කොළඹ LNW:යම් යම් මතභේද පැවතියද එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය යන පක්ෂ දෙකේම සිටින ඔක්කොම එකම කඳවුරක අය බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසිය.
එක්සත් ජාතික පක්ෂය හා සමඟි ජන බලවේගය එකට වැඩකළ හැකි ආකාරය සම්බන්ධයෙන් මේ දිනවල සිදුකරන සාකච්ජා සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ.
ඒ අනුව දැනට සාකච්ජා වට තුනක් පවත්වා ඇති අතර ඉදිරියේදීත් තවත් සාකච්ජා වට කිහිපයක් පැවැත්වෙන අතර ඉලක්කය වන්නේ එජාප සමඟි එකතුවක් පමණක් නොව NPP විරෝධී කඳවුරම එකට එකතු කරගැනීම බවද ඔහු ප්‍රකාශ කළේය.
”එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය මේ දෙගොල්ලොම එකයි,පොඩි පොඩි මත භේද නිසා වාද විවාද කරගන්නවා තමයි. හැබැයි අපි ඔක්කොම එකයි. ඒ නිසා අපේ පක්ෂය තීරණයකට ආවා බිම් මට්ටමේ අපේ ක්‍රියාකාරිකයින් ඉල්ලීම් කරනවා අපි දෙගොල්ල එකට එකතුවෙන වේදිකාවක නිර්මාණය කරන්න පටන් ගන්න කියල. ඒ නිසා අපේ පක්ෂ දෙකේම කෘත්‍යාධිකාරී මණ්ඩල දෙකම තීරණය කළා හරි අපට එහෙම එකතු වෙන්න තියෙන අවකාශය මොකක්ද කියල. එහෙම ඉඩක් හදාගැනීම සඳහා අපි සාකච්ජා ආරම්භ කරන්න ඕනේ. ඒ නිසා අපි ඒ වැඩේට බැහැල තියෙනවා දැන්. පක්ෂ දෙකම නියෝජිතයෝ නම් කරලා තියෙනවා. මම ඒ සකච්ජාවල නියෝජිතයෙක්. දැනට සාකච්ජා වට තුනක් තිබුණා. එන සති වලත් සාකච්ජා වට කිහිපයක ඉක්මණින් තියෙනවා. අපිට 100%ක් සමහර කාරණා වල එකඟ වෙන්න බැරිවෙයි. නමුත් අපි බලන්නේ පුළුවන් තරම් එකඟවිය හැකි කාරණා මොනවද කියල බලන්න. අපි දෙගොල්ලොම තීරණය කළා දැන් පළාත් පාලන මැතිවරණය එනවා, මේ සාකච්ජාව ඒකට සීමා කරන්න ඕනේ නැහැ. අපි ඊට එහා ගිය ජාතික මැතිවරණයකට යන්න ඕනේ. පළාත් පාලන මැතිවරණයේදී උත්සහ කරමු හැකිතාක් දුරට එකඟවෙන්න පුලුවන් තැන්වල එකට වැඩකරන්න. සමහර අවස්ථාවල් අපිට වෙයි වෙන වෙනම තරඟ කරන්න. වෙන වෙනම තරඟ කළත් එකට එකතු වෙලා සභාවල් හදමු කියල තීරණය කරමු. අන්න ඒ වගේ එකඟතාවන්ට ඇවිල්ලා තියෙනවා. ඒ ආදර්ශය ගත්තේ සමූපකාර ජන්දෙන්.ආණ්ඩුවට කනට ගැහුවා වගේ ඒ වැඩේ. දැන් ඒකට මඩ ගහනවා. මොන මඩ ගැහුවත් අපිට මේ රටේ දේශපාලන පරිවර්තනයක් වෙනුවෙන් එකම වේදිකාවක් හදන්න පුළුවන් නම් එයයි වෙන්න ඕනේ. එය එක්සත් ජාතික පක්ෂය හා සමඟි ජන බලවේගය පමණක් නෙවෙයි NPP විරෝධී අනෙකුත් දේශපාලන ව්‍යාපර ඔක්කොම එකට එකතු වෙලා වැඩකරන්න අපි සූදානම්.” යනුවෙන් අත්තනායක මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.
ආශිකා බ්‍රාහ්මණ