තරිඳු ජයවර්ධන සහ කසුන් පුස්සෙවෙල යන මාධ්‍යවේදීන් දෙදෙනා වෙත ජාතික ජනබලවේග රජයෙන් එල්ල කැරුණු විවේචන අරභයා බුද්ධිමය සමාජයේ හට ගත් කතිකාව අනුසාරයෙන් ආණ්ඩුවේ මෙතෙක් ගමන් මග කෙරෙහි බැල්මක් එල්ල කිරීම මෙම ලියැවිල්ලේ අරමුණ වෙයි. (රජයේ ප්‍රමුඛ ප්‍රකාශකයන් දෙදෙනක් විසින් කරන ලද ප්‍රකාශ නිසාත්, ප්‍රශ්නය පැන නැගුණේ දේශපාලනික කරුණයක් හේතුවෙන් නිසාත් එය රජයේ ස්ථාවරය ලෙස ගැනීමේ වරදක් නැතැයි සිතමි. එය රජයේ ස්ථාවරය නොවේ නම්, රජය ඒ ගැන පැහැදිලිකිරීමක් කරනු ඇති.)
ජාතික ජනබලවේග රජය පත් වී මේ වන විට මාස තුනකට ආසන්න කාලයක් ගත වී තිබේ. මාස තුනක බිළිඳු රජයක් යනු සාමාන්‍යයෙන් සිය ස්වර්ණ යුගය ගත කරන්නක් බව කිව හැකි ය. එහෙත් ඊට වෙනස්ව ජාතික ජනබලවේග රජය එම කාලය තුළ ඉතා බරපතළ ලෙස දේවල් වරද්දා ගත් බව කියනු වටී. එම වරද්දා ගැනීම් ප්‍රමාණයට සාපේක්ෂව ආණ්ඩුවට පහර වැදුණේ ඉතා අඩුවෙනි. ඒ ගැන නව රජය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත දිනපතා තෑගි යැවිය යුතුය. පහර නොවැදුණේ ආණ්ඩුවේ සබලකමකට වඩා විපක්ෂයේ දුබලකම නිසා බැවිනි, ඒ.
බොහෝ විකාරසහගත දේවලට පසු පවා බොහෝ දෙනා දෙඤ්ඤං බැටේ ආස්ථානයක් ආණ්ඩුවට එරෙහිව ගෙන නැත්තේ, ජනතාව සියලු ගොන්පාට් මුවින් නොබැණ ඉවසන්නේ, ජනතාව ඒවා අනුමත කරන නිසා බව ආණ්ඩුව සිතන බව පෙනේ. මේ ඉවසීම එන්නේ එකම මූලයකිනි. ඒ “මුන් ටික එළවලා දෙන්නෙ මොකාටද ?”යන තැනින් පමණි.
ආණ්ඩුවේ අසමත්කම් සහ පාණ්ඩු ගොන්පාට්වලට එදිරිව නැගෙන හඬට කිසිදු කොන්දේසියකින්, වගවිභාගයකින් තොරව දෙඤ්ඤං බැටේ භාවයෙන් පෙනී සිටිමින් කෝචොක් දමන, පහර දෙන බළකායක්ද ඒ අතර ස්ථාපිතව ඇත. ජනාධිපති මාධ්‍ය ඒකකය ඒ වෙනුවෙන් පාවිච්චි වනු පෙනේ. මේ අනුව පෙර ආණ්ඩුවල ජනාධිපති මාධ්‍ය ඒකක භාවිතා වූ අරමුණ වෙනුවෙන් ම මේ ආණ්ඩුවේ මාධ්‍ය ඒකකද භාවිතා වන බව කිව හැකි ය. පසුගිය දා පැන නැගුණේ ඒ අනුසාරයෙන් නැගුණු කලබැගෑනියකි.
ආණ්ඩුවේ ඔඩොක්කු කුක්කන් සහ කලක් තිස්සේ යුක්තිය, නීතියේ ආධිපත්‍ය ඉල්ලා සිටි පිරිස (කසුන් වැනි ආණ්ඩුව ගෙන ඒමට ඓන්ද්‍රිය දායක වූවන්ද එතැන සිටීම දෛවෝපගත ය.) අතර මේ පැන නැගී ඇති විමතිකභාවය පැමිණෙන්නේ කොතැනින් ද?
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය නම් මේ රජය හොබවන්නේ කුමන බලයක් ද? එය මර්ධනාකාරී රාජ්‍ය යාන්ත්‍රණයයි. මේ රාජ්‍යයේ සියලු සැකැසුම් ගොඩ නැගී ඇත්තේ මර්දනය පිණිස බව කියනුම කවරේ ද? සමාජවාදී මූලයන් දරාගෙන පැමිණි පක්ෂයක් පෙරමුණේ සිටින බලවේගයක් වුවද මේ පරිහරණය කරන්නේ ධනේශ්වර නිෂ්පාදන මාදිලිය රැකීම පිණිස හදා වඩා ගත් රාජ්‍ය යාන්ත්‍රණයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.
සෑම කලෙකම ජනතාව සහ මර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රණය අතර ඇත්තේ පසමිතුරු සබඳතාවකි. ධනේශ්වර රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම භාර ගත් පසු සමාජවාදී මූලයන් තිබුණා කියා බලය හෙබවීම ජනතාවාදී හෝ මානුෂවාදී වන්නේ නැත. මෙය මේ රජය මුහුණ දෙන ප්‍රධානතම උභතෝකෝටිකය වෙයි.
එහිදී ආණ්ඩුව රකිනා ඔඩොක්කු කුක්කන්ගේ යෝජනාව රජයට යුක්තිය පිළිබඳ අභිලාශයක් ඇති බැවින්, පෙර රජයන්ගෙන් මෙන් යුක්තිය ඉල්ලීමට හදිසි නොවී.. උද්ඝෝෂණ නොකොට බලා සිටිය යුතු බවයි. එතැනින් නොනැවතී එසේ ප්‍රශ්න කරන්නන්ට වඩා තමන් බෙල්ල දීගෙන වැඩ කරන බවත්, මාර දුෂ්කර වැඩය එය බවත්, එය ඉතිහාසයේ කාර්යභාරය බවත් කියන්නටද ඔවුන් පසුබට නොවේ. අපට කියන්නට ඇත්තේ, ඒවා කෝපි කඩේ කුරුංගුරුං පන්නේ ප්‍රකාශ බවයි. එසේ බෙල්ල දෙන්නට යැයි කවුරුත් ඔවුන්ට කීවාදැයි අප දන්නේ නැත. තමන්ගේ චූන් තමන්ට චූන් වුවත් ඉතිහාසය එය සතපහකට ගණන් ගන්නේ නැති බැවිනි.
නීතියේ සාධාරණත්වය සහ යුක්තිය පිළිබඳ සියලුම ආණ්ඩුවලට පාහේ ඇත්තේ වාච්‍යාර්ථයෙන් හොඳ අභිලාශයන් ය. ඉතිහාසයේ පැවැති සියලු රජයන් ප්‍රකාශනයේදී පෑවේ එවැනි අභිලාශයන් බව කිව හැකි ය. එහෙත් භාවිතයේදී ඒවා එසේ වූයේ නැත. මෙම රජය ගැන ද කිව යුත්තේ, බලය හොබවන අයගේ පංති මූලයන්, වැටුප් නොගන්නා බව කීම, අදූෂිත බව, පෙර වසර 76 සාපය, වේගයෙන් ඇවිද යෑම, බිරුසන් දීම ආදිය මෙම යුක්තිය ඉල්ලා සිටීමේ ක්‍රියාවලියේ දී අදාළ නැති බවයි. යුක්තිය පිළිබඳ අභිලාශ වගාඩම්බර කිසිවක් ද පලක් නැත. භාවිතයෙන් ඔවුන් ඒවා පෙන්වා දිය යුත්තේ තමන් පෙර රජයන්ට වඩා ක්‍රියාවෙන් වෙනස් බවයි.
යුක්තිය-නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම පිළිබඳ සටන එයින් මෙපිට නවතිනු ඇතැයි සිතීම මෝඩකමකි.
අනෙක් අතට මෙතැන අප්‍රධාන ගැටුම් ගණනාවක්ද තිබේ.
එකවරම 3% ක ඡන්ද පදනමක සිට ආණ්ඩු බලයක් කරා පැමිණීමට ජාතික ජනබලවේගයට හැකි වූයේ ඔවුන්ගේ ආශ්චර්යමත් බලයක් නිසාවත්, දැන් ආණ්ඩුවේ මුරබල්ලන් වී සිටින අතිසුළුතරයේ මාධ්‍ය හපන්කම් නිසාවත් නොවේ. (ඒ අය නම් තිරව එසේ යැ යි සිතා සිටිනු පෙනේ.) ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා ම වරක් කී පරිදි මේ බලය ඔවුන්වත් බලාපොරොත්තු වූ එකක් නොවේ. කාලයක් තිස්සේ කුණු වෙමින් ආ දේශපාලන සංස්කෘතිය, ආර්ථික පරිහාණිය, ගෝඨාභයගේ ළදරු වළිප්පුව, ජන අරගලයේ සාධකය, ප්‍රජාතන්ත්‍රවාදයේ පරිහාණිය ආදී විශාල සාධක ගොන්නක් විසින් පවතින දේශපාලනය පෙරළා දැමීමට දැවැන්ත පෙරමුණක් නිර්මාණය වී ආවේ ය. මේ දැවැන්ත බලවේගය ඉදිරියෙන් ධජ රැගෙන හිටගත් පිරිස එහි නායකත්වය ගෙන ආණ්ඩු බලය දක්වා ආවේ පිමි වශයෙනි. එය ඔවුන්වද වික්ෂිපත්ව වූවක් බව කවුරුත් දනිති.
එහිදී මාධ්‍ය භාවිතයන්, ප්‍රචාරකයන් ආදී පිරිසකට සෑහෙන වැඩ කොටසක් තිබුණු බව සැබැවි. එහෙත් ජාතික ජනබලවේගයේ ප්‍රචාරක ව්‍යාපාරය පවා ඉතා සාර්ථික ප්‍රචාරක ව්‍යාපාරයක් නොවේ. ඒවා සාර්ථක වූයේ ද ස්වේච්ඡාවෙන් ජනතාව විසින් කළ කී දෑ සමගිනි. එහෙත් දැන් මේ දේශපාලන පෙරැළිය අලින්ගේ අපේ කැරුම් ලෙස මේ පිරිස වරනගාගෙන උද්දච්චභාවය ප්‍රදර්ශනය කරමින් සිටිති.
මෙහිදී සිහියට එන්නේ පාරේ මළපහ කරමින් සිටි පිරිසක් ඉන්දියාවේ ජාතික නිදහස් සටනේ වීරයන් වුණ කතාවයි.
මේ සිදු වූ වෙනසක් ඉල්ලූ දේශපාලන පරිවර්තනය ජවිපෙ තනි ශක්තියක්වත්-අතරමගින් බස් රියට ගොඩවී මහා ප්‍රචාරණ කෙරුම් කළා යැයි සිතන අඳබාලයන් තමා කළ බැව් සිතන ශක්තිමත් ප්‍රොපගැන්ඩාවන් (එහෙම ඒවා තිබුණේද නැත.) නිසා වූවක් නොවේ. ජවිපෙ මෙහි දායකත්වය ගැන විවාදයක් නැතත් එයට පරිබාහිරව තනි තනි මිනිසුන්, වෘත්තීය සමිති, සමාජ ක්‍රියාකාරිකයන්, සමහර මරා දැමූ මාධ්‍යවේදීන් මිනීවලවල්වල සිට පවා මීට එක් කළ දායකත්වයක් තිබේ. ඒ දායකත්වය අසල අලින්ගේ අපේ කැරුම් ගැන වහසි බස් දොඩවන්නන් හිරු දුටු කදෝපැණියන් බව කිව යුතු ය.
එසේ ම මේ අය තේරුම් ගත යුතු තව දෙයක් ඇත. නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පැමිණි මේ රජය ගැන තවමත් බොහෝ දෙනා ඉන්නේ ඉවසිල්ලෙනි. සැලකිය යුතු ආණ්ඩු විරෝධයක් නොපැමිණෙන්නේ තමන් හොඳටම කරන නිසා බව මේ බුබුළු අස්සේ ජීවත් වන පිරිස සිතුවද එය එසේ නොවන බව පැහැදිලි වන දවස් නුදුරේ එළඹෙනු ඇත. එදාට සටන් පාඨ ලෙස කියනු ඇත්තේ, “නීතිපති ගෙදර යනු” කියා නොව “ජනාධිපති ගෙදර යනු” කියා ය. කරේ රත්තරං දාගත් කටුස්සන්ට මඳක් නිහඬව ඉන්නැයි කියා ජාතික ජනබලවේගයේ නායකත්වය ඒ ගැන සිතන්නේ නම් සුගතියක් සිදුවනු ඇති.
~ සඳුන් ප්‍රියංකර විතානගේ
RN
සබැඳි පුවත් –
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2024/12/LNW-Newsroom-ad-at-the-bottom-Sin-20-1024x137.png)