වෛද්‍ය ජෙමිස් ප්‍රැන්සිස් පීරිස් දිනක සිය එකලොස් හැවැරිදි පුත්‍රයාට කුඩා ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් තෑගි දෙනු ලැබීය. ඔහුට එමගින් චාලි චැප්ලින්ගේ නිහඬ චිත්‍රපට නැරඹීමට හැකි විය. ඒ මඟ ගිය කෘතහස්ත නිර්මාණවේදීයා ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස්ය. එතුමන් 2018 වසරේ සිය සිනමා ජීවිතයේ 99 වන වියේදී නික්ම ගියේ අද වැනි (28) දිනකය. අද දිනට එතුමන්ගේ සිව් වන ගුණානුස්මරණය යෙදී තිබේ.
ජාත්‍යන්තර ගෞරවයට පාත්‍ර වූ ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු, තිර රචකයකු සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙතු වූ ශ්‍රී ලංකාභිමාන්‍ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා උපත ලබන්නේ 1919 අප්‍රේල් 05 වන දින දෙහිවල දීය. ඔහුගේ පියා වෛද්‍ය ජේම්ස් ෆ්‍රැන්සිස් පීරිස් වූ අතර මව ඈන් ගෙස්ට්‍රියට් විනිෆ්‍රච් ජයසූරිය වුවාය. ඔහුට සහෝදර සහෝදරියන් තිදෙනෙකි. ඉංග්‍රිසි රෝමානු කතෝලික පවුලක හැදී වැඩුණු ලෙස්ටර්ගේ ලේඛණ හ භාෂණ මාධ්‍ය වුයේ ඉංග්‍රිසි භාෂාවයි. ඔහු සිය මූලික අධ්‍යාපනය කොළඔ ශාන්ත පීතර විද්‍යාලයෙන් නිම කළ අතර 1939 දී ඔහු ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත්පතෙහි ඉන්දියානු සංස්කාරකවරයෙකු වූ ෆ්‍රෑන්ක් වොරේස් යටතේ සේවය කළේය. ඉන් අනතුරුව ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙහි කෙටි කාලයක් රාජකාරී කරණු ලැබීය.
1947 වර්ෂයේදී වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තය බලා පිටත්ව ගියේය.
1947 දී එංගලන්තයේ සිට Times of Ceylon පුවත්පතේ වාර්තාකරුවෙකු ලෙසින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන ලෙස්ටර් මුලින්ම චිත්‍රපටකරණයට පිවිසෙන්නේ එහිදීය. එහිදී දෙවන ලෝක යුද්ධයෙන් පසු සිනමාව තුළ ඇති වූ නව තාත්විකත්වය පිළිබඳ හොඳ කියවීමක් මෙන් ම අධ්‍යනයක් ලැබීමට ඔහු සමත් විය. ඒ අනුව යමින් 1950 දී නිර්මාණය කරන ලද Farewell to Childhood ඔහුගේ මුල්ම කෙටි චිත්‍රපටයකි.
ලෙස්ටර් සැබැවින්ම ශ්‍රී ලාංකේය සිනමාව අන්තර්ජාතික කීර්තියට පත් කිරීමට සිය නිර්මාණ දායකත්වය සැපයීමට සමත් වූ ජ්‍යෙෂ්ඨතම ලාංකේය සිනමාකරුවාය.
බ්‍රිතාන්‍යට ගොස් සිනමාවේ සියලු හැඩතල උගත් ලෙස්ටර් 1956 වසරේ රේඛාව මඟින් ඊට හෙළ ලකුණු මුසු කිරීමට සමත් විය. චිත්‍රාගාරයෙන් බැහැරව එළිමහනක් තුළ නිර්මාණය වන රේඛාව චිත්‍රපටයත් සමඟ ඇරඹෙන්නේ ලාංකීය සිනමාවේ ස්වර්ණමය යුගයයි.
ඕලු නෙළුම් නෙරිය රඟාලා – කිකිණි හඬන වලා නගාලා
ගඟුල් තොටිල්ලේ මල් ඇතිරිල්ලේ – මගේ කුඩා ඔරුව හබල් ගා
යමු නැළැවිල්ලේ..
ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ…………
සිනමාව මායාවක් කළ චිත්‍රාගාර අමුද්‍රව්‍ය කෘතීම රූ රටා වෙනුවට හුදී ජන ව්‍යවහාරය සිනමාවට ආරෝපණය කිරීමට මෙහිදී ලෙස්ටර් සමත් විය. ලෙස්ටර් රේඛාව මඟින් සිංහල ගීත කලාවක ආරම්භය සනිටුහන් කරණු ලැබීය.
“දැන් 1956 රේඛාව බිහිවීම අපේ හැරවුම් ලක්ෂයනේ. ඒක අපි හඳුන්වන්නෙම පළවෙනි කැරැල්ල විදියට. ඔහු අපට පළවෙනි සිනමාරූපී චිත්‍රපටය ලබාදෙනවා රේඛාව නමින්,”
“ඒ වගේම ලෝකය, ශ්‍රී ලංකාව නැමති රටේ සිනමාවක් තියෙන බව දැනගන්නේ රේඛාව නිසා. රේඛාව කාන් සිනමා උළෙලට ගියාට පස්සේ.”
“මා දකින විදියට ඔහු තමයි අපේ සිනමා කලාවේ ආරම්භකයා. ඔහුගෙන් පසු බිහිවන නව සිනමා පරම්පරාවට මාර්ගය හෙළි පෙහෙළි කර දුන්න, ඔවුන්ට පහන් ටැඹක් බවට පත්වෙච්ච පරමාදර්ශී සිනමාකරුවා ඔහුයි. ඔහුගෙන් තොරව අපට සිනමා කලාව ගැන කතාකරන්නට බෑ.” – සිනමා විචාරක ගාමිණී වේරගම.
අනතුරුව ලෙස්ටර් විසින් ගම්පෙරළිය (1963) කලියුගය (1982) යුගාන්තය (1983) මාර්ටින් වික්‍රමසිංහයන් විසින් ග්‍රාමීය පරිසරය, නාගරීකරණය වෙන ආකාරයත්, ඒ හේතුව නිසා මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් වන ආකාරයත් පරම්පරා තුනක් ඔස්සේ දිගහරින්න මේ තෙවදෑරුම් නිර්මාණයන්ට ප්‍රාණය පිඹින්නට ලෙස්ටර් සමත් විය. එවකට පැවැති පළමු සරසවි සම්මාන උලළේදී හොඳම අධ්‍යක්ෂකවරයාට හිමි සරසවි සම්මානය දිනා ගැනීමට ගම්පෙරළිය සිනමා නිර්මාණය වෙනුවෙන් ලෙස්ටර් සමත් විය. මීට අමතරව තුන්වැනි මොස්කව් සිනමා උළෙලට නිර්දේශ වීමට අවස්ථාවක්ද මේ හරහා ලැබිණී.
සිංහල සිනමාවේ විශිෂ්ටතම චරිතාංග චිත්‍රපටය ලෙසට සැලකෙන්නේ නිධානය චිත්‍රපටයයි.
නිධානය සිනමා නිර්මාණය ජේ.බී. සේනානායකගේ කෙටි කතාවක් අළලා කරන ලද්දකි. මේ තුළ තිර රචනය, කැමරාකරණය, සංස්කරණය, සංගීතය, කලා අධ්‍යක්ෂණය, වේශ නිරූපණය වගේ හැම අංගයක් ම විශිෂ්ට තත්ත්වයෙන් දක්නට විය.
මෙම කතාවට පාදක වන්නේ නිධානයක් ලබා ගැනීමේ පරමාර්ථයෙන් සිය බිරිඳ වන අයිරින් බිල්ලට දෙන විනී අබේනායකගේ පසුතැවිල්ලයි. සැබැවින්ම නිධානය එතෙක් පැවති සිනමා නිර්මාණ සියල්ල අතික්‍රමණය කරමින් ජනාදරයට පාත්‍ර වීමට සමත් විය. සිංහල සිනමා වංශයේ සදාතනික සිහිවටනයක් ලෙස නිධානය සිනමා නිර්මාණය හැදින්විය හැකිය.
මෙම චිත්‍රපටය ඉතාලියේ වැනිස් ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේ දී ලැබුණු රජත සිංහ සම්මානය (SILVER LION OF ST. MARK), කොරියාවේ 4 වැනි පූසාන් අන්තර් ජාතික චිත්‍රපට උලෙළේ ආසියාවේ නිර්මාණය වූ නිර්මාණ අතරින් එකක් ලෙස නිර්දේශ වන්නට විය. එනම් ඉන්දියාවේ සත්‍යජිත් රායිගේ පාතර් පංචාලී, ජපානයේ අකිර කුරසෝවාගේ රෂෝමන් අතරට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව ද හොඳම චිත්‍රපට 13 න් එකක් බවට පත් වීම එම සම්මාන අතරින් කීපයකි.
ලෙනාඩ් වුල්ෆ් රචනා කරන ලද ඒ.පී.ගුණරත්නයන් පරිවර්තනය කරපු “බැද්දේගම” ආචාර්ය ලෙස්ටර් විසින් නිර්මාණය කරන ලද තවත් කෘතහස්ත නිර්මාණයක් වේ.
සංදේශය, රන්සළු, දෙලොවක් අතර, ගොළු හදවත, වෑකන්ද වලව්ව අම්මාවරුණේ ආදී චිත්‍රපට 20ක් පමණ ලෙස්ට විසින් හෙළ සිනමාවට දායාද කර ඇත.
පසු කාලීනව බිහිවන ලද නිර්මාණ කරුවන් රැසකට අත්පොත් තබනු ලැබුවේ ආචාර්ය ලෙස්ටයි. ඔහුගේ සිනමා ආඛ්‍යාන මග යමින් සිනමාව තුළ අතිහදා බැලීම් රැසක් කරනු ලැබූ ධර්මසේන පතිරාජ ධර්මසිරි බණ්ඩාරනායක ප්‍රසන්න විතානගේ අශෝක හඳගම විමුක්ති ජයසුන්දර ආදීන්ද මෙහිලා දැක්විය හැකිය.
ආචාර්ය ලෙස්ටර් අවස්ථා ගණනාවකදී ජාත්‍යන්තර සිනමා උළෙලවල් රැසක් නියෝජනය කිරීමට සමත් විය. එමෙන් ම එතුමන් ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද සම්මානයට පාත්‍ර විය.
1956 – රේඛාව – කාන්ස් සිනමා උළෙල
1981 – බැද්දේගම – ප‍්‍රංශ කාන්ස් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය
1981 – බැද්දේගම – ලන්ඩන් සිනමා උළෙල නියෝජනය
1982 – කලියුගය -ප‍්‍රංශ කාන්ස් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය
යුගාන්තය – ජනාධිපති සම්මානය – හොදම අධ්‍යක්‍ෂණය
1985 – යුගාන්තය – මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය
පිං හාමි – මොස්කව් ළමා චිත‍්‍රපට උළෙල නියෝජනය හා ප‍්‍රථම ත්‍යාගය ලබා ගැනීම.
1997 ජනාධිපති සම්මාන උළලේ ‘ගෝල්ඩන් ලයන්’ (ස්වර්ණ සිංහ සම්මානය)
2000 ‘දිල්ලි’ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය- මයුර සම්මානය
2001 ‘ස්වර්ණ පද්ම’ සම්මානය- ආසියානු සිනමාව සදහා දැක් වූ දායකත්වය වෙනුවෙන් 2002 ආසියානු සිනමා සංස්කෘතිය පිළිබ
ද වූ සම්මානය
සිංහල සිනමාවේ රිදී තිරය වෙනුවෙන් සිය ජීවිතයේ අඩසියවසක්ම කැපකළ මෙම අසහාය නිර්මාණවේදියා මිය යන තෙක්ම ජීවත් වූයේ අංක 24 ඩික්මන් පාර කොළඹ 05 දරණ ලිපිනයේ පිහිටි කුලී නිවසකය. වාණිජ පරමාර්,යෙන් තොරව අව්‍යාජ හැඟීමෙන් ඔහු කරන ලද නිර්මාණ තවත් දශක ගණනාවක් යන තෙක් රසික හදවත් තුළ ජීවමාන වනු ඇත. ඔහු විසින් සිංහල සිනමාවට, සිනමාවේ ගමන් මගට කරන ලද අමිල මෙහෙය සැබැවින්ම මෙතෙකැයි කිව නොහැකි තරම්ය. සිංහල සිනමාවේ ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් නාමය සදාතනික ”රිදී රේඛාවක්”, ”නිධානයක්ම” වනු ඇත.
-සශිකලා මධුෂාණී-