්නයන්ය.
රංගනයට අමතරව විවිධ ක්ෂේත්රයන් පුරා විශද වූ කෞෂල්‍යයක් හා ප්‍රතිභාවකින් උපන් හපන්කම් දැක්වූ මනෝරත්නයන් වයස අවුරුදු 71ක් ආයු වළඳා මොළයේ පිළිකාවක් හේතුවෙන් 2020 ජනවාරි මස 12වන දින රසික සිත් හඬවාලමින් ජීවන රඟ මඞලින් සමුගත්තේය.
ඔබ විශ්වාස කළ ආගමට අනුව නිවීම ම පසක් වේවා!
සශිකලා මධුෂාණි