ඉසුරු පරාක්‍රම
පෙබරවාරි 06, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයෙන් එළඹෙන 2030 වර්ෂයවන විට ඇ.ඩො. බිලියන 05 ක ආදායමක් ලැබීමට සැලසුම් යොදා තිබෙන බව වාර්තා වේ.
අන්තර්ජාල භාවිතයේ පහසුව ඉහළයාම, විද්‍යුත් වාණිජ වේදිකාවන්වල වැඩිදියුණුවීම් සිදුවීම හා තාක්ෂණයේ වැඩිදියුණුවීම සමඟ ඩිජිටල් ආර්ථික පරිවර්තනය සඳහා ශ්‍රී ලංකාව නව මාවතකට පිවිස සිටියි.
යටිතල පහසුකම්, ප්‍රතිපත්ති රාමූන් හා ඩිජිටල් සාක්ෂරතාවය යන අභියෝගයන්වලට මුහුණදෙන ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය, මේ මොහොතේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් ගනිමින් සිටින අතර, ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරන බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පවසයි.
ඒ අනුව, එළඹෙන 2030 වර්ෂයවන විට, ශ්‍රී ලංකාවේ ඩිජිටල් අපනයන ඔස්සේ ඇ.ඩො. බිලියන 05 ක ආදායමක් ඉපැයීමට අපේක්ෂා කරන බව ඒ මහතා අවධාරණය කරයි.
ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශකවරයා මේ බව පවසා සිටියේ ඊයේ (05) දින ශ්‍රී ලංකා ඩිජිටල් පොදු යටිතල පහසුකම් සමුළුව දියත් කිරීමේ උත්සවය අමතමිනි.
මෙරට ඩිජිටල් ආර්ථික පරිවර්තනය කඩිනම් කිරීම සඳහා, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් ශක්තිමත් කිරීම, නවෝත්පාදනයන් සඳහා ප්‍රමුඛතාවය ලබා දීම, සහ වඩාත් ප්‍රගතිශීලී රෙගුලාසි ක්‍රියාත්මක කිරීම සඳහා අවධානය යොමුකළ යුතු ය.
එමෙන්ම, ඩිජිටල් විසඳුම්වල ප්‍රමුඛයා ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම සඳහා කෘතිම බුද්ධිය (AI), බිග් ඩේටා සහ බ්ලොක්චේන් වැනි නැඟී එන තාක්ෂණයන් සඳහා ආයෝජන යෙදවිය යුතු ය.
මීට අමතරව, කුසලතාවල තිරසාරභාවය ගොඩනඟා ගැනීම සඳහා මෙරට ශ්‍රම බලකායේ කුසලතා ඉහළ නැංවීම සහ විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු හා ගණිතය යන විෂයයන්වල අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම ද අත්‍යාවශ්‍ය වේ.
මේ සඳහා රජය, පෞද්ගලික අංශය සහ ජාත්‍යන්තර හවුල්කරුවන් අතර සහයෝගීතාවයෙන් යුත් උපායමාර්ගයක් කෙරේ යොමුවිය යුතු අතර, ශක්තිමත් ඩිජිටල් ආර්ථිකයක් ගොඩනඟා ගැනීමට එය ඉවහල්වනු ඇත.
එමෙන්ම, යටිතල පහසුකම්වල පවතින අඩුපාඩු මඟහරවා ගෙන තාක්ෂණික දියුණුව උපයෝගී කර ගැනීමෙන්, වඩාත් කාර්යක්ෂම, ඇතුළත්භාවයෙන් යුතු, සහ ගෝලීය වශයෙන් තරඟකාරීත්වයක් ලබා දිය හැකි ඩිජිටල් වේදිකාවක් බිහිකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇත.
ඇ.ඩො. බිලියන 80 – 90 ක ආර්ථිකයක් තුළ ඩිජිටල් අපනයන ඔස්සේ ඇ.ඩො. බිලියන 05 ආදායමක් ලැබීම දැවැන්ත වර්ධනයක්විය හැකි බව ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පෙන්වා දෙයි.
එමෙන්ම, ඩිජිටල්කරණය සඳහා සම්පූර්ණයෙන් ම යොමුවීමෙන් සංයුක්ත වාර්ෂික වර්ධන වේගයේ (CAGR) සියයට 01 – 02 ක වාර්ෂික ඉහළයාමක් අපේක්ෂාකළ හැකි අතර, එමඟින් සියයට 02 – 03 ක් වූ රටේ මූලික දළ දේශීය නිශ්පාදිත වර්ධනය ඉහළ යවා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව ද හෙතෙම අවධාරණය කරයි.
ඩිජිටල් අපනයන අපේක්ෂිත ඉලක්කය කරා ළඟාවූවහොත්, මෙම අතිරේක දළ දේශීය නිෂ්පාදිත වර්ධනය දෙගුණ විය හැකි බව ද විජයසූරිය මහතා පෙන්වා දෙයි.
ඩිජිටල් ආර්ථික උපායමාර්ගය සහ තොරතුරු තාක්ෂණ අංශයේ ව්‍යාපාර ක්‍රියාවලි කලමනාකරණය (IT-BPM) පුළුල් කිරීම වැනි පැවති රජයන් විසින් දියත්කරන ලද ක්‍රියාන්විතයන් ශ්‍රී ලංකාව ලෝකයේ කලාපීය තාක්ෂණික මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීමට අපේක්ෂා කළේය. කෙසේවෙතත්, ප්‍රමාණවත් නොවන බ්‍රෝඩ්බෑන්ඩ් ආවරණය, යල්පැනගිය සයිබර් රෙගුලාසි, සහ ශ්‍රම බලකායේ පැවති අඩුපාඩු හේතුවෙන් මෙම ප්‍රගතිය අත්කර ගැනීම බෙහෙවින් පමා විය.
කර්මාන්තවල ඩිජිටල්කරණය පුළුල් වීමත් සමඟ, සංයුක්ත වාර්ෂික වර්ධන වේගයේ ලකුණු එකක දෙකක පමණ ආර්ථික වර්ධනයක් පෙන්නුම්කළ අතර, සියයට 03 – 04 ක සාමාන්‍ය ව්‍යාපාර වර්ධන වේගයක් ඇති (හෝ ඊටත් වඩා පහළ මට්ටමක වර්ධනයක් තිබුණේ යැයි උපකල්පනය කළ) ආර්ථිකයක් තුළ, දළ දෙශීය නිශ්පාදනයේ වර්ධනයට සියයට තුනක-හතරක අමතර ලකුණු ප්‍රමාණයක් එක්කිරීමට ඩිජිටල්කරණයට හැකියාව පවතින බව ජනාධිපති උපදේශකවරයා අවධාරණය කර සිටියි.
වර්තමානයේ පවතින වෘත්තිකයන් 200,000 ක ඉලක්කය අභිබවා ඩිජිටල් ශ්‍රම බලකාය පුළුල් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද විජයසූරිය මහතා කරුණු පැහැදිලි කළේය. ඩිජිටල් ආර්ථිකය දළ දේශීය නිශ්පාදිතයෙන් සියයට 12 ක් දක්වා වර්ධනයකර ගැනීම පහසු කටයුත්තක්වන නමුත් එම අගය සියයට 20 දක්වා වර්ධනය කර ගැනීමට අප කටයුතුකළ යුතුව ඇති බව හෙතෙම පෙන්වා දෙයි.
මෙමඟින් වාර්ෂික ඩිජිටල් අපනයන ආදායම ඇ.ඩො. බිලියන 15 දක්වා ඉහළ දැමිය හැකි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
ඩිජිටල් ව්‍යාපාර පවත්වාගෙන යාමේ පිරිවැය අවම කිරීමේ වැදගත්කම අවධාරණයකළ විජයසූරිය මහතා, ගෝලීය වේදිකාව තුළ තරඟකාරීත්වය අවශ්‍ය බවත්, අපගේ ජාතික තරඟකාරීත්වය අප සතු ඩිජිටල් පද්ධතිවල පරිණතභාවය සහ සූදානමමත රඳා පවතින බවත් සඳහන් කළේය.
මෙම අරමුණුකරා ළඟාවීම සඳහා, ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල ඉහළට යාම ශ්‍රී ලංකාවේ අරමුණ බවත්, සම්බන්ධතාවය, ඩිජිටල් පරිවර්තනය, නවෝත්පාදනය, සයිබර් සුරක්ෂිතභාවය සහ විශ්වාස රාමුන් වැනි ප්‍රධාන ඩිජිටල් මානයන් වැඩිදියුණු කිරීම සඳහා අවධානය යොමුකළ යුතු බවත් හෙතෙම වැඩිදුරටත් පැවසුවේය.