චිත්‍රය, මූර්තිය, නවකතාව, කෙටි කතාව, කවිය, ගීතය, සිනමාව ආදී විවිධ විස්තීරණ කලා මාධ්‍යන් තුළ සිය මුද්‍රාව ශේෂ කළ ලෝකය තනි යායක් බව ලොවට හෙලිකළ ප්‍රබුද්ධ දාර්ශනිකයා වන මහගම සේකරයන්ගේ 49වන ගුණානුස්මරණය ජනවාරි 14 වන දාට යෙදී තිබිණි.
මේ මතකාවර්ජනය ඔහු පිළිබඳවයි.
නිර්ව්‍යාජ ආත්ම ප්‍රක්ෂකයකු වශයෙන් ප්‍රකට සේකර 1929 අප්‍රේල් මස 07 වන දින කොළඔ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරලේ රදාවානේදී උපත ලබන ලදී. රදාවාන රජයේ පාසලෙන් හා කිරිඳිවැල මිශ්‍ර පාසලෙන්ද සිය අධ්‍යාපනය හදාරන ලදි. 1945 රජයේ ලලිත කලා ආයතනයට සම්බන්ධ වූ ඔහු ඉන් අනතුරුව නිට්ටඔුවේ ගුරු පුහුණු විද්‍යාලයෙන් පුහුණුවෙන් රාජගිරියේ හේවාවිතාරණ පාසලේ චිත්‍ර ගුරුවරයෙකු ලෙස සිය පළමු පත්වීම ලබා ගන්නා ලදි.
ඉන් අනතුරුව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තකයෙකු වශයෙන්ද ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වැඩ සටහන් සම්පාදකවරයෙකු වශයෙන්ද රාජකාරී කටයුතු කරන්නට විය. අනතුරුව රජයේ සේකර ලලිතකලා ආයතනයේ විදුහල්පතිවරයෙකු වශයෙන්ද අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය ඒකකයේ ප්‍රධානියා වශයෙන්ද උසස්වීම් ලබා ගන්නට විය.
සුළං රැල්ලේ පාවා එන්නේ
ඔබේ නාමය වේ..
වෘත්තීය කටයුතුවල නියැලෙන අතරම ලන්ඩන් විශ්ව විද්‍යාලයේ B.A උපාධිය නිම කළ ඔහු විද‌්‍යොදය විශ්ව විද්‍යාලයේ PHD උපාධිය සඳහා පර්යේෂණ නිබන්ධයක් ද සම්පාදනය කරන ලදි. මේ අනුව සේකර එක් ක්ෂේත්‍රයකට සීමා වූ පුදුගලයෙකු නොවූ අතර සිය හැකියාව දක්ෂතාවය හා භූමිකාව විවිධ ක්ෂේත්‍රයන් හරහා විශද කරන්නට විය.
සේකර විසින් මුලින්ම තෝරාගනු ලැබූ කලා මාධ්‍ය වුයේ චිත්‍රයයි.
‘සේකර විශේෂයෙන් කැපී පෙනුණේ චිත්‍ර කලාවටයි. කවර අවස්ථාවක වුවද ඔහු අතට අඟුරු කෑල්ලක් පැන්සලක් පෑනක් හුණු කැටයක් හසු වූ විට ඔහු ළඟ තිබුණේ කඩදාසියක් ද බිත්තියක්ද එසේ නැතිනම් වෙනත් උපකරණයක් ද යන විශේෂය නොබලා එහි චිත්‍ර ඇඳීමයි…….. ’
ආචාර්ය කේ.ජයතිලක ( දිවයින 2007/01/11)
භුමි දර්ශන ඇඳීමත්, ප්‍රභූන්ගේ ආලේඛ්‍ය චිත්‍ර ඇඳීමත් චිත්‍ර කලාව නොව බව හඳුනාගත් සේකර සාම්ප්‍රදායික සංකේතයන් අවශ්‍ය පරිදි නවමු ශෛලියකින් ඉදිරිපත් කිරීමට උත්සුක විය. ලන්ඩනයේ වේල්ස් ශිල්පායතනයේ උපාධි ලබා පැමිණී චිත්‍ර ශිල්පීන් එම විදෙස් ශිල්ප කලාවම ශ්‍රේෂ්ඨ තැන්හි ලා සලකන විට සේකර ඉන් මිදී ස්වාධීන සිත්තම් ආරක් අනුගමනය කරන්නට විය. එනමුත් චිත්‍රයෙන් එතරම් අවධානයක් ඔහුට නොලැබීයාම හේතුවෙන් ඔහු කාව්‍යකරණයට යොමු වූ බව කියැවේ.
ආතර් කොනන්ඩොයිල්ගේ THE WHITE COMPANY සිංහලට පරිවර්තනය කරමින් 1956 වසරේ දී ”ධවල සේනාංකය” රචනා කරමින් සේකර ග්‍රන්ථකරණයට ප්‍රවිශ්ට විය.
එතැන් සිට බටහිර කවීන්වන වඩ්ස් වර්ත්,ලෝරන්ස්,ෆොස්ට්,ශෙලී,එලියන්ට්,විග්මන්ට් සිට කලිල් ජිබ්රාඩ් ,නෙරූදා,පුෂ්කින්,ලර්මන් ටෝව් හරහා තාගෝර් මෙන්ම සරෝජිනී නායිදූ දක්වාම සිය කියවීම, ලිවීම මෙන්ම හැදෑරීමද ඔහු විසින් කරන ලදි. මේමගින් ගනු ලැබූ ආභාශය හරහා සිය නිර්මාණ, පර්යේෂණ, ශාස්ත්‍රීය ආදී ක්ෂේත්‍රයන් අළලා විවිධ කෘතින් රැසක් රචනා කිරීමට ඔහු සමත් විය. නුතන සිංහල කාව්‍යවලියේ ජන කවියත්, නිදහස් කවියත් එකිනෙකට යා කළ පුරුක ලෙස සම්භාවනාවට ලක් ව්‍යංගා, සක්වාලිහිණි, හෙට ඉරක් පායයි, මක් නිසාද යත්, රාජතිලක ලයනල් හා ප්‍රියන්ත, බෝඩිම නොමියෙමි සේකරගේ නොමියන සිහිවටනයන් වේ.
සේකර විසින් ලියන ලද ප්‍රබුද්ධ පද්‍ය කෘතිය මෙන් සම තැ න්හි ලා සැලකිය හැකි ”රාජතිලක,ලයනල් හා ප්‍රියන්ත” යන කෘතිය මුළු මහත් සමාජය දෙස මහත් පරාර්ථකාමී දෘෂ්ටියකින් බලා ලියන ලද්දකි.සමාජ පරිනාමනය ආකස්ම්ක හෝ අහඹුවක් නොවන බවත් එය සමාජ ක්‍රමයේම අනවරතන ප්‍රතිඵලයක් බවත් එහි කියැවේ.පවතින සමාජයක දුර්වලතාවයන් හා නොගැලපීම් මත නව සමාජ ක්‍රමයක් පැන නගින බවත් එය සැබැවින්ම පැවැති සමාජ ක්‍රමයට වඩා ප්‍රගතශීලී සාධනීය ලක්ෂණයන්ගෙන් යුක්ත බවත් පරම්පරාවෙන් පරම්පරාවට සේකර විසින් කියනු ලබයි. කෘතිය පුරාම දක්නට ලැබෙන්නේ සුභාපේක්ෂක දෘෂ්ටියකින් එය රචනා කර ඇති බවයි. එනම් මනුෂ්‍යත්වය පිළිබඳව අචල විශ්වාසයක් හා භක්තියක් කෘතිය පුරාම ගලා යයි.
තුංමං හන්දිය නවකතාව සේකරගේ ලේඛණ දිවියේ මෙන්ම ලාංකීය සිනමාවේද සංධිස්ථානයකි. නවකතාව පුරාම සරළ වූද, සුන්දර වූද, ග්‍රාමීය ජීවිතයේ ඇවතුම් ,පැවතුම් හා සිතුම් පැතුම් පිළීබඳ චිත්‍රයක් කියවන්නාගේ මනසේ සිතුවම් කිරීමට සේකර දක්වන දක්ෂතාවය පුදුම සහගතය.
අතීතයෙන්
ගඟ ගලා බසියි….
”කවිය වූ කලී කවියාගේ ආත්මය මිස අනෙකක් නොවේ. එබැවින් කවියා දේශීය වන තරමට කවිය දේශීය ගුණයෙන් යුක්ත වේ.කවියා සංයමයෙන් යුක්ත වන තරමට කවියෙහි සංයමය ඇති වේ. කවියා නිර්ව්‍යාජ වන තරමට කවිය නිර්ව්‍යාජ වේ. ”
මහගම සේකර (1966.10.21 සිළුමිණ ශාස්ත්‍රීය අතිරේකය)
කවියෙකු ගේය පද රචකයෙකු වශයෙන් මහගම සේකරයන් පිළිබඳ කියවීම පහසු නැත. ඔහුගෙන් තොරව සිංහල ගීත සාහිත්‍ය කියවා නිමකළ නොහකිවුවා මෙන් ඔහුගෙන් තොරව එහි දිග පළල ද සාකච්ජා කළ නොහැකිය.
සේකරගේ දේශපාලනික,ආර්ථික,සමාජ මෙන්ම ආගමික කියවීමේ ප්‍රකාශන මාධ්‍ය වූයේ කවියයි.ගීතයයි.
අවුරුදු 46ක ජීවිත කාලය තුළ ඔහු විසින් සිංහල කලා කෙතට ඉතිරිකර ගිය දෑ බොහෝය. ඒ අනුව ඔහු විසින් ලියන ලද ප්‍රබුද්ධ ලාංකීය පද්‍ය සාහිත්‍යයේ අමරණීයතම සිහිවටනය බව පැවසීම අතිශයෝක්තියක් නොවනු ඇත.
‘සිද්ධාර්ථ
එ බැවින් අද
නියත විවරණය මට දුන මැන
මේ ලියන මේසය ළඟ
මේ පුටුව මත හිඳ
මේ ලිපිගොනු අතර මැද
හාන පෝරුගාන වී වපුරන වෙල් යායක
සටන් පාඨ
වැඩ වර්ජන
කම්හල් දැති රෝද අතර
ගෑනු පිරිමි එක රොත්තට හිර වී ගෙන
උදේ සවස වැඩට යනෙන කෝච්චියක
දෙනෝදාහක් සෙනඟ අතර
බුදු වීමට
තනියම නොව
දෙනෝදාහක් සෙනඟ එක්ක
අපි ඔක්කොම එකට බුදු වීමට”
සේකර- ‘ප්‍රබුද්ධ’1977
‘බතක්-වතක්-ගෙයක් දොරක්
ලද පමණින්
රස්සාවක් ලද පමණින්එ විමුක්තියක් ලැබිය හැකිද
අසහනයෙන් මිදිය හැකිද
සංසාරේ නිරන්තරව තැවරී ඇති
දුක එතැනින් නිමා වේද….’
සේකර- ‘ප්‍රබුද්ධ’1977
ඔහු සතුව පැවැති නෛසර්ගික ශක්‍යතාවය වන්නේ සමාජය පිළිබඳ ඔහුගේ ඥානය අත්දැකීම් තුළින් ලද පරිචය ඉතාම සරළ සුගම බස් වහරක් මඟින් ඉදිරිපත් කිරීමට ඔහු හැකියාවයි.
තිඹිරිගෙයි සිට සුසානය දක්වා ජීවිතයේ එක් එක් අවධීන් පිළිබඳව ඇති සංකීර්ණ සමාජ යථාර්ථය ඉතාමත් සංයමයෙන් රූපකාර්ථ සහිතව ”සන්නාලියනේ” ගීතයෙන් ඔහු ඉදිරිපත් කරයි.
සාරවිට චිත්‍රපටය වෙනුවෙන් සේකර නිර්මාණය කළ මේ සිංහල අපගේ රටයි ගීතය වෙනුවෙන් 1966දි සරසවි සම්මාන උළලේදී හොඳම ගේයපද රචකයට හිමි වූ අතර 1968 වසරේ සත්සමුදුර සිනමා නිර්මාණය වෙනුවෙන් සේකර නිර්මාණය කළ සිනිදු සුදුමුදු තලාවේ ගීතය වෙනුවෙන් හිමිවිය. 1970 වසරේදී සේකර විසින් බිනරමලී චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කළ රටකින් රටකට පාර අසාගෙන ගීතයද හොඳම ගී පද රචකයට හිමි සම්මානය සේකරට ලබා දීමට සමත්විය.
එමෙන්ම සේකරගේ සිනමා නිර්මණ අතර පරසතුමල් චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කරණ ලදුව විශාරද සුජාතා අත්තනායක විසින් ගායනා කරන ලද පරවුණු මල්වල සුවද ඇතිතේ ගීතය, තුන්මං හන්දිය සිනමා නිර්මාණය වෙනුවෙන් සේකර විසින් රචිත පණ්ඩිත අමරදේවයන් විසින් ගායනා කරන අතීතයෙන් ගඟ ගලා බසියි ගීතය, ගැටවරයෝ චිත්‍රපටයේ නාරද දිසාසේකර ගායනා කරන ආරිච්චි බෝරිච්චි ගීතය, සාරවිට චිත්‍රපටය වෙනුවෙන් ජේ .ඒ මිල්ටන් පෙරේරා විසින් ගායනා කරන සිරිසාර බුලත්විට හා ලක්ෂ ගණන් වස්තු ලැබී ගීතය, ආදිය සේකර රසිකයන් අමන්දානන්දයට පත් කිරීමට සමත් සිනමා නිර්මාණ අතර වේ.
එමෙන්ම මළහිරු බසිනා සැන්දෑ යාමේ, පාලු අඳුරු නිල අහස මමයි, මෙලොව යම්කිසිවෙකු, වක්කඩ ළඟ දිය, සන්නාලියනේ, පිළේ පැදුර, රත්නදීප, ඈත කඳුකර, කරදර පොඩි බැඳ, ඔබේ නමින්, අමා ගඟ, ඉරට මුවාවෙන්, මා මළ පසු, නිම්වලල්ලෙන් එපිට,සිතල දිය පිරි, අඩවන් දෑසින්, කන්ද උඩින් එන ආදී සියලුම සුගේය ගීත සුවහසක් රසික සිත් නිවා ලන්නට නිවා සුවපත් කරන්නට සමත් අග්‍රගන්‍ය කෘතහස්ත නිර්මාණ වේ.
පුර්වාපර සන්ධි ගලපා බැලීමේදී සේකර මෙතරම් සිවිල් සමාජය තුළ ජනකාන්ත භාවයට උත්කර්ෂයට පත්ව ඇත්තේ කිසිදු සිවිල් බලයක් ඇති නිසාවෙන් නොව ඔහුගේ නිර්මාණ ශක්තියේ ප්‍රභාව නිසාවෙන්මයි. සේකරට පසු හෝ පෙර ඔහු හා සම කිරීමට තවත් නිර්මාණකරුවකු මෙරට මෙතෙක් පහලව නොමැති අතර ඉතාම අඩු පහසුකම් පැවති අවධියක ඔහු හෙළ සාහිත්‍ය කේත ඇස වැද්දනට කළ මෙහෙය අග්‍රගන්‍ය වේ,
ඔප් නැඟූ විසල් මේසයක් මත
තබා සුදු සුමුදු කරදාසියක්
ඒ මත පාකර් පෑන් තුඩකින්
ලියන්නට මට නොමැත කවියක්
වැඩ ඇරී එන කලට ඔබ සමග
සෙනඟින් පිරී ගිය දුම්රියක
අවුලාගෙන හිස් සිගරැට් පැකට්ටුවක්
ඒ මත පැන්සල් කෙටියෙන්
කුරුටු ගාන්නට මට ඇත කවියක්
– ප්‍රබුද්ධ
‘සුරදූතයන් විසින් ගයන ලද ගීතිකා ලෙස අප විසින් සලකන කෘතීන් ඇත්ත වශයෙන්ම ලියා ඇත්තේ නිරයේ පතුලෙහි ජීවත් වූ පුද්ගලයින් විසින් යයි වරක් ප්‍රාන්ස් කෆ්කා විසින් පවසා ඇත. කලා කෘතීන් බිහි වන්නේ, මහත් මානසික සහ ශාරීරික වේදනාවකිනි.” (නිර්මාණය හා ශෝකය හැඳින්වීම, බෙනඩික් දොඩම්පෙගම).
අද මෙන්ම හෙටත් ඉන් මතුවටත් යුග යුග ගණනාවක් අපට සේකර පිළිබඳව ලියන්නට කියවන්නට කතිකාවතක් ඇති කළ හැකිය. ලෝකය මීට වඩා කෙදිනක යහපත් වේදැයි අප නොදනිමු. එනමුත් ඔහුගේ නිර්මාණ බොහෝ ආදරයෙන් අප කියවමින් හිඳින්නෙමු. අවසන ඔහු නිරන්තරව ප්‍රර්ථනා කළ මරණය තුළ සුවසේ නිදන්නට හැකිවේවා යැයි පතන්නෙමු.
මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනව
නන්නාඳුන්නා ඔබගේ අත් අකුරින් ලියනු මැනව
මේ ලොව යම් කිසිවෙකු මා හට පෙම් කළ බව
එතකොට ඒ ගී රාවය හීන් හඬින් මට කියාවි
සටහන: සශිකලා මධුෂාණි