උපාලි කොළඹගේ
කොළඹ LNW:මෙය ලියන්න පටන් ගත් මේ මොහොතේ සිට හෝරා දෙකකින් පසු අභාවප්‍රාප්ත වික්ටර් අයිවන් මහතා ගේ නිසල දේහය දැවී අළුවී යනු ඇත.මෙම සටහන බුද්ධිය හා හැඟීම් අතර දෝලනය වන්නක් ලෙසද හැඳින්විය හැකිය. ප්‍රියයන්ගෙන් වෙන්වීමට සිදු වීම යථාර්ථයක් බව අප දැන ගෙන සිටියද අපදන්නා අයකු හෝ කිට්ටුවර ඥාතියකු මිය ගිය විටදී අපට දැනෙනුයේ වෙනත් ආකාරයකටය. අධිසංවේදී අපේ හිත් කම්පාවේ පත්ලටම කිඳා බසී.
වික්ටර් අයිවන් මහතාගේ සමුගැනීම මට දැනෙනුයේ ද එයාකාරයකටය. නොවැලැක්විය හැකි හේතු කිහිපයක් නිසා වෙන් මට අවමංගල උත්සවයට සහභාගි වීමට නොහැකි වුවද අයිවන් මහතා ගේ අවසන් සුසුම් රැල්ල වාතලයට මුදා හැරුණු මොහොතේ සිට මේ දක්වා මා සිටිනුයේ අයිවන්ගේ නිසල දේහය අබියස යැයි කීවත් එය අතිශයෝක්තියක් වන්නේ නැත.
වික්ටර් අයිවන් මට මුණ ගැසෙනුයේ සර්වෝදය විශ්ව ලේඛා ආයතනය තුළදීය. ඔහු එතැනට ආවේ කුමන අරමුණකින්ද යන්න නොපැහැදිලි මුත් මා ආවේ ටෛම්ස් ආයතනය වසා දැමීම නිසා රැකියාව අහිමි වීමෙන් පසු ඊට වෘත්තීය පිළිසරණක් ලබා ගැනීමට බවය සත්‍යය.
රාවයට අඩිතාලම වැටුණේ අපේ මෙම හමු වීමත් සමඟය. රාවය ආරම්භ වූයේ දෙතුන් දෙනකුගේ කාර්ය මණ්ඩලයකිනි. වික්ටර් අයිවන් ප්‍රධාන කතුවරයා විය. මා නියෝජ්‍ය කතුවරයාය. සඳා අහුබුදු මහත්මිය උපකතුය. අප අවශ්‍ය ඡායාරූප ලබා ගත්තේ සර්වෝදයේ විමලසිරි ජයලත් ගෙනි. සියලු බර කරට ගෙන නිර්මාණ කටයුතු කළේ චිත්‍ර ශිල්පී අභාවප්‍රාප්ත අසෝක පද්මසිරි සහෘදයාය.
රාවයේ ආරම්භය මාසික සඟරාවකි. එම නිසා කුඩා කර්තෘ මණ්ඩලයක් ප්‍රමාණවත් විය. වික්ටර් අයිවන් මහතා රාවය ආරම්භ කරන විට ඔහු මාධ්‍යයට ආධුනිකයකු යැයි කීමෙන් ඔහුට අසාධාරණයක් වේ යැයි නොසිතමි. මාධ්‍යයට ආධුනිකයකුව සිට ඉතා කෙටි කලක් තුළ මාධ්‍ය ප්‍රබලයකුගේ තත්ත්වයට පත්වීමය මා ඔහු ගේ දකින විශේෂත්වය. අප මෙන් සාම්ප්‍රදායික මාධ්‍යකරුවකුගේ ගමන් මගට නොපිවිසී මාධ්‍ය කේෂ්ත්‍රයේ අයෝමය සන්නාමයක් බවට පත් වීමය අයිවන්ගේ මාධ්‍ය භාවිතයේ ප්‍රබලත්වය. වික්ටර් අයිවන් මහතා නිර්භීතය. අවංකය. එක දිගට පැය 24ක් වුවත් වැඩ කිරීමේ ශක්තියක් ඔහු සතුවිය .
සමහර අවස්ථාවල අප රාජකාරි කටයුුතු නිමවා ගෙදර ගොස් පහුවෙනිදා ආපසු එන විටත් කලින් දා ඇරඹූ වැඩයෙහි ඔහු නිරතව සිටී. ගවේෂණාත්මක මාධ්‍යකරුවකු සතුව තිබිය යුතු අවධානම භාර ගැනීමේ ගුණය ප්‍රමාණයටත් වඩාඔහු සතුව පැවතිණයි යන්න ද පරම සත්‍යයකි. වික්ටර් අයිවන් සතුව පුද්ගලික අභිලාෂයන් නොතිබීමද ඔහු ගේ දැවැන්ත ප්‍රතිරූපය වර්ණවත් කිරීමට බෙහෙවින් ඉවහල් විය. තවත් මට හොඳින් මතක සිද්ධියකි අයිවන් මහතාගේ වැඩිමහල් සොහොයුරා දැඩි ලෙස ගිලන්ව ජීවත් කරවීමට නොහැකි තත්ත්වයෙන් රෝහල් ගතව සිටින අවස්ථවේ එක්තරා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් (එජාප) අයිවන් මහතා ලංකර ගැනීමට උදව් ලබා දීමට කළ උත්සාහය ව්‍යර්ථකරවීම.
අයිවන් මහතාගේ කළමනාකරණ හැකියාව නිසාමය සේවකයන් තුන් හතර දෙනකු ගෙන් ඇරඹි රාවය හතලිහක් පනහක් වැඩ කරන ආයතනයක් බවට පත් කර ගැනීමට හැකි වූයේ. මගේ දිගුකාලීන මාධ්‍ය ජීවිතයට අපූරු අද්දැකීම් රාශියක් එකතු කරමින් දේශපාලන පන්නරය ලබා දුන්නේද මෙම අසහාය මාධ්‍ය වේදියාය.
මේ නොකැලැල් මාධ්‍ය භාවිතය නිසාම ඔහු ආඩම්බරකාර පත්තර කාරයකු ලෙස අවසානය තෙක් සිටි බවයි මගේ අදහස. අනාගතයේ තවත් වික්ටර් අයිවන්ලා පහළ වේද නොවේද යන්න කිව නොහැක. නමුත් දැනට නම් එහෙම සේයාවක්වත් දක්නට නැත.
මාධ්‍ය කුමරුණි, දැන් ඔබෙන් සමුගතයුතු නිමේෂයයි. ඉතින් ආයුබෝවන් !