ඒ මැවිල්ලෙහි දෙවියන් වන මම

Date:

කලක් ගත වී තවත් සැරයක්
විශ්වය ම බිඳ වැටිණ
ක්ෂුද්‍ර එක් බුබුළකට
සක්වල ම මිටි කෙරිණ
ශේෂ වී ඇති එක ම බුබුළෙහි
ගුලි ගැහෙන අතරතුර
විශ්වයේ බිහිවීම
දෑස් ඉදිරියෙ දිග හැරිණ

කියැවූ පොතක හැම අකුරක් ම
පත අට එකට සිඳ
මල් ⁣කෙණ්ඩියක ලා බිව්වේ මම ය
ප්‍රබන්ධ චරිත ගෙන පණ පොවා
මා වෙත ම වැහෙන තුරු
සද් මන්ත්‍ර ජප කළේ මම ය

සකල විධ සංකල්ප රන්සුනු
හද බඳුන් ලා උණු කොට
රන් රෝස ද ආලේඛ්‍ය ද
තැනුවේ මම ය
වංකගිරි සඳ උයන් මන්දාකිණි අතර
ගමන් මං යා කොට
සිතියම් ද ඇන්දේ මම ය

අසංඛ්‍ය සිහින රන් කෙඳි
අමුණ අමුණා
ස්වයං බන්ධන වරපට
සියතින් ම ගෙතුවේ මම ය

මේ අදිසි විශ්වය
තනි ව රහසින් තනා
එහි ම ඉපදෙන මියෙන
මැවුම්කාර දෙවියන්
අන් කිසිවෙකු නො ව
මම ය
මා පමණ ය

අන්තිමේ දී!
ඔබ ආ බව
බොහෝ අත්හදාබැලීම් අවසන
මගේ විශ්වය
සියැසින් දැකිය හැකි
මායාමය දෑස හමු වූ බව
පොද වැස්සකට සහ
සංගීත ඛණ්ඩ නිමේෂයකට පසු
ඉතා පහසුවෙන්
තීන්දු ක⁣ළේ ද මම ය

මගේ මේ අදිසි සක්වල
අතැඹුලක් සේ ඔබට හුරු බව
සියලු තාරකාවල කටහඬ
වෙන් වෙන් ව වැටහෙන බව
තනා ලූ රන් රෝස ස්පර්ශයෙන්
ඔබ දෑත් පිළිස්සී නො යනු ඇති බව

රන් කෙඳි වරපට මත
මා සමඟ වැතිර
සුළඟ හා කතා කරනු ඇති බව
සිතුවේ මම ය

මා තැනුණු විශ්වයේ අංශුවලින්
ඔබ ද නිර්මිත බව
මට කීවේ නම් ඔබ ය
එහෙත්
ඇදහිල්ල නම් වූ බිහිසුණු පාපය
දැන දැන ම සිදු කළ
ශුද්ධ වූ මිත්‍යාදෘෂ්ටික හර්දය
මගෙ ය

එවිට මට වැටහිණ
සියල්ලෝ ආ ගිය ලෙස
ඔබ ද පිට වී ගියා මිස
කිසිවක් ම නො වෙනස් ව
දැනුදු පවතී මා මැවිල්ලෙහි ඇස

මේ අදිසි විශ්වය
තනි ව රහසින් තනා
එහි ම ඉපදෙන මිය යන
මැවුම්කාර දෙවියන්
කවරෙක් ද මා මිස

~ කල්පනා ඇම්බ්‍රෝස්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesday: Pasta ඩිෂ් එකක් හොය හොය හිටිය අයට! Creamy Garlic Parmesan Pasta!

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

නූතනත්වය අසමත්වන තැන ඉතිහාසය…

මට උනත් බැලූ බැල්මට කිසිම අදහසක් ගන්න බැහැ දැන්...